ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය රංගන ශිල්පියෙක් මෙන්ම ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු වන ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 77 වැනි වියේ පසු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා 2012 වසරේ නොවැම්බර් මස 25 වන දා ‘රාවය’ පුවත්පත සමඟ කරන ලද සංවාදයක් මෙසේ පළකරන්නෙමු.
රඟපෑම ගැන අදහසක් මුලින්ම ඔළුවට එන්නෙ කොහොමද?
මේක ටිකක් අමුතු දෙයක් කියලා මට පොඩි කාලෙ ඉඳලම තේරුණා. දැනට අවුරුදු 15-20කට පෙර දවසක් නාට්‍යයක් ඉවර වෙලා පොඩි අඩියක් ගහන ගමන් වින්සන්ට් සේරසිංහ මහත්තයා මට මෙහෙම කතාවක් කිව්වා. ඇක්ටර් කෙනෙක් වෙන එක එක් හේතුවක් නිසා වැදගත් වෙනවා කියලා. මොකද මේ ලෝකෙ ජීවත්වන ඕනෑම කෙනෙක් තමන් ගැන සියලුම දේවල් තව කෙනෙකුට කියන්නෙ නැහැ. බිරිඳටවත් නොකියන දේවල් තියනවා. යම් යම් දේවල් තමන්ගෙම ඇතුළෙ තියාගෙන මැරිලා යනවා. ඒත් ඇක්ටර් කෙනෙකුට පුළුවන් ඒ නොකියන හැම දෙයක්ම කියන්න. මං හිතන විදියට රඟපෑමේ තියන අරුමයත් ඒකයි. මට කියාගන්න බැරි ගොඩක් දේවල් මට නළුවෙක් හැටියට ප්‍රකාශ කළ හැකියි.
ජයසිරි ඉස්කෝලෙ ගියේ කොහෙද?
මම ඉපදුණේ ගාල්ලෙ හිරිඹුරේ 1947දී. මුලින්ම ගියේ කිතුලම්පිටිය බාලිකා පාසලට. පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා ඉගෙන ගත්තෙ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ. මාතර ශාන්ත තොමසු කුමර කුලාජය කියලා ඒකට කිව්වෙ. ඒක තමයි ලංකාවේ හෙළ හවුලේ උත්පත්තිය ලබපු ඉස්කෝලෙ. මුනිදාස කුමාරතුංග මහත්තයත් ඒකෙ උගන්වලා තියනවා. තාම ඒ ඉස්කෝලෙ ගුරු විවේකාගාරයේ කුමාරතුංග මහත්මයගෙ පින්තූරයක් ගහලා තියනවා. ඒකෙ ඉගැන්නුවා අමරසිරි ගුණවඩු. කෝ.වේ විමලපාල වගේ අය. ඒ කාලෙ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. මම හතරෙ ඉන්දැද්දි පැරණි නළුවකු වූ ආනන්ද ජයරත්න මහත්තයා අපිට ඉංග්‍රීසි ඉගැන්නුවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට මම ඉගෙන ගත්තෙ මාතර විද්‍යාලෝක විදුහලේ.
මේ කාලය තුළ කලා කටයුතුවලට උනන්දු වුණාද?
අපේ ගෙවල් ළඟ තමයි හිටියෙ මහාචාර්ය අනුර වික්‍රමසිංහ. එයා ඒ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. දීර්ඝ නිවාඩුවකට ගෙදර ඇවිත් හිටියා මට මතකයි. අපේ ගමේ තිබුණා තරුණ ගොවි සමාජයක්. තරුණ ගොවි සමාජ අතර නාට්‍ය තරගයක් තිබුණා. අනුර වික්‍රමසිංහ ඒකට නාට්‍යයක් කෙරුවා. ඒ නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවෙ. රත්තරන් සහ එළොව ගිහින් මෙලොව ආවා නාට්‍යවල ගීතවල තාල පදනම් කරගත් නාට්‍යයක් අපි කෙරුවෙ. හොරු තුන්දෙනෙකුගෙ චරිත තමයි ඒකෙ තිබුණෙ. නාට්‍ය විනිශ්චයට ආවෙ සෝමලතා සුබසිංහ, ගාමිණී හත්තොටුවේගම සහ ලාල් ප්‍රේමනාත් ද මැල්. ඒක තමයි මට නාට්‍ය පිළිබඳව තිබෙන පැරණිම මතකය.
