ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ මහජන මතයට එල්ල කරන බලපෑම සැලකිල්ලට ගනිමින් එවැනි ඉලක්කම් ප්‍රසිද්ධ කිරීම මැතිවරණ කොමිසම මගින් වළක්වනු ලැබිණි. එහෙත් මේ මැතිවරණ සමීක්ෂණ හෙවත් පුරවැසියන්ගේ කැමැත්ත පිළිබඳ පූර්ව මත පළකිරීම ලෝකය පුරා ම සිදුවන්නකි. අනෙකුත් සමීක්ෂණ අතර වෙනස් සමීක්ෂණයක ප්‍රතිඵල පසුගිය 10දා නීතිය හා සමාජ භාරය විසින් එළිදක්වනු ලැබිණි. එහිදී එක්-එක් අපේක්ෂකයන් පිළිබඳව ජනතාවගේ කැමැත්තට වඩා ඔවුන් නිරීක්ෂණය කර තිබුණේ ඡන්දය ලබාදීම සඳහා ජනතාවට බලපෑම් කරන සාධක සම්බන්ධයෙන් ය.
මේ ලිපිය සකස් කරන ලද්දේ එම සමීක්ෂණ වාර්තාව ඇසුරෙන් ය.
සමීක්ෂණයේදී නිරීක්ෂණය කරන ලද මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේද යන ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු මගින් හෙළිවී ඇත්තේ මුස්ලිම් සහ සිංහල ජනතාවගෙන් සියයට 90ක් ඡන්දය ප්‍රකාශ කරන බවයි. එය ශ්‍රී ලාංකික දෙමළ සහ මලයග දෙමළ ප්‍රජාව අතර සියයට 97ක් තරම් ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් ඡන්දය දීමෙන් වැලකී සිටින සහ ඡන්දය දෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය නොකරන ලද සියයට 10කට ආසන්න ජනතාවක් ද සිටී. 2005 ජනාධිපතිවරණයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීම එහි ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කළ අතර, පසුගිය ජනාධිපතිවරණවලදී පොදුවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පැවතියේ සියයට 80ක මට්ටමේ ය.
රට පුරා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ග්‍රාම නිලධාරි වසම් 42ක් සම්පූර්ණයෙන් ම ආවරණය කරමින් මේ සමීක්ෂණය පවත්වා ඇත. එහිදී ජනවර්ග අනුපාතය මෙන්ම අනෙකුත් විශේෂ සාධක ද සලකා තිබේ. සමීක්ෂකයන් මෙහිදී ප්‍රධාන සාධක කිහිපයක් සලකා බලා ඇත. ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයාගේ ප්‍රවේශය, ජාතික ප්‍රශ්නයට ප්‍රවේශය, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් මැදිහත් වීම, සාම්ප්‍රදායිකව තමන්ගේ පවුල එම අපේක්ෂකයාට හෝ ඔහුගේ කඳවුරට ඡන්දය ප්‍රකාශ කර තිබීම, අපේක්ෂකයාගේ ජනවාර්ගිකත්වය සහ වෙනත් සාධක මෙහිදී වැඩි අවධානයට ලක් වී තිබිණි.
ආර්ථිකය සම්බන්ධයෙන් එක්-එක් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රවේශය ඡන්දය ලබාදීමේදී වැඩියෙන් ම සලකා බලන බව සඳහන් කර තිබුණේ මලයග දෙමළ ප්‍රජාවයි. එම ප්‍රතිශතය සියයට 82.35කි. මේ කරුණ තමන්ගේ ඡන්දයට අඩුවෙන්ම බලපාන බව සඳහන් කර තිබුණේ මුස්ලිම් ප්‍රජාවයි. එම ප්‍රතිශතය සියයට 63.74කි.
සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් හොඳ ම සහතිකය දිය හැකි පුද්ගලයා තෝරාගන්නා බව වැඩියෙන්ම සඳහන් කර ඇත්තේ මුස්ලිම් ප්‍රජාවයි. සමීක්ෂණයට බඳූන් වූ මුස්ලිම් ජනතාවගෙන් සියයට 17.95ක් එය පවසා තිබූ අතර, සිංහල ප්‍රජාවගෙන් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම පිළිබඳව සඳහන් කර තිබුණේ සියයට 10.8කි. ශ්‍රී ලංකා දෙමළ සියයට 7.65ක් ද, මලයග දෙමළ සියයට 4.64ක් ද තමන් ඡන්දය දීමේදී නීතියේ ආධිපත්‍යය සලකා බලන බව පවසා තිබිණි.
ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ආර්ථිකය සම්බන්ධ පොරොන්දු සහ ප්‍රතිපත්ති සැලකීම යන කාරණය සලකා බැලූ විට නාගරික, ග්‍රාමීය සහ වතුකර ජනතාව අතර පැහැදිලි වෙනස්කම් නිරීක්ෂණය වී තිබේ. බස්නාහිර පළාතේ නාගරික ජනතාව විශේෂයෙන්ම මෙහිදී සලකා බලා ඇත්තේ බදු බර අඩු කිරීම සහ භාණ්ඩ මිල පිළිබඳ ගැටලු ය. ඊට සාපේක්ෂව හම්බන්තොට, මොනරාගල, මාතර, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල බොහෝදෙනෙකු රසායනික පොහොර මිල අඩු කිරීම, කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍රවල මිල අඩු කිරීම සහ වගා හානි වන්දි ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් ය, වැඩි අවධානයක් යොමුකර තිබුණේ.
උතුරේ දෙමළ ප්‍රජාව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල සිංහල ප්‍රජාව විරැකියාවට ලබාදෙන විසඳූම් මෙහිදී තීරණාත්මක බව අවධාරණය කර තිබිණි. මලයග දෙමළ ප්‍රජාව මෙහිදී වැඩි අවධානයක් යොමුකරන බව සඳහන් කර ඇත්තේ බඩු මිල අඩු කිරීම, සහනාධාර ලබාදීම, වැඩිහිටියන්ට විශේෂ සහන සැලසීම, පාසල් සිසුන්ට දිවා ආහාර සහ නොමිලේ නිල ඇඳූම් ලබාදීම, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ය. සුබසාධන යෝජනා මෙන්ම ඉඩම් සහ තමන්ගේ ලිපින නොමැති වීමේ ගැටලුව විසඳීම ද ඔවුන් ප්‍රමුඛ කොට සලකන බව සඳහන් කර ඇත. සිලාවතුර වැනි ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඉඩම් කොල්ලය නතර කිරීම සිය ප්‍රමුඛ අවශ්‍යතා අතර පවතින බවයි.
ත්‍රීකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් පොදුවේ අවධාරණය කර ඇති විශේෂ කරුණක් වන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් විශාල වශයෙන් විදේශගත වීමේ ගැටලුවයි. කාන්තාවන් රට යැවීම නතර කිරීමට කටයුතු කරන්නේ කෙසේද යන්න ඔවුන්ට ඇති ප්‍රශ්නයකි. ඒ පිළිබඳ ජනාධිපති ධුර අපේක්ෂකයන් සෑහීමකට පත්වන පරිදි අදහස් පළකළ නැතැයි යන්න ඔවුන් බහුතරයකගේ අදහසයි. මීට අමතරව ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව ආර්ථික ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමේදී නිවාස නොමැති වීමේ ගැටළුව ද මතුකර ඇත.
මේ සමීක්ෂණයට අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් ආර්ථික ප්‍රශ්නයට පසු වැඩියෙන්ම සලකා බලන්නේ නීතියේ ආධිපත්‍යය පිළිබඳවයි. මේ පිළිබඳව වැඩි ම අවධානයක් යොමුකර ඇති මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තමන් බලවත් අසාධාරණයන්ට ලක්වූ බවයි. එම නිසා නීතිය ඉදිරියේ සමානාත්මතාවේ වැදගත්කම ඔවුන් වැඩියෙන් අවධාරණය කර ඇත. අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් සෙවීමේදී තම ප්‍රජාවේ සිටින දේශපාලන ක්‍රියාකාරිකයන් මර්දනය කළ බව ද ඔවුන් සමීක්ෂකයන්ට පෙන්වා දී ඇත.
නීතිය හා සමාජ භාරය විසින් සිදුකරන ලද මේ සමීක්ෂණයට අදාළ වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සමීක්ෂණයට භාජනය වන පුද්ගලයන් එසේ පැවසීමට හේතුව නිශ්චිතව රැස්කිරීමයි. ඉලක්කම් පිළිබඳ සමීක්ෂණයකින් බැහැර ව මෙය තොරතුරු එකතුවක් වී ඇත්තේ එම නිසා ය. උදාහරණයක් ලෙස මුස්ලිම් ප්‍රජාව නීතියේ ආධිපත්‍යයේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කර ඇති හේතු ඔවුන් නිශ්චිතව දක්වා ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු තත්ත්වය, කොවිඩ් ආසාදිතයන් මියගිය පසු ආදාහනය අනිවාර්ය කිරීම, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳූම් පිළිබඳව මතු වූ ගැටලු ආදිය ඔවුන් ඊට හේතු ලෙස පෙන්වා දී තිබේ.
නීතියේ ආධිපත්‍යය කොටස යටතේ නාගරික ප්‍රජාව විශේෂයෙන් සඳහන් කර ඇති කරුණකි, වංචාවට සහ දූෂණයට එරෙහිව සිදුකරන්නේ කුමක්ද යන්න. නාගරික ප්‍රජාවේ බහුතරයක් පෙන්වා දී ඇත්තේ අවශ්‍ය නීති නැති නිසා වංචාව සහ දූෂණය පාලනය කළ නොහැකි බවයි. 2015 ජනාධිපතිවරණයේදී දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග අතිශයින් වැදගත් වුවද, මේ වන විට ජනතාව අතර ඒ පිළිබඳ විශ්වාසයක් නැති බවට ද නාගරික ප්‍රජාව කරුණු මතුකර තිබේ. එම නිසා බහුතර ජනතාව එය ඡන්දය ලබාදීමේදී බරපතළ සාධකයක් ලෙස නොසලකන බව ද මේ වාර්තාවේ කරුණු අතර සඳහන් ය.
