ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවේය. ඒ එහි දෙවැනි සංශෝධනයයි. එහි සඳහන් වූයේ දැනට ධුරය දරන අගමැතිවරයා, ජනතාව විසින් තෝරා පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙනි.
ඒ අනුව ඔහු අගමැතිකමෙන් ජනාධිපතිකමට මාරු විය. ඊට මාස 10කට පසු ජේ.ආර්. 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේය. දැනට ජනාධිපති ධුරය දරන තැනැත්තා ජනතාව විසින් පත්කරගන්නා ලද ජනාධිපතිවරයා වන්නේය යනුවෙන් එහි දැක්විණි. තවත් කාරණයකි. 78 පෙබරවාරි 04 වැනිදා සිට ඔහු වසර හයකට ධුරය දරන්නේය යනුවෙන් ද එහි සඳහන් විය. වසර 4ක කාලයක් ගත විය.
එවකට බලයක් සහිත ප්‍රතිවාදියා වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය ඒ වන විට අහෝසි කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී තිබිණි. ජේ.ආර්. ට අවශ්‍ය වූයේ වන් හෝර්ස් රේස් (තනි අශ්වයකු තරග වදින තරගයකින්) එකකින් ඡන්දයක් තියා දිනන්නට ය. මේ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය විය. අදාළ සංශෝධනය කෙටුම්පත් කිරීමේ වගකීම පැවරුණේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වාට ය. පසුව ඔහු අගවිනිසුරු වූ අතර, ඔහුගේ ඇතැම් කටයුතු දැඩි විවේචනයට ද ලක්විය. ඔහුගේ ඇතැම් නඩු තීන්දු සමාජයේ හාස්‍යයට ද ලක්විය.
නීතිපතිවරයා ඔහුට මේ සංශෝධන කෙටුම්පතේ වගකීම පැවරු විට ඔහු ඊට දැඩිව විරුද්ධ වී තිබිණි. ව්‍යවස්ථාවේ නිශ්චිතව තියෙන කරුණක් වෙනස් කරන්නෙ කොහොමද යන්න ඔහු ඇසූ ප්‍රශ්නය විය. එහෙත් වැඩක් නැත. නීතිපතිවරයා කියා තිබුණේ ජේ.ආර්.ට මෙය කෙසේ හෝ මේ මොහොතේ කරගැනීමට අවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව සංශෝධන කෙටුම්පත සැකසිණි. කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී සුප්‍රකට රාජ නීතිඥ නඩේසන් මෙහි ව්‍යවස්ථා විරෝධී බව පිළිබඳ තර්ක රැසක් ඉදිරිපත් කර තිබුණත්, සංශෝධනය අනුමත විය.
කෙටුම්පත සකස් කිරීමට විරෝධය දැක්වූ එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් නන්ද සිල්වා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේදී කරුණු දක්වමින් මෙමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට කිසිදු හානියක් සිදුනොවන බව සඳහන් කර තිබිණි. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම, ලාම්පු කලගෙඩි සෙල්ලම නොතිබුණා නම්, රටක් ලෙස ලංකාවට දැවැන්ත කළු පැල්ලමක් එකතු කළ කළු ජූලිය ඇතිනොවන්නට ද ඉඩ තිබිණි. ඒ, එවැන්නකට ඉඩක් නොලැබෙන නිසා ය.
එවැනි සැලසුම් රැසක් කරළියේ තිබෙන අවස්ථාවක ය, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත ලංකාවේ නීතියක් බවට පත්වන්නේ. එය ගැසට් කරන ලද්දේ 1981 මාර්තු 12 දින ය. මේ වනවිටත් ජනාධිපතිවරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ මේ නීතියයි. ගැටලු සහගත තැන් තිබුණත්, සාපේක්ෂව මේ නීතිය වඩා සාර්ථක බව නීති විශාරදයන්ගේ අදහසයි. එම නිසා 2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදීත් ක්‍රියාත්මක වන්නේ මේ නීතියයි.
ඇලෙක්සැන්ඩර් එදිරිව ලියෝ ප්‍රනාන්දු (1949-NLR-202) නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.
‘පවතින මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නය ඡන්ද පෙත්සමකදී පෙත්සම්කරු හා වගඋත්තරකරු අතර ප්‍රශ්නයක් නොව ඡන්ද කොට්ඨාසයේ පොදු යහපතට අදාළ කරුණකි.’
මේ තීන්දුව ලබාදෙන ලද්දේ බුත්තල ආසනයට ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙමිනි. එයින් කියන්නේ අතිශය වැදගත් කරුණකි. එනම් මැතිවරණ නීති උල්ලංඝනයක් හුදෙකලා කොට ගත නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යටතට ගැනෙන ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මේ නීති නිසි පරිදි ක්‍රියාත්මක වීම වැදගත් ය. එසේ නොවන්නේ නම් සිදුවන්නේ සමස්තයේ කැමැත්ත එයින් නිවැරදිව පිළිඹිබු නොවීම ය.
මොනරා දිනපතා පුවත්පතේ ශීර්ෂපාඨයේ දැක්වුණේ ජනාධිපතිවරණය අස්සේ වැටිපු වැඩි කිරීම සහ වගා ණය කැපීම මැතිවරණ අල්ලසක් බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිලිව සඳහන් කර තිබුණේ ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. ඊයේ දිනයේ ම ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබිණි.
ජනාධිපති ධුර අපේක්ෂකයන් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබාදෙන පොරොන්දු මැතිවරණ අල්ලස් යටතට වැටෙන්නේ නැත. 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාන් රුපියල් 3.50ට ලබාදෙන බවට දුන් පොරොන්දුව ද ඒ යටතට වැටුණේ නැත. එවැනි උදාහරණ දහස් ගණනකි.
