වීසා ගනුදෙනුව : නඩුව අවසන් වන තුරු ආගමන පාලක රිමාන්ඩ් !

Share post:

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන්, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (25) නියෝග කළේය.

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 02 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ගොනු කළ අතර, නඩුව ආරම්භයේදී එම චෝදනා පත්‍රය කියවා දීම සිදුකරන ලදි. ඉන් අනතුරුව අධිකරණයේ ලේඛකාධිකාරිවරයා එම චෝදනා පත්‍රයට අත්සන් තැබීය.

රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝගයක් පැහැර හැරීම ඉතා බරපතළ කරුණක් බවත්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම පැවරී ඇති තම අධිකරණයට මෙවැනි අවස්ථාවකදී නිහඬව සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම් විභාගය අචල වෙන්ගප්පුලි, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රීති පද්මන් සුරසේන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව ආරම්භයේදී ම බන්ධනාගාර නිලධාරීන් කැඳවා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය එම නිලධාරීන් භාරයේ තබාගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

එහිදී නඩු විභාගය අතරවාරයේ විනාඩි 15කට අධිකරණය කල් තැබු අවස්ථාවේදී ද හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාර නිලධාරීන් භාරයේ රඳවාගන්නා ලෙස සඳහන් කළ විනිසුරු මඩුල්ල, විනාඩි 15කට අධිකරණය කල් තැබුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්ට (පෙත්සම්කාර පාර්ශ්වය ) ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 13දා පස්වරුවේ නියෝග කළේ හර්ෂ ඉලුක්පිටිය අධිකරණ නියෝග පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ගොනු කරන ලෙසයි.

අධිකරණය විසින් එකී විද්‍යුත් වීසා ක්‍රමය බලරහිත කරමින් හා පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ ම වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කොට මාසයකට අධික කාලයක් ගතවී ඇතත් මේ දක්වා එකී අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා හිතාමතාම පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නැයි පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් හා එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

13දා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රීති පද්මන් සුරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කරමින් පෞද්ගලිකව පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල වහාම අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පළමුවන වගඋත්තරකාර ආගමන විගමන පාලක ජනරාල්වරයා තම අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම හිතාමතාම පැහැර හැර ඇති බවට බැලූ බැල්මට තම අධිකරණයට පෙනී යන්නේ යැයි නිගමනය කළ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටියේ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙසයි.

ආගමන විගමන පාලකවරයාට ලබන 25 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසට ද විනිසුරු මඬුල්ල එහිදී රෙජිස්ට්‍රාර්වරයාට වැඩිදුරටත් නියෝග කළේය. එම නියෝගය ප්‍රකාරව හර්ෂ ඉලුක්පිටිය අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝගය කඩකිරීම රජයේ නිලධාරියකු ලෙස කළ බරපතළ වරදක් බැවින් පෙත්සම් විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවයි. ඒ අනුව හර්ෂ ඉලුක්පිටිය පෙත්සම් විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම ට නියෝග කළේ ය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ රාවුෆ් හකීම් පෞද්ගලිකව පෙනී සිටිමින් කරුණු දැක්වූහ. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන පෙනීසිටියාය.

පළමුවන වගඋත්තරකාර ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෆායිස් මුස්තාපා පෙනීසිටියේය.

පෙත්සම් විභාගය නැවත ලබන වසරේ ජනවාරි 22 කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Related articles

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණා – චමරි අතපත්තුගේ අවසන් ලෝක කුසලානය විය හැකි

කාන්තා T20 ලෝක කුසලානය අද ආරම්භ වුණාඑහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගයත් අද පැවැත්වෙනවා.ඒ පාකිස්තාන...

බට්ටිලා සහ ලිමන්සා

නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ජය ගත්තා.ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය...

Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදාහැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි !

Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු...