පොලිස් වධහිංසාව සහ වගවීමේ තරම : ජෙරාඩ් මර්වින්ගේ සිට අධිකරණයේ වගකීම දක්වා අපරාධ රාජ්‍යයක පුරවැසි ඛේදවාචකය !

Share post:

නම් පටලැවිල්ලක් නිසා ජීවිතයක් බිලිගත් වත්තල පොලිසියේ වධහිංසාව පිළිබඳ උදාහරණය පසුගිය අගෝස්තු 30දා අවසන් වූයේ අභියාචනාධිකරණයෙන් විත්තිකරුවන් සියල්ල නිදොස් කොට නිදහස් කරමින් ය. මේ 2002 වසරේදී ජෙරාඩ් මර්වින් පෙරේරා පැහැරගෙන ගොස් බරපතළ වධහිංසාවලට ලක්කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන පද්මා වික්‍රමරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩවේ 2003 අප්‍රේල් 04 දිනැති තීන්දුවට අනුව මීගමුව මහාධිකරණයේ විභාග වූ HC/326/2003 වධහිංසා නඩුවේ අවසන් තීන්දුවයි. මීගමුව මහාධිකරණයේදී ජෙරාඩ් මර්වින් සාක්ෂි ලබාදීම වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීහු ඔහුව ඝාතනය කළහ. ඝාතන නඩුවෙන් පොලිස් නිලධාරියකු සහ තුවක්කුකරුවකු වැරදිකරුවන් වුවද, වධහිංසා නඩුවෙන් පොලිස් නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරිණි.

ජෙරාඩ් මර්වින් පෙරේරා

ජෙරාඩ්ගේ බිරිඳ එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළාය. 2012 ඔක්තෝබර් 18 වැනි දින අභියාචනාධිකරණය තීන්දු කළේ ජෙරාඩ්ට සිදු කළ වධහිංසා පිළිබඳ මහාධිකරණ තීන්දුව දෝෂ සහගත බවයි. එම නිසා නඩුව නැවත මුල සිට ඇසීමට නියෝග කෙරිණි. 2019 වසරේදී එම නඩුවේ තීන්දුව ලබාදුන්නේය. ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කෙරිණි. ඊට එරෙහිව වරදකරුවන් කරන ලද පොලිස් නිලධාරීන් විසින් අභියාචනාධිකරණයට ගිය අතර, පසුගිය අගෝස්තු 30දා ලබාදුන්නේ එම නඩුවේ තීන්දුවයි. තීන්දුවට අනුව ඔවුන් දැන් නිදොස් කොට නිදහස් ය.

සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන විනිසුරුවරුන් විසින් ලබාදුන් තීන්දුවේ දක්වා ඇත්තේ ප්‍රතික්ෂේප කරන්නා නොව සනාථ කරන්නා මත සාක්ෂියේ බර රඳා පවතින බවයි. ඒ අනුව සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කිරීමට සනාථ කරන්නාගේ පාර්ශ්වය හෙවත් ජෙරාඩ් මර්වින් පෙරේරාගේ පැත්ත අසමත් වී ඇති බව අධිකරණයෙන් තීරණය කෙරිණි.

2002 වසරේ දිනක වත්තල පොලිස් ස්ථානය වෙත ලැබුණු පණිවුඩයකින් කියවී තිබුණේ ජෙයරාජ් නමැත්තෙකු ත්‍රිපුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පළාගොස් ඇති බවයි. වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියකු වූ ජෙරාඩ් මර්වින් පෙරේරා මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එක සමාන නමක් තිබීම නිසා ය. වත්තල පොලිසියට රැගෙන ආ ජෙරාඩ්ගේ දෑස් බැඳ, දෑත් එකට බැඳ බාල්කයක එල්ලා, යකඩ සහ ලී පොලු‍වලින් පහර දුන් බවත්, පොළොව මත මුනින් අතට පෙරළා, ඔහුගේ දෑත් දැල්වූ ගිනිකූරුවලින් පුළුස්සා ඇති බවත් අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාවල දැක්වේ.

තමන් අත්අඩංගුවට ගෙන වධහිංසා කර ඇත්තේ වැරදි පුද්ගලයකුට බව පොලිසිය තේරුම් ගෙන ඇති අතර, ඉන්පසු ඔහු ව නිදහස් කර ඇත. දැන් ජෙරාඩ්ට වධහිංසා කළ කිසිවකු නැත.