එහෙත් රනිල් වික්‍රමසිංහට මැතිවරණ පොරොන්දුවලට අදාළ තීන්දු කැබිනට් මණ්ඩලය හරහා ගත නොහැකිය. ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. රාජ්‍ය නායකයා ය. ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ය. ජනාධිපතිවරයා ලෙස තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ඔහු භාවිත කරයි. එවිට අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් 37දෙනාට වඩා ඔහු විශේෂ වරප්‍රසාද රැසක් උසුළයි.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අවස්ථාවේදී ව්‍යවස්ථා විශාරදයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න පැහැදිලිව සඳහන් කළේ දැන්වත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවයි. එසේ නොවන්නේ නම්, අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන්ට වඩා සුවිශේෂී තත්ත්වයක් ඔහු භුක්ති විඳීම වැළැක්විය නොහැකි බව ජනාධිපති නීතිඥවරයා එහිදී පැවසීය.
1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත්කර ගැනීම පිළිබඳ පනතේ 79 වැනි වගන්තිය මෙහිදී නිවැරදිව කියවා ගත යුතුය. එහි මුලින්ම දැක්වෙන්නේ පහත සඳහන් තැනැත්තන් අල්ලස් වරදට වරදකරුවන් ලෙස සැලකිය ලැබිය යුතුය යනුවෙනි.
79 (ඇ) යම් තැනැත්තකු ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීම හෝ මේ පනත යටතේ වූ යම් තෝරා පත්කර ගැනීමකදී යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ලබාදීමට හෝ ලබාදීමට උත්සාහ කිරීමට යම් තැනැත්තකු පෙළඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු මගින් ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තා සඳහා නියම ලෙස හෝ අනියම් ලෙස ඉහත කී යම් තෑග්ගක්, ණයක්, අර්පනයක්, පොරොන්දුවක්, ලබාදීමක් හෝ එකඟවීමක් දෙන හෝ කරන සෑම තැනැත්තෙක් ම අල්ලස් වරදට වරදකරුවකු වන්නේය.
මෙහි පැහැදිලිව කතාව කියයි. අනියම් ලෙස ද එවැනි පොරොන්දුවක් ලබාදීම වරදක් ලෙස දක්වා ඇත්නම්, රාජ්‍ය බලය යොදාගනිමින් කැබිනට් මණ්ඩලය මගින් අල්ලසක් ලෙස පොරොන්දු ලබාදීමේ බරපතළකම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එම වගන්තියේ (ඈ) කොටසේ මෙසේ සඳහන් ය.
‘එවැනි යම් තෑග්ගක්, ණයක්, අර්පනයක්, පොරොන්දුවක්, ලබාදීමක් හෝ එකඟවීමක් අනුව හෝ හේතුකොටගෙන යම් තැනැත්තකු ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීම හෝ මේ පනත යටතේ වූ යම් තෝරා පත්කර ගැනීමකදී යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ලබාදෙන හෝ ලබාදීමට බැfඳන නැතහොත් උත්සාහ කරන සෑම තැනැත්තෙක් ම අල්ලස් වරදක් කරන්නේය.’
මේ මානසික අල්ලස් ය. මෙවැනි මානසික අල්ලස් නිල බලය යොදාගනිමින් ලබාදීමට ජනාධිපතිවරණ පනතට අනුව ඉඩක් නැත.
එපමණක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යොදාගනිමින් මේ පිළිබඳ දිගින්-දිගටම ප්‍රචාරය කිරීම, මුදල් අමාතයංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මාධ්‍ය හමුවක් පවත්වමින් වැටුප් වැඩි කරන ආකාරය පැවසීම, මහ බැංකු අධිපතිවරයා විසින් ඒ පිළිබඳ අදහස් දැක්වීම මේ සියල්ල සිදුවන්නේ නිල බලය මගින් ය. නිල බලය අයුතු ලෙස යොදාගනිමින් ය. නීතියට අනුව බලය අයුතු ලෙස භාවිත කිරීම වරදකි. මෙහිදී මේ කරුණු දෙක එකට කියවා ගත යුත්තේ මෙසේ ය.
‘ව්‍යවස්ථාවෙන් පැවරී ඇති නිල බලය යොදාගනිමින් පෞද්ගලික ඉලක්කයක් වෙනුවෙන් රාජ්‍ය දේපොළ භාවිත කිරීම.’
ඇතැම් පිරිස් පවසන්නේ මේවා සීනි බෝල කතා බවත්, ජනතාව දැන් ඕවට අහුනොවන බවත් ය. එහෙත් ජනතාව අහුවෙන්නේ නෑ කියා මෙසේ රටේ පවතින නීති උල්ලංඝනය කිරීමට කිසිදු ආකාරයකින් ඉඩ දිය යුතු නැත. ඇතැම් විට අපිට පවතින නීතිවලට එකඟ වීමට බැරි විය හැකිය. එවැනි උදාහරණයක් වන්නේ රැස්වීම්වලට පැමිණෙන ජනතාවට කෑම දීම මැතිවරණ කොමිසමෙන් නතර කිරීමයි. ‘කෑම දෙන එකත් නතර කරනවා’ යනුවෙන් ඒ පිළිබඳව ආණ්ඩු-විපක්ෂ සියල්ලන් විවේචනාත්මකව කතා කරනු දැකිය හැකිය.
එහෙත් නීතියේ ඇත්තේ එසේ ය. එය මැතිවරණ අල්ලසකි. ඇතැම් නීතිවලට එකඟ නොවුණත්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පවතින නීතිවලට අවනත විය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ දැවැන්ත විනාශයකි.
- ශාලික විමලසේන