මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සාඩම්බර පුරුකකි. කාගේත් නොමඳ ආදරයට පාත්‍ර වූ ඈ නමින් ” මනෝහරී ජයලත්” වන්නී ය. ඈ විසින් රචිත අනෙක් කෘති කියවන්නට තවම අවකාශ නො ලද මා ඇගේ “ගිරිජා” කෘතිය පළමුවරට කියැවීමි. එතුළින් ලද ප්‍රහර්ශය ද, සතුට ද, සහෝදරකම්වල මහිමයෙන් ද සංවේදී වූ සිතින් මේ කෘතිය මට දැණුන මා විඳගත් අයුරු වදන් කරන්නට සිතීමි.
” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොව, 19 වන සියවසේ ලංකාවේ මහනුවර ආශ්‍රිතව ගොඩනැඟුණු ඉතා හරවත් කතාවක් බව කිව යුතුම ය. 19 වන සියවස මැද භාගයේ මහනුවර සමාජය නව මානයකට යොමුවීම, ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත්ව එකළ නින්දගම් ව පැවති ගම්මාන වලට ඉඩකඩම් ප්‍රවේණියන්ට බාධා පැමිණවීම සිදුවීම, හෙළ බවබෝග වෙනුවට කෝපි වගාවන් පැමිණීම, ඇඟ බද්ද – බලු බද්ද- ගස් බද්ද ආදී නේක බදු බර හෙළයාගේ කරමත වැටීම තුළ අහිංසක ගොවියා අසරණ වීම, හෙළ කුළ සිරිත් සහ ඇදහිලි විශ්වාස, පවුල් සංස්ථාවන් සහ එහි හැසිරීම්, හෙළ සිරිතක් ව පැවති එක ගෙයි කෑම නොහොත් බහු විවාහ සංකල්පය පිළිබඳ ආදී වූ ඉතා වැදගත් මාතෘකා කිහිපයක් ම ඉතා රසවත් ව මෙන්ම සවිස්තරාත්මකව ස්වකීය කතාව තුළ ඉස්මතු කර දක්වන කතුවරිය එතුළින් එකල්හි සමාජය ද – සමාජ හැසිරීම ද නොසඟවා පවසන්නී පාඨක රසය ද කුහුල ද දල්වන්නී ය.
“ගිරිජා” යනු කතාවේ ප්‍රධාන චරිතයකි. වැඩිමාලු දියණිය වන ඈට බාල එකකුස හොත් සොයුරිය රම්මා සමඟ ඕ සුන්දරා නම් එක් මිනිහෙකු හා දීග යන්නී ය.රම්මා හා ගිරිජා නම් දෙ සොහොයුරියන්ගේ හිත් වල එකිනෙකා කෙරෙහි ඇති සහෝදර සෙනෙහස ද මනාව ඉස්මතු කරන මේ කෘතිය පුරාවට සොයුරු පෙමක මහිමය අපූරුවට දනවන්නේ ලෙහි හැඟුම් අන් සියල් බැඳීමකට වඩා ප්‍රබල බැව් ඉස්මතු කරවමිනි. ලෙයට ලෙය කකියනා බව අපි අසා ඇත්තෙමු. එය සැබෑවක් ම බැව් පොතපත තුළින් මෙන්ම ජීවිතය තුළින්ද මම සැබෑවටද අත්විඳින්නෙමි.
“…ගිරිජ්ජේ සහෝදරකං කියන්නේ හම ඇටමිදුළු කකියන බැමි. උඹෙ අඩි පාරත් මට ඉව…ඒ ඉව අල්ලන් මතු සංසාරෙත් මට ඇහැකි උඹ ඉන්නා තැන හොයාගන්ඩ.
කොයින්ද උඹට සිලිං කාසි….?
