සත්‍යපාල ගල්කැටියගේ ‘අරණ තුළ අරම’

Share post:

සමාජයේ පවත්නා විවිධ සම්මුතිගත තත්ත්ව නිසා නැතහොත් සංකේතීය රටාව නිසා මිනිසුන්ට බොහෝවිට ස්වකීය ආශාවන් අවරෝධනය කර ගැනීමට සිදු වේ. එහෙත් එම ආශාවන් අවිඥානය තුළ නොනැසී පවතී. මෙලෙස ආශාව යටපත් කිරීම ඇතැම්විට සමාජ සබඳතා මෙන්ම ආත්මීය සබඳතා ද දෙදරවාලයි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මිනිසා යම් ආතතිමය තත්ත්වයකට ඇද වැටීමය.විශේෂයෙන් ලිංගික ආශාව සම්බන්ධයෙන් ගත්විට මෙකී ආතතියේ ස්වභාවය අතිශයින් සංකීර්ණ වේ.සැබෑ ජීවිතයේ පවත්නා ආශාවේ අවරෝධිත බව ප්‍රබන්ධ ලෝකය හරහා අපට දැකගත හැකිය. ප්‍රබන්ධය හුදෙක් ප්‍රබන්ධයක්ම නොවන්නේ එහෙයිනි. සත්‍යපාල ගල්කැටියගේ ‘අරණ තුළ අරම’ මෙම ස්ත්‍රී පුරුෂ අවරෝධිත ආශාවන්ගේ සංකීර්ණ ස්වභාවය හඳුනා ගැනීමට අවකාශ සලසන කෙටිකතා සංග්‍රහයකි.

කෙටිකතා හතකින් සමන්විත මෙම සංග්‍රහයේ බහුතර කෙටිකතා ප්‍රමාණයක තේමාත්මකය ස්ත්‍රී පුරුෂ ආශාවන් සවිඥානික සහ අවිඥානික තලවලදී ක්‍රියාකරන ආකාරය මත පදනම් වේ. පාසලක ගුරුවරුන්ගේ සහ ගුරුවරියන්ගේ අවිඥානික ආශා, රමණයට පවා ඉසිඹුවක් නොමැතිව ආර්ථික ඉලක්ක පසුපස හඹා යන ජීවිත, බවුන් වැඩීමේ හරසුන් බව ස්ත්‍රී ශරීරයක් හරහා පසක් කර ගන්නා භික්ෂුවක්, අරණක් තුළ වානිජකරණය වන අරමක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙසින්ම මියයන ස්ත්‍රියක්, සුසානයේදී ජීවය ලබන ප්‍රේමයක්, හරකෙකු බවට රූපාන්තරණය වන මහාචාර්යවරයෙක්, නිරුවතින් එකහැල්මේ දුවන මාක්ස්වාදියෙක් මෙම කෘතියේ දී පාඨකයාට අභිමුඛ වේ.

මෙය මිනිසාගේ ආශාව , අවිඥානය සහ අවරෝධනය ප්‍රබන්ධාත්මකව ගවේෂණය කිරීමට තැත් කරන කෙටිකතා සංග්‍රහයකි. මෙහිදී කතුවරයා මෙම සමාජයේ සංකේතීය රටාව විසින් අවිඥානික ආශාවන් අවරෝධනය කිරීමට බල කෙරෙන කණ්ඩායම් දෙකක් වෙත අවධානය යොමු කරයි. ගුරුවරු සහ භික්ෂූන් මෙම කණ්ඩායම් දෙක වේ. ව්‍යාග්‍රා නම් පළමු කෙටිකතාවේ දී ගුරුවර ගුරුවරියන්ගේ අවිඥානික චර්යාවන් මගින් ඔවුන්ගේ අවරෝධිත ආශාවන්ගේ ස්වභාවය පිළිබිඹු වන ආකාරය විවරණය කෙරේ. අරණ තුළ අරම කෙටිකතාවේ ‘වනවාසී’ භික්ෂුව ලොව්තුරු සුවයට වෙනස්ම අර්ථකථනයක් සපයයි. මෙතෙක් බවුන් වැඩීම යනුවෙන් නියැලී සිටි කාර්යයේ ව්‍යාජය නැතහොත් බලහත්කාරයෙන් ආශාව යටපත් කිරීම ස්ත්‍රී ශරීරයක් හමුවේ දියවී යන අයුරු එමගින් නිරූපණය කෙරේ. අරම ඇත්තේ අරණක් තුළ වුවද පරිභෝජනවාදයෙන් ගැලවී සිටීමට ඊටද නොහැකි වේ.

මෙම කෙටිකතා වියමනේදී කතුවරයා භාවිත කරන මායාවී සහ අධියථාර්ථවාදී ආඛ්‍යාන ශෛලිය ඒවායේ තේමා වඩාත් ප්‍රබල අයුරින් පාඨකයා වෙත රැගෙන යාමට උපකාරී වේ. යථාර්ථය මායාවී ආකෘතියකින් ඉදිරිපත් කිරීමෙන් යථාර්ථයේ ප්‍රබන්ධය මනාව නිරාවරණය වේ. මෙය පාඨකයා ලජ්ජාවට පත් කිරීමට සමත් උත්ප්‍රාසයක් මතු කරන ආඛ්‍යානමය ව්‍යවහාරයකි. ඇතැම් කෙටිකතාවලදී කතුවරයා භාවිත කරන රොමැන්තික බස්වහර මෙම උත්ප්‍රාසාත්මක බව තවදුරටත් තීව්‍ර කරයි.සත්‍යපාල ගල්කැටිය මෙම කෙටිකතා සංග්‍රහය මගින් සංකේතීය ලෝකයේදී අප නඩත්තු කරන බොරුව අපටම දැක ගැනීමට සලස්වයි.

උදිත අලහකෝන්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...