සීරුවෙන් කියවා ගත යුතු මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල

Share post:

ලෝ ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන ‘ස්කෝපියන්ස්’ (Scorpions) ගායනා කරන ‘වින්ඩ් ඔෆ් චේන්ජ්’ (Wind of change) ගීතය මානව ඉතිහාසයේ සුවිශේෂී ගීතයකි.
යූටියුබ් වෙබ් අඩවියේ බිලියනකට වඩා නැරඹුම් වාර සහිත එහි මාතෘකාව වන්නේ බර්ලින තාප්පය කඩා දමා යළිත් ජර්මනිය එක්සත්වීමයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිත්‍ර පාර්ශවය විසින් යටත් කරගත් ජර්මනිය දෙකඩ විය. එය දෙකඩ කරමින් බර්ලින තාප්පය ඉදිවිය.
ඉන්කොටසක පාලනය සෝවියට් රුසියාවටත්, ඉතිරි කොටසේ පාලනය ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයටත් හිමි විය.
බර්ලින තාප්පය කඩා දැමීම අලුත් යුගයක උදාවකි. වෙනස්වීමකි, ආරම්භයකි. වින්ඩ් ඔෆ් චේන්ජ් ගීතයෙන් සාකච්ඡා කෙරෙන්නේ එයයි.
වෙනසේ සුළඟ විසින් බර්ලින තාප්පය කඩා දමා තිබේ.
අනාගතය සුළඟේ දැවටී තිබේ. මට එය සෑම අතින්ම දැනේ. අනාගතය වෙනසේ සුළඟට මුසු වී හමයි.
මෙවර ජනපතිවරණයත් සීරුවෙන් කියවා ගතහොත් එවැනි නව යුගයක සහ වෙනස්වීමක ආරම්භයක් දැකගත හැකිය.
මෙවර ජනපතිවරණ ප්‍රතිඵල අනුව සිදු වූ එකම වෙනස්කම මින්පෙර තෙවන බලවේගය වූ අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරණය ජය ගැනීම පමණක්ම නොවේ.
ඉන් එහා ගිය ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ බරපතල වෙනස්කම් මෙවර ජනපතිවරණයෙන් කියවාගත හැකිය.
දකුණේ මහ සමාජය තුළ තවදුරටත් ස්ථිර ඡන්ද (Block vote base) නොපවතින බවත්, දකුණේ සමාජයෙන් 80% ක් පාවෙන ඡන්ද (Floating votes) බවත් මේ ඡන්දයෙන් පැහැදිලි වේ.
එමෙන්ම වාමාංශික, දක්ෂිණාංශික වශයෙන් වන මතවාද ඔස්සේ හෝ කුලක්‍රමය ආදි සාම්ප්‍රදායිකත්වය තුළ මෙරට දේශපාලන සමාජයේ පැවැති බෙදීම් අවසන් බවත් මෙම ප්‍රතිඵලයෙන් කියවාගත හැකිය.
තවදුරටත් පක්ෂ හෝ එම පක්ෂ වල ආසන නියෝජිතයන්ට කළ බලපෑමක් නොමැති බව මෙම ඡන්දයෙන් ඔප්පු වී තිබේ. නව දේශපාලන සංස්කෘතිය අනුව පක්ෂ මාරු කිරීම් ඡන්ද කැඩෙනා වැඩක් පමණි.
තවදුරටත් කඳවුරු හෝ මතවාද ලෙස ස්ථිර බැඳීමක් මෙරට දේශපාලනයේ නොපවතින බව මෙම මැතිවරණයෙන් පැහැදිලි වේ.
මේ ජනමාධ්‍ය සතුව පැවැති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය විසින් අත්පත් කරගත් මැතිවරණයකි. තවදුරටත් රජුන් තනන්නේ බිලියන ගණනක ආයෝජන කරමින් පවත්වාගෙන යන රූපවාහිනි නාළිකා නොවේ.
සාමාන්‍ය මිනිසුන් විසින් කිසිඳු පිරිවැයකින් තොරව පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම්, පිටු සහ යූටියුබ් නාළිකා මගිනි.
සමාජජාලා ඔස්සේ හුවමාරු වන තොරතුරු, මතවාද අනුව මිනිසුන්ගේ දේශපාලන මතය සකස් වේ.
තවදුරටත් “ගමේ ඡන්ද” ලෙස නාමකරණය වූ ඡන්ද ශ්‍රී ලංකා දේශපාලනයේ නැත.
ශ්‍රී ලංකා සමාජයේ අන්ත ග්‍රාමීය, දුගීන් සතුව පවා ජංගම දුරකථනයක් පවති. ඔවුන් සිය ඡන්දය භාවිතා කරන්නේ ජංගම දුරකථනයෙන් තමන්ට ලැබෙනා තොරතුරු අනුවයි.
මේ තොරතුරු තාක්ෂණ යුගයේ නගරයේ මතය ඉතා සීග්‍රයෙන් ගමට කාන්දු වේ.
මේ මෙරට රජුන් තනන්නාගේ භූමිකාව මධ්‍යම පාන්තිකයාට හිමි වූ මැතිවරණයකි. මෙරට මහ සමාජයේ බහුතර කණ්ඩායම මෙන්ම, විශාලතම සමාජ බලපෑමක් කළ හැකි කණ්ඩායම වන්නේද මධ්‍යම පාන්තිකයායි.
කලක් මෙරට රජුන් තැනුවේ සුපිරි ඉහළ ප්‍රභු පැලැන්තියයි. පසුව එය නිර්ධන, ග්‍රාමීය පැලැන්තියට හුවමාරු විය.