1994 අංක 22 දරන වධහිංසා පනත යටතේ නඩු පැවරිය හැක්කේත්, එම නඩු තීන්දුවලට අදාළ අභියාචනා ගොනු කළ හැක්කේත් නීතිපතිවරයාට පමණි. මුලින්ම වධහිංසා නඩුවෙන් පොලිස් නිලධාරීන් නිදොස් කොට නිදහස් කළ පසු අභියාචනා කරන ලෙස ජෙරාඩ්ගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීම් සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවෙන් නොසලකා හැරිණි. අවසානයේ අගතියට පත් පාර්ශ්වයේ අභියාචක ලෙස ඔහුගේ බිරිඳ ය, අභියාචනය ගොනුකරන ලද්දේ.
අභියාචනාධිකරණය මගින් ලබාදුන් තීන්දුවට අනුව මීගමුව මහාධිකරණයෙන් නැවත ඇසූ වධහිංසා නඩුවට අලු‍තින් සාක්ෂිකරුවන් එකතු කිරීමේ අවස්ථාව ද නීතිපතිවරයාට ලබාදී තිබිණි. එහෙත් එය ද සෑහීමකට පත්වන පරිදි සිදුවූවා දැයි යන්න ගැටලු‍වකි. කෙසේ වෙතත් දැන්, එනම් වසර 22කට පසු ජෙරාඩ්ට වධහිංසා කළ අයෙකු නැත.

දේශබන්දු තෙන්නකෝන්

ලංකාවේ පොලිස් වධහිංසාව ඇත්තේ එවැනි බරපතළ තත්ත්වයක ය. ඊට අදාළ යුක්තිය ඉටුකරවා ගැනීමේ ප්‍රමාදය සහ ඉහළ අධිකරණවල එවැනි නඩු පවත්වාගෙන යෑමට විශාල වියදමක් දැරීමට සිදු වීම හේතුවෙන් වින්දිතයෝ බහුතරයක් ද වධහිංසා ඉවසීමට පුරුදු වී සිටිති. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීම වළක්වන ලද දේශබන්දු තෙන්නකෝන් ද වධහිංසා නඩුවකට වැරදිකරු කරන ලද අයෙකි.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් සුමංගල නම් යුද හමුදා සෙබළෙකු 2010 වසරේදී අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරුවන් කෙරිණි.

පොලිස් ආඥා පනතේ 20 වැනි වගන්තියට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ පරිපාලන ජාලය මෙහෙයවීමේ වගකීම දරන්නේ පොලිස්පතිවරයා ය. 2023 නොවැම්බර් මාසයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස එම බලතල ක්‍රියාත්මක කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි. 2024 පෙබරවාරි මාසයේ සිට පසුගිය ජූලි 24 දක්වා ඔහු ස්ථිර පොලිස්පතිවරයා ලෙස පොලිස් ආඥා පනත ක්‍රියාත්මක කළේය.

ගැටලු‍ව ඇත්තේ යුක්තිය පසිඳලීමේ වගකීම දරන පිළිගත් අධිකරණ පද්ධතිය මගින් වරදකරුවන් කරන ලද පොලිස් නිලධාරීන්ගේ හැසිරීමයි. දිගින්-දිගටම රාජකාරියට අදාළ වගවීම ඉටුනොකරමින් සැකකරුවන් ඝාතනය කරමින් පුරවැසියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. මේ අනාරක්ෂිත තත්ත්වය අවම කිරීම සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වූ පරිදි සකස් කළ මාර්ගෝපදේශ මාලාවක් ඇත.

2008 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි. එම නඩුව විභාග ඛළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලු‍විහාරේ විවෘත අධිකරණයේදී පවසා තිබුණේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා පොලිසිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීමට අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි.

චන්දන වික්‍රමරත්න

ඒ අනුව පොලිසිය සකස් කළ මාර්ගෝපදේශ මාලාවට අනුව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය බාගයකට ම වරක් සැකකරු පිළිබඳව පරීක්ෂා කර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය. එවැනි සැකකරුවකු පිටතට රැගෙන යෑමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් බාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර, ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය. අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයෑමට වගබලා ගත යුතු අතර, එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත ව සටහන් විය යුතුය.

අවි ආයුධ උදුරාගැනීමට තැත්කිරීමේ සිද්ධි සහ සැකකරුවන් පැනයෑම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර, එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ද වග බලා ගත යුතුය. ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යෑමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරීන් විසින් අදාළ සෝදිසිය සහ පරීක්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතුය. එවැනි සෑම අවස්ථාවකදී ම වීඩියෝගත කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදාගැනීමට හැකියාව පවතින අතර, යම් සිදුවීමක් සිදුවුවහොත් එහි විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් වැදගත් වේ. කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර, පාපොච්ඡාරණ ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම් හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය.

මීට අමතරව අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද අදාළ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවේදී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, පළාත බාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය බාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය. එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදු කළ යුතුය. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කර ගැනීම වැදගත් වේ.

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.
එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.
සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

නීතිඥ එස්.ජී.පුංචිහේවා

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී, පොරබැදීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

මහාචාර්ය නෙරංජි විජේවර්ධන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ මහාචාර්ය නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ඇය අවධාරණය කරයි.

යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන කථිකාචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.

නීතිඥ යූ.ආර්. ද සිල්වා

සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.

ආචාර්ය නිහාල් ජයවික්‍රම

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු‍‍ පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.

මෙම පොලිස් අත්අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් ද කරුණු සඳහන් කර තිබේ. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම 2023 ජනවාරි 13දා වැදගත් ප්‍රකාශයක් කළේය. මෙවැනි සිදුවීම්වලදී මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් ද එහි අඩංගු විය.
ඒ, වින්දිත පර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් සහ නීතිඥ ප්‍රබෝධ රත්නායකගේ ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව ය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයත් නොමග යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක මතු වන බවයි. අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි සැකකරු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සමග පොරබදා පළායෑමට උත්සාහ දැරූ බවට පොලිසිය මගින් වාර්තා කර ඇති තොරතුරුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය පහරදීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබීමත් යන කරුණු සැලකීමේදී ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර තිබිණි.

ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණය / ඡායාරූපය – Madhawa Thennakoon

මාධ්‍ය ආයතන 02ක් මගින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වීමත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් අගතියට පත්කිරීමත් සම්බන්ධයෙන් නීතිඥවරුන් විසින් අධිකරණයේ අවධානය යොමුකිරීමෙන් පසු, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ මාධ්‍ය මගින් එක් පාර්ශ්වයක තොරතුරු මත පමණක් මේ සිදුවීම වාර්තා කර ඇතැයි පෙනී යන බවත්, එම කරුණු පිළිබඳ මාධ්‍ය මීට වඩා සැලකිල්ලට ගත යුතු බවත් ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් 2023 ජනවාරි 11දා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග 10දා පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, ප්‍රශ්න කිරීම අතර ඇති වූ සිදුවීමකින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු, මිය ගොස් ඇති බවයි.

‘මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අතරතුර සැකකරු විසින් නිලධාරීන්ට විරෝධය පා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එය පාලනය කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන්..’ යනුවෙන් ද එහි සඳහන් විය.
පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය මේ සිද්ධිය පිළිබඳව වාර්තා කර තිබුණේ මෙසේ ය.

‘සැකකරු කොළඹ 07 පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බැරැක්ක වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු එහි තිබූ වීදුරු බෝතලයක් කඩා පොලිස් කොස්තාපල්වරයෙකුට ඇන, අත්අඩංගුවෙන් මිදී පළායෑමට උත්සාහ කිරීමේදී සිදු කළ පහරදීමකින් සහ පොරබැදීමකින් පසු ඔහු රෝගාතුර වී, සිහිසුන් වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.’

තෙල්දෙනියේ තරුණයකුගේ ලිංගේන්ද්‍රියට නයි මිරිස් දියර වත්කර පහර දීමත්, නාඋලදී තරුණයකු මහමගදී පරීක්ෂා කිරීමට විරෝධය දැක්වූ නිසා වෙඩි තබා ඝාතනය කිරීමත්, මහියංගනයේ පස් දරු මවක සහකාර පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයේදී පහරදී බිම ඇදගෙන යෑමත් ආදී වශයෙන් තවදුරටත් පොලිස් වධහිංසාව පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.

පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ද මෑතකදී ය.

මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බව තම තීන්දුවේ සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික පොලිස් කොමිසමට උපදෙස් දී ඇත්තේ පොලිසියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට නුසුදුසු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය එහි සඳහන් කර තිබේ.
එසේම ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ද පොලිස් වධහිංසාව නතර කිරීම හෝ අවම කිරීම වෙනුවෙන් විවිධ නිර්දේශ නිකුත් කර තිබේ. පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් විවෘත අධිකරණයේදී අවධාරණය කරන ලද්දේ දිගින්-දිගටම මෙවැනි දේ සිදුවීමත්, පොලිස්පතිවරයාගේ, පොලිස් කොමිෂන් සභාවේ වගකීමත් පිළිබඳව බරපතළ ලෙස සැලකිය යුතු බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභා ප්‍රකාශනයකි.

මෙවැනි සිදුවීම් ගණනාවක් ඔස්සේ මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තවදුරටත් ඉදිරියට යමින් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් යටතේ දක්වා ඇත්තේ කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතු බවයි.

ඒ වෙනුවෙන් වන උපරිම මැදිහත්වීම පුරවැසියා විසින් ද අනිවාර්යෙන්ම කළ යුතුය. පුරවැසියා නිහඬ ව සිටින විට තලන්නේ උඩ පැන-පැන ය.

  • ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...