නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

Share post:

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක් වන මෙහි තරග ද්විත්වයම ගාල්ල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය සඳහා යළි ඔෂධ ප්‍රනාන්දු කැඳවා තිබෙන අතර එය නිවැරදි තීරණයකි.
පසුගිය තරගාවලි වල අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ට මෙම සංචිතයේත් ස්ථානයක් වෙන්ව තිබේ.
බොහෝ විට ඔහුට කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරන නොම්මර 7 ස්ථානය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය සාකච්ඡා කරමින් සිටියි.
ඔවුන් අතර සාකච්ඡා වී තිබෙන්නේ කමිඳු මෙන්ඩිස් නොම්මර 7 ස්ථානයේ හොඳින් ලකුණු රැස් කරනා බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්මර 7 ස්ථානය ලකුණු රැස් කිරීමට පහසු තැනක් බවයි.
ධනංජය ද සිල්වා නොම්මර හය පිතිකරු ලෙස සාර්ථක වීමත්, පන්දුව පැරණි වී, පන්දු යවන්නන් තරමක වෙහෙසට පත්ව සිටීමත් කමිඳු ගේ සාර්ථකත්වයට හේතූන් ලෙස ඔවුන් කියවා ගනියි.
එම නිසා කුසල් මෙන්ඩිස්ට නොම්මර හත ස්ථානය ලබා දී, ඔහු සාර්ථක කරවා ගැනීම අරමුණයි.
නමුත් එය කිහිප පැත්තකින් වැරදි තීරණයකි.
පළමුවෙන්ම, කුසල් මෙන්ඩිස් යනු බලෙන් හෝ සාර්ථක කරගත යුතු ක්‍රීඩකයෙක් නොවේ.
ඔහුට නොම්මර තුන ස්ථානය ලබා දුන්නේ එම ස්ථානයේ ලකුණු ලබා ගැනීම පහසු යැයි උපකල්පනය කරමිනි.
ඉන්පසුව ඔහු ආරම්භක පිතිකරණ ස්ථානයක් ඉල්ලූ පසු, එයද ඔහුට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කළේය.
ඔහු එතන ද අසාර්ථක විය.
දැන් කමිඳු සාර්ථක නිසා, නොම්මර 7 ස්ථානය ලකුණු ලබා ගැනීමට පහසු යැයි ඔවුන් උපකල්පනය කරමින් කුසල් එතැනට ගෙන ඒමට සැලසුම් කරයි.
එහි අරමුණ කුසල් මෙන්ඩිස්ගෙන් ලකුණු ලබා ගෙන ඔහු කණ්ඩායමේ ස්ථිර ස්ථානයක තබා ගැනීමයි.
කුසල් මෙන්ඩිස් එතරම් විශේෂ සැලකිල්ලක් ලබා දීමට සුදුසු ක්‍රීඩකයෙක් ද යන්න ගැටලුවකි.
දෙවැන්න නොම්මර හත ස්ථානයේ අති සාර්ථක වූ කමිදු මෙන්ඩිස් එතැනින් ඉවත් කිරීම අතිශය අයුක්ති සහගත ක්‍රියාවකි.
ඇතැම් විටෙක ඔහුට ලබා දෙන නව ස්ථානයේ ඔහු අසාර්ථක වුවහොත් ඔහුට කණ්ඩායමෙන් ඉවතට පවා විසි වීමට සිදුවනු ඇත.
කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් නොවේ. ඔහු කණ්ඩායමෙන් විසි වීමට අසාර්ථක තරග දෙකක් ප්‍රමාණවත් වේ.
එවැනි පසුබිමක කමිඳු ගේ ස්ථානය වෙනස් කිරීම කොතරම් අසාධාරණද ?
මෙවැනි යොවුන් ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් වෙන් කිරීම කණ්ඩායම් පරිපාලනයේ අවම වගකීමකි.
ඔහුට ලබා දුන් තැන අති සාර්ථක වී, ඔප්පු කර ඇති කමිඳු මෙවන් කුඩම්මාගේ සැලකිලි වලට ලක් විය යුතු ක්‍රීඩකයෙක් නොවේ.
එක් ක්‍රීඩකයෙකු රැක ගැනීම උදෙසා ඔප්පු කර තිබෙනා යොවුන් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් සිදු කරන මෙම සූදුව දැන්වත් නතර විය යුතුය.
මෙරට ක්‍රිකට් පරිහානියට සහ කඩාවැටීමට හේතුව ද එම සූදුවයි.

ඉරේෂාන් සිරිවර්ධන


Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...