විශ්වවිද්‍යාලයේ අත්දැකීම කොහොමද?
අපිට වඩා ටිකක් සීනියර් කට්ටිය තමයි බන්දුල විතානගේ, තිලක් ජයරත්න, පියසේන අහංගම වගේ අය. මම විශ්වවිද්‍යාලයේදී බන්දුල විතානගේ සමග එකතුවෙලා ‘මේඝ ගර්ජනා’ කියන නාට්‍යය කළා. බන්දුලගෙ මාර්ගයෙන් මගේ මිතුරෙක් බවට පත්වුණා සුගතපාලද සිල්වා. සුගත් ඒ වෙනකොටත් අපිට වඩා අවුරුදු 20කින් විතර වැඩිමල්. ඒත් අපි ඉතා කිට්ටු යාළුවො වුණා. යුනිවර්සිටි එකේ ඉන්දැද්දිම තමයි පතී එක්ක යාළුවුණේ. පතීටත් මතක නැතුව ඇති සමහරවිට. එයා පේරාදෙණියෙ. අපි කොළඹ. රීඩ් ඇවනිව් එකේදි දවසක් සිගරැට් එකක් පත්තු කරගන්න ගින්දර ඉල්ලුවා. එතකොට පතී කිව්වා මං අහවලා. මාත් ඒ විදියටම මාවත් හඳුන්වා දුන්නා. අපිව වෙන කවුරුවත් දන්නෙත් නැහැ. පතී මාර්ගයෙන් දයා තෙන්නකෝන් මුණ ගැහුණා. අපි කට්ටියම ඉතිං විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සෙ නාට්‍ය කරන්න පටන් ගත්තා. සුගත්ගේ හිත හොඳ අම්මණ්ඩි නාට්‍යයේ වේදිකා පරිපාලක වුණේ පතී. කොස්තාව සුගත් ළඟට එක්කගෙන ගියේ මම. කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ දවස්වල මාත් එක්ක හිටියා මිත්‍රසේන කියලා යාළුවෙක්. එයා තොටළඟ. තොටළඟින් ඉස්සෙල්ලම විශ්වවිද්‍යාලයට ආවෙ මිත්‍රසේන. කොස්තා මට හම්බවෙන්නෙ මිත්‍රසේන මාර්ගයෙන්.
ගුවන්විදුලියට සම්බන්ධවෙන්නෙ කොහොමද?
ඒකට ගියේ 68දී. අපි තිස්දෙනෙක් විතර එකපාර වැඩට ගත්තා. අධ්‍යක්ෂ වෙලා හිටියේ නෙවිල් ජයවීර. තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර, යූ. ආරියවිමල් වැනි පසුකලෙක මේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් බවට පත්වූ අය ඒ තිස්දෙනා අතර හිටියා. ගුවන්විදුලියේදි තමයි මට ගායකයො, නළු නිළියො නිෂ්පාදකවරු, කේමදාස මාස්ටර් වගේ විශාල පදාසයක් ආශ්‍රය කරන්න ලැබුණේ. අපි සවුන්ඩ් රෙකෝඩිෂ්ලා හැටියට ගත්තෙ. ඒ අය අතරින් නිෂ්පාදකවරු බිහිවුණා. මම රැකියාවට ගිහින් මාස තුනක් යන්න කලින් ඒකෙ වෘත්තීය සමිතියක් බිහිවුණා. ලංකා වෙළෙඳ සේවක සංගමයේ ශාඛාවක්. එච්.ඒ. සෙනෙවිරත්න, සිරිල් රාජපක්ෂ වගේ අය ඊට මූලික වුණා. මමත් ඒකට බැඳුණා. වැඩට ගිහින් මාස හයක් යන්න කලින් රස්සාවෙන් අස් කළා. වාදක මණ්ඩලේ හිටපු බාගෙකටත් වඩා අස් කළා. මඩවල, දයානන්ද ගුණවර්ධන, පාලිත පෙරේරා වගේ අයත් එවකට වැඩ කළා. මහාචාර්ය අදිකාරම්, මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය සුචරිත ගම්ලත් නිතර ආවා ගියා. නන්දදාස කෝදාගොඩ, කාලෝ ෆොන්සේකා, පණ්ඩිත විලියම් අල්විස් වගේ අය වැඩසටහන් කළා. ඒ කාලෙ ගුවන්විදුලිය කියන්නෙ මහා සාරවත් තැනක්.
77දී මොකද වුණේ?
අපි ඡන්දෙට ඉදිරිපත් වුණා. මම එච්.ඒ. සෙනෙවිරත්නගෙ ප්‍රධාන ආධාරකාරයෙක් විදියට කැලණියෙ වැඩ කළා. ජේ.ආර්. දිනුවා. ඔහු අපිව ඉවත් කරන්න කලින් අපි අස්වුණා. ඊට පස්සෙ මම දිගටම චිත්‍රපටිවල වැඩ කරන්න පටන් ගත්තා. ඊට කලිනුත් චිත්‍රපටිවල වැඩ කළා. පතී පොන්මනි කරනකොට මං ඒකෙ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.
70 ආණ්ඩුව පරිහානියට පත්වූ එකක්. එසේ වුවත් උගතුන්යැ’යි හැඳින්වූ පිරිස් 77දීත් ආණ්ඩුවටමයි උදව් කළේ? ඒ මොකද?
ඒ කාලෙ මෙහෙම දේකුත් තිබුණා. යූඑන්පී වෙනවයි කියන එක ජාතික අපරාධයක් වගේ. පොදු හතුරා යූඑන්පීය කියලා තාමත් සමහරු හිතනවා. ඒකෙ කිසි ඇත්තක් නැහැ. අපි පුංචි කාලෙ තේරුම් ගත්තෙ ගෙවල් අයිතිකාරයො යූඑන්පීකාරයො. ගෙවල් නැත්තෙ වාමාංශිකයන්ට කියලයි. ඒත් දැන් බලනකොට මේගොල්ලන්ට තරම් ගෙවල් අයිති නැහැ වෙන කාටවත්. 70 ආණ්ඩුව 75දී වසර දෙකකට නොව පහකට කාලය දිගුකරගෙන ඇන්ඇම්ලත් තියාගෙන 80 වෙනකම් ගියා නම් රටේ ආර්ථිකයේ යම් වෙනසක් වෙන්න තිබුණා. හැම දේකටම පෝලිම් ක්‍රමයක් තිබීම නිසා මිනිස්සුන්ට මේක ටිකක් වාතයක් වුණු එකත් ඇත්ත.
77දී මම ගුවන්විදුලියෙන් ඉවත් වුණා. මොකද අපි ඡන්දෙට ඉදිරිපත් වුණා. මම එච්.ඒ. සෙනෙවිරත්නගෙ ප්‍රධාන ආධාරකාරයෙක් විදියට කැලණියෙ වැඩ කළා. ජේ.ආර්. දිනුවා. ඔහු අපිව ඉවත් කරන්න කලින් අපි අස්වුණා. ඊට පස්සෙ මම දිගටම චිත්‍රපටිවල වැඩ කරන්න පටන් ගත්තා. ඊට කලිනුත් චිත්‍රපටිවල වැඩ කළා. පතී පොන්මනි කරනකොට මං ඒකෙ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.
70 දශකය මෙරට කලාවේ ස්වර්ණමය යුගයක් ලෙස අපි හඳුන්වනවා. ඒ ගැන ජයසිරිට ඇති අදහස මොකක්ද?
ඒ යුගයේ සිදුවූ බොහෝ දේවල් ඊට පස්සෙ ඒ ආකාරයෙන් සිදුවෙලා නැහැ. පරිහානියක් තමයි සිදුවී තිබෙන්නෙ. චිත්‍රපටිවල ගුණාත්මක වෙනසක් වෙන්න චිත්‍රපටි සංස්ථාව ඒ කාලයේ බිහිවීමත් හේතුවුණා. නිහාල්සිංහ වගේ කෙනෙක් එතන මුල් පුටුවට පත්වීම වැදගත් සාධකයක්. ඒ කාලෙ චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ අයගෙන් තමන්ගෙ මව්බස ලියන්න කියවන්න දැනගෙන හිටියෙ බොහොම ටික දෙනයි. ඒ දෙමළ වෙන්න පුළුවන්. ඒත් ඔවුන් තම මව්බසවත් කතා කළේ නැහැ. නිහාල්සිංහගෙ යෝජනා නිසා තමයි සාක්ෂරතාවෙන් යුතු මිනිස්සු චිත්‍රපටි කරන්න ආවෙ. පතිරාජ, වසන්ත, ධර්මසිරි, පරාක්‍රම නිරිඇල්ල වගේ අයගෙන් ලොකු දායකත්වයක් ලැබුණා. ප්‍රසන්න, හඳගම වගේ අයට ඉදිරියට එන්න 70 දශකයේ ප්‍රබෝධය ඉවහල් වුණා.
