100 Drabbles එළි දක්වලා අදට අවුරුද්දක්

Share post:

100 Drabbles

මම යම් යම් දේවල් ගැන සොච්චමක් විතර ලියන කෙනෙක්, එහෙම නැතුව මහා බරසාර ශාස්ත්‍රීය ලියවිල්ලක් ගැන අවබෝධයක් මං සන්තකව නෑ කියන එක අවංකව සහ නිහතමානීව කියා සිටින්ට ඕනෑ. ඉඳල හිටල පොතක් පතක් කියවගෙන, අවට සමාජේ දිහා ටිකක් ඇස් ඇරල බලාගෙන, මගේ සමවයසෙ මිතුරු කාණ්ඩයකට වඩා මට වඩා වයසින් වැඩි සහ අඩු භාෂණ කණ්ඩායමක් එක්ක ටිකක් විනෝද ජනක නිදහස් ජීවිතයක් ගෙවන කෙනෙක් මම. මොකද සම වයසේ උන්දැලට වඩා වැඩිහිටි සහ තරුණ කණ්ඩායම් ඇසුරු කරන කොට, ලැබෙන අත්දැකීම් වල පොඩි විවිධාංගකාරණයක් තියෙන බව මට වැටහිලා තියෙනවා. මොකද ඒකාකාරී අත්දැකීම් සහ දැනුම අපිව එකම කුටියක හිර කරලා ඒකෙ ජනෙල් දොරවල් වහල දානවවත් දෝ කියල මට හිතිල තියෙනවා. ඔන්න ඔය කියන අල්ල පනල්ලෙ තමයි මේ Drabbles කියල වචනයක් ඇවිත් මගේ ඉදිරියෙන් හිටගන්නෙ. ඇත්තටම මේ Drabbles කියන වචනේ නං මට ඒ තරම් හුරු පුරුදු වචනයක් වුණේ නෑ. මම ඒ නිසා ඒ ගැන වැඩිය අවධානයක් දුන්නෙත් නෑ. ඒත් තත්සරණි බුලත්සිංහල කියන මිතුරිය වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ කියන සංකල්පය මට විස්තර කළේ හරියට ජීවිත රක්ෂණයක් විකුණන රක්ෂණ නියෝජිතයෙක් අපේ ජීවිතයේ වටිනාකම අපේ මරණයත් එක්ක වතුරේ ඔබල එළියට අරන් පෙන්නන ගානට. ඒත් උදේ හවා කලාව කියන ඔඩම ඇතුළෙම ජීවිත පොඟවන කාණ්ඩයක් එක්ක සංසරණය වෙන මට, විද්‍යාව කියන විෂය ගැන ඒ හැටි දැනුමක් සහ ආශක්ත බවක් දැනිල තිබුණෙ නෑ. ඒ නිසා පුළුවන් හැම ශිල්ප ක්‍රමයක් දාල මම මේකෙන් එළියට පනින්න උත්සාහ කළා. ඒත් තත්සරණි මටත් නොදැනිම මගේ පස්සෙ පැන්නුවේ හරියට මගේ හෙවනැල්ලටත් නොදැනෙන්න මාව අත්අඩංගුවට ගන්න එන CID කාරයෙක් වගේ. අන්තිමට අපරාධකාරයා CID එකට අහුවුණා. ඉතිං අන්තිමට මමත් 100 Drabbles පොතේ වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ ලියපු කණ්ඩායමේ එක චරිතයක් බවට පත්වුණා. මේකෙ මම ලියපු කතා දෙකක් ඇතුළත්. ඒ දෙකම මම ලිවුවෙ මම දැකපු සහ අත්විඳපු සිද්ධි දෙකක් ඇසුරින්. අද අපි අතරින් සදහටම වියෝවුණු ඩබ්ලිව් ජයසිරිත් එක්ක එයාම ලියපු ‘උදුම්බරා’ ගීතයෙ සෞන්දර්යාත්මක වචන පෙළගැහීම ගැන වරු ගණන් සංවාද කරපු මමත් විද්‍යා ප්‍රබන්ධ ලියන්නෙක් වෙලා.

මේ දැනුත් මට මතක් වෙන්නෙ, හතරෙ පහේ වගෙ පංතිවල මුල්ම සිංහල ව්‍යාකරණ පාඩම්වලදි අපි ඉගෙන ගත්තු ‘ ‘ ‘ “බල්ලෝ බුරති – සඳ බබළයි”
කියන සම්ප්‍රදායික පද දෙක. ඊයෙ පෙරේදා මේක පරණ පොතක දැක්කම තමයි මට හිතුණෙ, පොඩ්ඩක් ඇස්, කන් විතරක් නෙවෙයි බුද්ධියෙ කවුළුවත් ඇරලා බැලුවමයි පෙනෙන්නෙ මේ පද දෙකේ තියෙන්නෙත් විද්‍යාවනෙ.
100 Drabbles එළි දක්වලා අදට අවුරුද්දක්ලු. එක ඇත්තටම සතුටට කරුණක්. තත්සරණි ප්‍රමුඛ 100 Drabbles කණ්ඩායමට බොහොම ස්තුතියි.

හේමන්ත අරුණසිරි

23-09-2024

Related articles

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...

පාස්කු සැකකරුවකුගෙන් සීඅයිඩීය බලෙන් ප්‍රකාශයක් අරන් !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට සැක...

‘තුත්තිරි ” කාව්‍ය සංග්‍රහය – රුවන් ඩී.අළුබෝමුල්ල

රුවන් ඩී. අළුබෝමුල්ලගේ කවියා හා මා තවමත් මුහුණට මුහුණ මුණගැසී නැත්තෙමු. දුරකථනයෙන් කෙරෙන සංවාද පමණකි. ඒ කතාවන්වලදී ,...

චාලි.. චාලි චැප්ලින් ජීවත් වන්නේත් ඔහුව මිහිදන් කෙරෙන්නෙත් වැව අද්දර කුඩා වවේ නගරයේ

ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය. ඇකඩමික් සම්මාන උළෙල 1972.සම්මානය හිමිවන නළුවාගේ නම නිවේදකයා විසින් නිවේදනය කරනවා...