පපුව අස්සෙන්, ගිරිජ්ජේ පපුව ඇතුළාන්තෙන්…”
ඔව් සත්තකිං…! දවසක සූරිය මණ්ඩලේ උඹෙ ඉහට උඩින් පායයි ගිරිජ්ජේ…”
- ගිරිජා ; මනෝහරී ජයලත් –
රම්මා ද, ගිරිජා ද මුල්කොටගෙන දිගහැරෙන මේ කතාන්දරය පුරාවට 19 වන සියවස මැද භාගයේදී මහනුවර කේන්ද්‍ර කොටගෙන ඇතිවූ සමාජ පරිණාමය ආරම්භ වන අයුරුත්, ඉංග්‍රීසීන් සමඟ වන නිදහස් සටන සහ එහි අවසානය සනිටුහන් කරන්නට නුවරැසි ජනයා දරන පරිශ්‍රමයත්, සමාජ -ආර්ථික- නෛතික- දේශපාලනික – කෘෂිකාර්මික වෙනස්වීම එකී ජනයා කෙරෙහි බලපැවැත්වූ අයුරුත් මොනවට ඉස්මතු කරන්නේ මහනුවර රාජධානියේ ඇවැත්ම පැවැත්ම ඉංග්‍රීසීන් නතු කරගත් අයුරුත් ඔවුන් ඔවුන්ගේ ආණ්ඩු බලාත්මක කළ අයුරුත් ගැන මනා අවබෝධයක් ද පාඨකයාට ලබා දෙමිනි. කතුවරිය සිය කතාව ගලාගෙන යාම සඳහා ඊට ම උචිත පරිදි බස හැසිරවීම තුළ එකී කාලවකවානුවක ජීවත් වෙන්නා සේ ම හදවතින් වැළඳගෙන ඒ මොහොතට ආරූඪ වෙමින් කතා රසය විඳගන්නට පාඨකයාට ඉඩ ලබා දීම ප්‍රශංසනීය ය.
රම්මා- ගිරිජා ලෙස මෙහි කූඨප්‍රාප්ති සහෝදර ප්‍රේමය තුළින් ඉස්මතු කරන ජීවිතයේ ගැහැණු දරාගත යුතු අටෝරාසියක් දුක් දොම්නස් ද, ජීවන ගමන ද, ස්ත්‍රීත්වයේ සුන්දරත්වය ද චමත්කාරයද මුසු දරාගැනීම, ඉවසීම, හැඩගැසීම, ආදරය, කරුණාව, සහෝදර ප්‍රේමය, එඩිතර බව, නොපසුබස්නා වීර්‍යය සහ අධිෂ්ඨානය ද, ස්ථානෝචිත ප්‍රඥාව ආදී නේක මනුෂ්‍ය සංසිද්ධීන් ඉතා සුමට ව – රමණීයත්වයෙන් සහ අපූර්වත්වයෙන් ඉස්මතු කර දක්වන්නේ පාඨකයා කතාව කෙරෙහි වඩ වඩාත් ආසක්ත කරවමින්ද, එතුළින් කථා රසය තීව්‍ර කරවමින් ජීවනාදර්ශ ද නො අඩුව සපයමින්ම ය.
ගැහැනිය යනු හුදු මොළකැටි – රූපශ්‍රීයෙන් අගතැන් – සුන්දර වස්තුවක් වුව, අවැසි විට අවැසි තැන පිරිමියෙකුගේ හයි හත්තිය ඇතිව වැඩ කරන්නට ද, ළතැවිල්ලේ නො ඉඳ එහෙ මෙහෙ දුව පැන තමන්ගේ දිවි සරි කරගන්නට නො පැකිළ වෙහෙසෙමින් ද, පවුල ද- සොයුරු බැමි ද- සමාජ විපරියාසයන් ද ආදී වූ නේක දෑ එක මිටට විඳ දරා ඒ අනුරූප ව හැඩගැසෙන්නට ද සවිමත් නම් ඕ නියමාකාර ස්ත්‍රියකි; එවන් ගැහැනු කවදත් කොතැනත් බබළන්නේම ය. අවැසි තැන නිහඬව නොසිට කතා කරන්නටත්, හැම දේ ගැන ම නිසියාකාර අවබෝධයක් ඇතිව ජීවත් වන්නටත්, කිසි දෙයක් ‘ මට බෑ දන් නෑ’ නොකියා වෑයමින් ඉගෙනගෙන සුහුරු බව දක්වන්නටත්, අවැසි තැන අවැසි අයුරින් නිවැරදි තීරණ ගන්නටත් ඕ එඩිතර විය යුතු ය. එවන් යකඩ ගැහැනියක වූ ගිරිජා තුළින් ඈ අපේ ජීවිතයට ද ලබාදෙන්නේ එකී ජීවනාදර්ශම ය.