70 කාලෙ ආණ්ඩුව අද තරම් කලාවට ඇඟිලි ගැහුවෙ නැහැ නේද?
නැත්තෙ මොකද ඇඟිලි ගැහුවා. රජයක් විදියට ඇඟිලි ගැසීම පටන් ගත්තෙ ඔවුන්. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය හරහා සමාජවාදී යථාර්ථවාදය කෙළින්ම කලාව ඇතුළට කඩා වැදුනෙ රාජ්‍ය මතවාදය හැටියටයි. ගුණසේන විතාන, කේ. ජයතිලක, සිරිල් සී. පෙරේරා, ඒ.වී. සුරවීර වගේ අය ජනතා ලේඛක පෙරමුණේ. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශක මණ්ඩලය වගේ ආයතනවල තනතුරුත් ලැබුණේ ඔවුන්ට. ඒගොල්ලො කෙළින්ම ආර්ට්වලට ඇඟිලි ගහන්න පටන් ගත්තා. අද වගේම නෙවෙයි ඉතිං. අපි නොපිළිගත්තත් ජනතාවාදී කලාකරුවොත් වැඩක් කරපු අයනෙ. ඒ දෘෂ්ටිවාදය අපි නොපිළිගන්න එක වෙනම කතාවක්. අද ඇඟිලි ගහන්නෙ කිසිම දෘෂ්ටිවාදයක් නැති ගං කබරයොනෙ.
පොන්මනී කළාට පසුව පතී සමග ජයසිරිගෙ නිර්මාණ ගනුදෙනුව 80 දශකය දක්වාම දිවෙනවා නේද?
බඹරු ඇවිත් සහ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටි දෙකටත් මම සම්බන්ධයි. පොන්මනීට තමයි ලොකු දායකත්වයක් දුන්නෙ. ඒ සඳහා යාපනේ ගත කළ කාලය හරිම රසවත්. අපි යනකොට දොරේඅප්පා මරලා.. දොරේඅප්පගෙ නංගිලගෙ ගෙදර තමයි අපි නැවතිලා හිටියෙ. ඊට පස්සෙ පාරදිගේ චිත්‍රපටය කළා. මේ හැම එකකදිම මම පොඩි චරිතයකුත් රඟපෑවා.
බඹරු ඇවිත් තේමා ගීතය ලිවීම සිද්ධ වුණේ කොහොමද?
පතීගෙන් ඒ ආරාධනය ලැබීම ඒ වෙලාවෙ ආශ්චර්යයක් වගේ වැඩක්. මේ රටේ බිහිවූ හොඳම ගීත රචකයන් ජීවත් වූ යුගයක් ඒක. ඒ වෙනකොට මම සනත් නන්දසිරිට එක සිංදුවක් විතරයි ලියලා තිබුණෙ නිදිකුම්බා මල් කැකුලී කියලා. අද වනවිට බඹරු ඇවිත් ගීතය විශිෂ්ට නිර්මාණයක් කියලා බොහෝ අය කියනවා. ඒත් එදා මට ඒක අභියෝගයක් වුණා. ගීතය සාර්ථකවීමට කේමදාස මාස්ටර්ගෙ සංගීතය බොහෝ සෙයින් බලපෑවා.
ඇක්ටින් ගැන සීරියස් විදියට හිතන්න පටන් ගත්තෙ කොතැනින්ද?