මෙහිදී පොදුවේ සියලු ප්‍රජාවන් මතු කර ඇති කරුණු කොටස් 02කට බෙදිය හැකිය. ඒ අතරින් එක් කොටසක් වන්නේ වංචාව, දූෂණය නතර කිරීමට ඇති සැබෑ අවශ්‍යතාව පිළිබඳ ප්‍රශ්නයයි. අනෙක් කොටස වන්නේ සැබෑ අවශ්‍යතාවක් ඇති බව පෙනුණද, ඒවා අනාවරණය කිරීමෙන් එහාට ගොස් එවැනි දූෂණ සිදු කළ පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒමට කොතරම් කටයුතු කර ඇද්ද යන්නයි. මේ දෙවැනි අදහස වැඩියෙන් දක්වා ඇත්තේ වයස අවුරුදු 35ට වැඩි ඡන්දදායකයන් ය.
ජනාධිපතිවරණයේ තමන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වැඩියෙන්ම සලකා බලන කරුණ ජාතික ප්‍රශ්නය යනුවෙන් වැඩියෙන් ම අදහස් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවයි. එහි ප්‍රතිශතය සියයට 10කි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ජාතික ප්‍රශ්නය විසඳීමට නව නායකත්වයක් අත්‍යවශ්‍ය බවයි. අනෙක් සියලුම ප්‍රජාවන් එම ප්‍රශ්නයට ලබාදී ඇත්තේ අවම ඉඩකි. එය සියයට 5කට වඩා අඩු ප්‍රතිශතයකි. දෙමළ අපේක්ෂකයෙක් ජයග්‍රහණය නොකරන බව පෙනෙන්නට තිබුණත්, දෙමළ නොවන අපේක්ෂකයකු මේ ප්‍රශ්නයට සාධාරණ විසඳූමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සමීක්ෂණයට ලක්වූ වැඩි පිරිසක් පවසා ඇත.
සිලාවතුර, ආලංකුඩා වැනි ප්‍රදේශවල පදිංචි මුස්ලිම් ප්‍රජාවට අනුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස දක්වා ඇත්තේ ඉඩම් ගැටලු විසඳීමයි. සිංහල ප්‍රජාවගෙන් සියයට 2කටත් අඩු ප්‍රතිශතයක් පමණක් මෙය මූලික වශයෙන් දක්වා තිබෙන අතර, ඒ අතරිනුත් බහුතරය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් වීම විශේෂත්වයකි. ජාතික තලයේ මැතිවරණයකදී ජාතික ප්‍රශ්නය ප්‍රමුඛ සාධකයක් ලෙස මැතිවරණ වේදිකාවල මතු නොවූ මෑත කාලීන එක ම මැතිවරණය ලෙස ද මෙය වැදගත් වේ. එහෙත් ජාතික ප්‍රශ්නයේ තීරණාත්මක බව අවසන් වී නැති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
පවුලේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂපාතීත්වය තම ඡන්දයට වැඩි බලපෑමක් සිදුකරන බව සමීක්ෂණයේදී වැඩියෙන්ම පවසා ඇත්තේ මලයග දෙමළ ප්‍රජාවයි. එහි බලපෑම මෙවර මැතිවරණයේදී අවම බව පවසා ඇත්තේ සිංහල ප්‍රජාවයි. එසේ ම ශ්‍රී ලංකා දෙමළ හැර අනෙක් ප්‍රජාවන් අපේක්ෂකයාගේ ජනවාර්ගිකත්වය ඡන්දය දීමට බලපාන බව සඳහන් කර නැත. 2005, 2015 සහ 2019 ජනාධිපතිවරණ සමග සංසන්දනය කරන විට මේ සමීක්ෂණයේදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආර්ථික සාධකය අනෙකුත් සියලුම සාධක අබිබවා ඡන්දදායකයාගේ කැමැත්තට තීරණාත්මක ලෙස බලපෑම් කරනු ඇති බවයි.
මීට පෙර පැවැති ජනාධිපතිවරණවලට වඩා වෙනස් සහ තුන්කොන් සටනක් බවට පරිවර්තනය වී ඇති මේ මැතිවරණය තීරණාත්මක ජන අරගලයකින් පසු පැවැත්වෙන්නකි. එම නිසා බහුතර ජනතාව මැතිවරණ පිළිබඳ තමන්ගේ සාම්ප්‍රදායික අදහස් වෙනුවට තමන්ගේ ම වෙනස් අදහස් මත තීරණ ගැනීමේ ඉඩක් තිබේ යැයි මෙවැනි සමීක්ෂණවල තොරතුරු මත පදනම් ව නිගමනය කළ හැකිය.
- ශාලික විමලසේන