ස්ත්‍රීත්වයේ එකී මෙකී අනේක හැඩතල තුළ ජීවිතය සරිකරගන්නටත්, ජීවිතාවබෝධය ඇතිව ජීවත් වන්නටත්, ජීවිතාශාව දල්වන්නටත් කෘතිය සමත් වී තිබීම ප්‍රශංසනීය ය. ගැහැනිය යනු හුදු කටු අකුළක් වන් ජීවිතය රෝසමල් යහනාවක් කරන්නට තරම් හැකියාවැති, කටුපඳුරු මතින් වුව ජීවිතය විඳ දරාගෙන සුපුෂ්පිත රෝස කුසුමක් ව සුපිපෙමින් සුවඳ විහිදුවාලන්නට හැකි, විටෙක පුරුෂයෙකුටත් වඩා එඩිතර ව සවිමත් ව නැඟී හිඳ අවැසි තැන අවැසි තීරණ ගෙන ජීවිතය සුහුරුව වියමන් කරන්නට හැකියාවැති පිරිපුන් අයවළුන් ය. සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය එවන් ගැහැනුන්ටම ය. කටු අකුල් වන් ඇතැම් පිරිමි ජීවිත සුවඳැති රෝස කුසුමක් මෙන් සුපුෂ්පිත කරමින් සුවඳ විහිදුවාලන සුන්දර ගැහැනුන්ටම ය.
” රුදුරු තුරු වදුලේ
තියුණු කටු අකුළේ
දිළෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ…”
එවන් එඩිතර – සුහුරු – වෙනස්වීම් අභිමුව පළා යනු හෝ ජීවිතය අතැර දමනු වෙනුවට ජීවිතය ම පතන – ජීවිතය අදිටනින් සොයා යන අධිෂ්ඨානශීලී රම්මා- ගිරිජා වැනි ගැහැණුන් ලබන පිරිමි හැබෑ ජීවිතයේදී බොහෝ වාසනාවන්ත ය.
දිගු කතාවක් කෙටි කරනු වස් අවසන කිව යුත්තේ ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සමාජ පරිවර්තනයක් අබිමුව ඊට එඩිතරව අනුරූප වෙමින් ජීවිතය ගැටගසාගන්නටත්,ගෙත්තමක් තරමට සුහුරුව ජීවිතය වියමන් කරගන්නටත් හැකිවූ දිරිමත්- නොපසුබස්නා වීරියෙන් යුත් ගැහැනු දෙදෙනෙකු වූ රම්මා සහ ගිරිජාගේ කතාව තුළ අපටද ලැබෙන ජීවිතාවබෝධය අතිමහත් ය. ප්‍රේමය ද, අහිමිවීම් ද , දරාගැනීම් ද, හැඩගැසීම් ද, දුක් සුසුම් ද , කඳුළ ද ,සතුට ද එකට එකතැන් ව ගලාගිය රසවත් කතාන්දරයක අවසන සහෝදර ප්‍රේමයක කූඨප්‍රාප්තිය හමුවේ සසලැති හදකින් සිතන්නටත්, ලේ බැම්ම අන් හැම බැම්මටම යට බව හඟින්නටත්, වෙනස් වන ලෝකය තුළ විනාශ නොවී රැඳී සිටින්නට නම් එකී විපර්‍යාස හමුවේ පසු නොබැස අනුවර්තනය වන්නටත් අවැසි බව අපූරුවට කියාදෙන කතුවරිය මින් පාඨකයාගේ විචක්ශණශීලීත්වය ද අවදි කරවන්නීය.