ඇත්තටම 85 මරාසාද් කරනතුරු ඒක වුණේ නැහැ. මරාසාද්වලින් ලොකු චේන්ජ් එකක් වුණා. ඒක බලලා තමයි ධර්මසිරි මාව ධවල භීෂණ නාට්‍යයට සම්බන්ධ කරගත්තෙ. ඒ කාලය වනවිට අපි වේදිකාවතුළ හදාරමින් වැඩ කරනවා. ධර්මසිරි ධවල භීෂණවලදි මෙතර්ඩ් ඇක්ටින් භාවිත කළා. මම ඒ කාලේ ටීම් කියන ඇඩ්වර්ටයිසින් ඒජන්සියෙ කොපි රයිටර් කෙනෙක් හැටියටත් වැඩ කළා. රඟපාන්න සමාජ ආස්සරේත් ඕනෑනෙ. ඒක නං මට ඕනෑවටත් වඩා තිබුණා.
මේ කාලය තුළ සිනමාවෙ කැපී පෙනෙන චරිතයක් කරන්න ලැබුණේ නැහැ නේද?
ඔව්. කඩුල්ලට එනකං පතී මට ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන චරිතයක් දීලා තිබුණෙ නැහැ. ඒකෙ කරන්නාගොඩ අප්පුහාමිගෙ චරිතය කරන්න සූදානම් වෙනකොට පතී මට කිව්වෙ මචං උඹ දරුණු මැරවරයෙක්. හැබැයි බොහොම හෙමින් කතා කරන නිශ්ශබ්ද පුද්ගලයෙක් වෙන්න ඕනෙ කියලයි. මුල්ම රඟපෑම ඉදිරිපත් කරන්න යනකොට මටත් ඉතිං මොකක් හරි මුලක් තියෙන්න ඕනෑ. මට ඔළුවට ආවෙ ජෝ අබේවික්‍රම. ජෝ බඹරු ඇවිත් එකේ කරපු රඟපෑම මම මතක් කරගත්තා. ඒක තමයි මගේ ආදර්ශ රූපය හැටියට ගත්තෙ කඩුල්ලෙ කරන්නාගොඩ අප්පුහාමිගෙ චරිතය කරනකොට. ඊට පසු කාලෙකදි මම ජෝට මේ කතාව කිව්වා. ජෝ මගෙන් ඇහුවා උඹ දන්නවද බඹරු ඇවිත් එකේ ඇන්ටන්ගෙ චරිතෙ කරන්න මම කාවද ගත්තෙ කියලා. ඊට පස්සෙ ජෝ කිව්වා ‘ලී මාවී’ කියන බටහිර ඇක්ටර් කියලා. පටන් ගන්න විතරයි මට ආදර්ශයක් අවශ්‍ය වුණේ. ඊට පස්සෙ මගේම ක්‍රමයක් ගොඩනගා ගත්තා.
ජයසිරිට, ගාමිණී ගැන තිබෙන තක්සේරුව මොකක්ද?
කිසිම ප්‍රශ්නයක් නැතුව කිවහැකි දේ තමයි නිධානය කියන්නෙ ගාමිණී ෆොන්සේකා කියන එක. පරසතු මලුත් එහෙමයි. ඇක්ටින් පැත්ත චිත්‍රපටි කිහිපයකම ඉහළින්ම ඔහු ඔසවා තිබ්බා. අනිත් පැත්තෙ පොඩි අවුලකුත් තියෙනවා. ගාමිණීගෙ පුරුද්දක් තිබුණනෙ තිරනාටකය එයාට ඕනෙ විදියට සකස් කරගන්නවා, තමන්ට මූලිකත්වය ලැබෙන විදියට. අනුන්ගෙ තිරනාටකවලට එහෙම කරන එක නළුවෙකුට හොඳ ලක්ෂණයක් නෙවෙයි. තමන් දක්ෂ නම් කුමන ආකාරයේ චරිතයක් ලැබුණත් ඒ දක්ෂතාව දැක්විය යුතුයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ටයිටස් තොටවත්ත හැර අනික් හැම අධ්‍යක්ෂවරයකුගේම දේවල් ගාමිණී තමන්ට ඕනෙ හැටියට වෙනස් කර තිබෙනවා. අනික් චරිතවල හොඳ දෙබස් අයින් කරලා ඒවා තමන්ට දාගත්ත අවස්ථාත් තිබෙනවා. බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වගේ අය ඒ දවස්වල කියනවා අපි ගහගන්න පුරුදු කරලා ගුටි කාලා යන නළුවො කියලා. මොන අඩුව තිබුණත් ගාමිණී කියන්නෙ ශරීරයත් මොළයත් එක හා දියුණු කරපු මිනිහෙක්. ලංකාවෙ සිනමාවෙ එහෙම කෙනෙක් නම් තවත් නැහැ. හැබැයි ගාමිණී මෙහෙම සේවයක් කළා. ඉස්සර නිෂ්පාදකවරු ලංකාවෙ නළු නිළියන් රඟපෑවට පස්සෙ කීයක් හරි අතට දීලා පුකට පයින් එකක් ගහනවලු. ඒ කියන්නෙ ඒ තාලෙට තමයි සිංහල නළු නිළියන්ට සැලකුවෙ. ඒක ඊට වඩා වැදගත් විදියට කොන්ත්‍රාත් එකක් අත්සන් කරලා නිසි වටිනාකමකට පත්කරන්නට කටයුතු කළේ ගාමිණී. මේ ඉන්ඩස්ටි්‍ර එක ඇතුළෙ නළුවාගේ අභිමානය අරන් දුන්නෙ ඔහු.