මෙතැන් සිට මෙරට දේශපාලනයේ තීරණාත්මක රජුන් තනන්නා මැද පන්තියයි. ඉතිහාසයේ කවරදාකටත් වඩා මධ්‍යම පන්තිය ප්‍රමාණයෙන් විශාල වීම එයට තවත් එක් හේතුවකි.
මධ්‍යම පාන්තිකයා සතුව පැහැදිලි දේශපාලන ප්‍රමිතීන් (Standards) පවතී. මින් ඉදිරියට මෙරට දේශපාලනයෙන් ජයග්‍රහණ අත්කරගත හැක්කේ මේ මධ්‍යම පාන්තිකයාගේ දේශපාලන ප්‍රමිතීන් සපුරන කණ්ඩායමකට පමණි.
මෙතැන් සිට පක්ෂ සහ පිල් මාරු කරන දේශපාලකයන් සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.
වේදිකාවේ චතුරත්වය සහ අවම දැනීම හෝ නොමැති දේශපාලඥයන් ප්‍රතික්ෂේප වේ.
තවදුරටත් පුද්ගලික හිතවත්කම්, උපකාර මත ජනතා මනාපය තීරණය වන්නේ නැත.
ජනතාව ඉදිරියේ නිහතමානී නොවීම, වගකීම්සහගත නොවීම මධ්‍යම පන්තියෙන් ප්‍රතික්ෂේප වීමට හේතු වේ.
ඉදිරියේ කුමන කණ්ඩායමකට මෙරට දේශපාලනයේ ජයග්‍රහණ අත්කර ගැනීමට අවශ්‍ය වූවත්, මධ්‍යම පන්තියේ මෙම දේශපාලන ප්‍රමිතීන් සැපිරීම අනිවාර්ය සාධකයකි.
මේ හමා ගියේ මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසේ සුළඟයි.
මධ්‍යම පන්තිය විසින් 2019 වසරේත් මෙම වෙනස සිදු කිරිමට උත්සාහ කළත්, ඔවුන් ප්‍රාර්ථනා කළ නව දේශපාලන සංස්කෘතිය ඇතිවූයේ නැත.
මේ ඔවුන් ලබා දුන් පිළිතුරයි.
ඕනෑම ක්ෂේත්‍රයක රදා පවතින්නේත්, සාර්ථක වන්නේත් කල්ඇතිවම වෙනස හඳුනාගෙන එයට සාර්ථකව අනුගත වන කණ්ඩායමයි.
අනුරගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව ඔහු මෙම දේශපාලන සංස්කෘතියේ වෙනස සහ මිනිසුන්ගේ සිහින නිවැරදිව කියවා ගැනීමයි.
එමෙන්ම ඔහු දිනෙන් දින ඉගෙන ගන්නා සහ යාවත්කාලීන වන මිනිසෙකි. මා 2005 ජනාධිපතිවරණයේ සිට අනුර කුමාර දිසානායකගේ කතා වලට සවන් දී තිබේ.
ඔහු චතුර කථිකයෙකි. එනමුදු ඔහු කෙදිනක හෝ හැඟීම්බර කථිකයෙකු වූයේ නැත.
නමුත් මෙවර මැතිවරණයේ ඔහුගේ ඇතැම් හැඟීම්බර කතා රටක් හැඬවීමට සමත් විය. පැහැදිලිවම සිය කථිකත්වයේ රික්තකයක් වූ මිනිසුන්ගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කිරීම පවා අනුර පුහුණු වී තිබේ.
එය ඔහු කොතරම් යාවත්කාලීන වන සහ ඉගෙන ගන්නා මිනිසෙකුදැයි කීමට සාක්ෂියකි. ඔහු වෙනස නිවැරදිවම කියවාගෙන තිබේ.
කාලයට අනුකූලව වෙනස් නොවීම වඳ වී යාමට හේතුවකි.
මේ වෙනසේ පණිවිඩය නිසි ලෙස ග්‍රහණය කර ගැනීමට අසමත් වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙරට දේශපාලනයෙන් සඳහටම නෂ්ඨ වී යනු ඇත.
ශ්‍රී ලංකාවේ නවමන විධායක ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම්!

ඉරේෂාන් සිරිවර්ධන

Related articles

කරන්නාගොඩ අප්පුහාමි ගැන මම සෑහෙන්න හිතුවා – ඩබ්ලිව්. ජයසිරි

ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජයගත් අද්වීතීය රංගන ශිල්පියෙක් මෙන්ම ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද...

LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි !

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම්...

නව ජනාධිපති වෙත : අත්නොහැරිය යුතු මාතෘකාවක් ගැන මතක් කිරීමයි !

දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය වැනි මාතෘකා පිළිබඳ ලෝක මට්ටමේ පුළුල් සංවාද සහ අධ්‍යයන සිදුවුවද, ලංකාවේදී එය තවමත් අවශේෂ...

2020 මහ මැතිවරණය මතකද? : රවී – ශානි මේ වෙලාවෙ ගන්න ඕනෙ නෑ : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ...