‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

Share post:

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති විසින් රචිත කෙටිකතා කලාව නම් කෘතියට ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා ගැන වෙනම පරිච්ඡේදයක් ඇතුළත්ව ඇත. ඔක්ටාවියෝ පාස්,තාගෝර්,චෙකොෆ් වැනි ලොව ප්‍රකට ලේඛකයන් ලියූ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කීපයක පරිවර්තන ද, කේ.කේ. සමන්කුමාර,අනිල් හේරත් වැනි අය සිංහල බසින් ලියූ ක්ෂුද්‍ර ප්‍රබන්ධ ගැන විමසුමක් ද ඒ පරිච්ඡේදයේ හමුවෙයි. අපේ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙරෙහි මෙන්ම විදෙස් රටවල ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙරෙහි ද අවධානය යොමු කරමින් අනිල් හේරත් ඒ අඩවියේ පර්‍යේෂණකාමී ලෙස කටයුතු කිරීම අගය කළ යුතු දෙයකි. සරත් විජේසූරිය තමන්ට පසු පරපුරෙන් ද නිහතමානී ලෙස යමක් ඉගෙන ගන්නා කෙනෙකි. ඔහු තරුණ කාලයේ ලියූ ප්‍රමාණයෙන් කුඩා රචනා යළි සකස් කරමින් ද අලුතෙන්ම එබඳු ක්ෂුද්‍ර ප්‍රබන්ධ ලියමින් ද ප්‍රබන්ධ තිහකින් යුතුව ‘ ගිගිරි වළලු පය නොලා’ නම් කෘතිය අප වෙත තිළිණ කරයි. ග්‍රන්ථනාමයෙන් යුතු කෙටිකතාවක් කෘතියේ දක්නට ලැබුණ ද පොදුවේ මේ කතාමාලාවට සුදුසු නමක් ලෙස ‘ ගිගිරි වළලු පය නොලා’ යන්න සැලකිය හැකිය. ඒ මේ කතා තුළින් අනවශ්‍ය තරම් කිංකිනි නාද මතු නොවීම හේතුවෙනි.

සරත් විජේසූරිය ජීවිතය නම් තක්සලාවෙන් බොහෝ දේ ඉගෙන ගන්නට කැමති කෙනෙකු බව ඔහුගේ නිර්මාණ කෙරෙන් මතු නොව විචාර තුළින් ද පෙනෙයි. මේ කෘතියට ඇතුළත් රචනා ජීවිතයේ විවිධ මොහොතවල් වෙත සාමාන්‍ය මට්ටම ඉක්මවා එබිකම් කිරීමේ ප්‍රතිපලයක් යැයි සිතේ. යාන්ත්‍රික ලෙස සිද්ධි,අවස්ථා,චරිත දෙස බලන්නට හුරුවූ සමාජයකට මේ කෘතිය සම්පාදනය කරන භාවමය සහ ඥානමය සම්පත් වැදගත් වේ. ගුරු ශිෂ්‍ය සබඳතා පාදක කරගනිමින් ලියවුණ වැදිරජ,ගිගිරි වළලු පය නොලා වැනි රචනා අපේ සමාජයට වැදගත් යැයි මට හැඟෙන්නේ ගුරුවරයකු ලෙස මා ලත් අත්දැකීම් හේතුවෙනි. සිද්ධි,අවස්ථා,චරිත දෙස ඒකමානී ලෙස බලන බොහෝ ගුරුවරුන් මට හමුව ඇත. ඔවුන් මස්,ලේ වලින් සමන්විත මිනිසුන්ද නොඑසේව යන්ත්‍ර ද යන සිතුවිල්ල සිතට ආ වාර අනන්තය. ජීවිතේට ඉඩ දෙන්න වැනි කතාවක් තුළ එන උත්ප්‍රාසාත්මක බව ද ඉතාවැදගත් දෙයක් යැයි සිතමි.

ඉක්මනින් කියවා නිමා කළ හැකි වුවත් විවේකයෙන් යළි යළි කියවන විට මේ කෙටිකතා කෙරෙන් විවිධ අරුත් මතුවෙයි. සෑහෙන පාඨක සමාජයක් දිනා ගත් ලේඛකයකුගේ මේ අත් හදා බැලීම් අලුත් පරපුරකට මේ සාහිත්‍ය ශානරය තුළ සිය ශක්‍යතා උරගා බලන්නට කරන ආරාධනාවක් ලෙස ද භාර ගත හැකිය .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...