ජයසිරි හිතන හැටියට නළුවාට දෘෂ්ටිවාදයක් තිබිය යුතුද?
අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. ලෝකයේ තියන ඉහළම වෘත්තිය නළුකම. වෙන රටවල මේකට ඉහළම මුදලක් ගෙවනවා. කතාවක් තියෙනවනෙ හැම බුද්ධිමතෙක්ම නළුවෙක් නෙවෙයි, ඒත් හැම හොඳ නළුවෙක්ම බුද්ධිමතෙක් කියලා. මොකද චරිතයක බාහිර වගේම අභ්‍යන්තරය නළුවාගෙන් නිරූපණය විය යුතුයි. හරි ඇක්ට් එකක් කියන්නෙ නිවන් යනවා වගේ වැඩක්. භාව විරේචනය නිසා හොඳ නළුවො ගොඩක් කල් ජීවත්වෙනවා කියලත් මතයක් තියෙනවා.
නළුවාගේ දෘෂ්ටිවාදය පිළිබඳ කාරණය මම මතු කළේ ඔබ නිරූපණය කළ චරිත දෙකක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමටයි. මේ මගේ සඳයි චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිතය තුළින් ඔබ යුද විරෝධී සදාචාරය මතු කරන අතරම ගාමණී චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිතය තුළින් යුදවාදයට අවශ්‍ය සටන් පාඨය මතුකරනවා. මේක ජයසිරි කියන නළුවාගේ දෘෂ්ටිවාදය පිළිබඳ පරස්පරයක් නේද?
ඒක එක්තරා ප්‍රතිවිරෝධී තැනක්. හඳගමගේ මේ මගේ සඳයි හා නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලි චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිත මගේ පුද්ගලික දෘෂ්ටිවාදයට එකඟයි. ඒත් සරත් වීරසේකරගේ ගාමණී ඒකේ හාමුදුරුවො මගේ පුද්ගලික දෘෂ්ටිවාදයට සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙත් මම නළුවෙක් හැටියට අධ්‍යක්ෂට අවශ්‍ය හැටියට රඟපාන්න ඕනෙ. අභ්‍යන්තරයෙන් මම ඒ චරිතයට විරුද්ධ වුණත් ඒක රඟපාන කාලය තුළ මම ඇත්තටම ජාතිවාදියෙක් වුණා. බුද්ධ දේශනාව ගැන බොරුත් කියන්න ඇති. මිනීමැරීමත් හරිය කියලා එතනදි කියලා තියනවා. ජාතිවාදී මනස මම එතැනදි ගත්තට චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙද්දි මම මානසිකව විඳපු දුක හා ආතතිය කාටවත් කියලා විසඳගන්න බැහැ.
ඉතිං නළුවට ලැබෙන ඕනෙ චරිතයක් නළුවා කළ යුතුද?
මුදල් සඳහා කරන්න වෙනවා. සිඩ්නි පොයිපියර් කියන විශිෂ්ට නළුවා ඉතාම දුප්පත් වෙලා හිටපු වෙලාවක දෘෂ්ටිවාදය නිසා චිත්‍රපටයක් අතහැරලා තියනවා. ඒ කැපවීම හරි පුදුමසහගතයි. මට ඒක කරන්න බැහැ. මුදල් අවශ්‍ය වුණා. පොයිටියර් වගේ ශ්‍රේෂ්ඨ තීරණ ගන්න අපිට මෙහේ බැහැ.