ගෞරවාන්විත පරායක්

Share post:

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව පරාජය වුණේ එංගලන්ත කණ්ඩායමට නොවෙයි.
ශ්‍රී ලංකාව පරාජය වුණේ ජෝ රූට් ට.
ජෝ රූට් නොවන්නට තරගයේ ප්‍රතිඵල බොහෝ වෙනස්වීමට තිබුණා.
බොහෝ දෙනෙකු දින තුනකින් අවසන් වෙතැයි කියූ, ඉනිමක පරාජයක් නියත යැයි කියූ තරගයක ශ්‍රී ලංකාව හිස කෙලින් තබාගෙන සටන් කළා.
ඒ කොතෙක්ද යත් තරගයේ එක් තැනක එංගලන්ත කණ්ඩායමට කඩුල්ලක් ලබා ගැනීමට, අනීතික ලෙස නව පන්දුවක් ලබා ගැනීමට පවා සිදුවුණා.
ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ලෙස වගකීම හඳුනාගෙන ක්‍රීඩා කළා.
තුවාල වූ ඇඟිල්ලක් ද සහිතව දිනේෂ් චන්දිමල් දෙවන ඉනිමේ ක්‍රීඩා කළ ඉනිම ඔහුටම ආවේණික, සටන්කාමී එකක්.
කණ්ඩායම කඩාවැටුණු ඕනෑම අවස්ථාවක දිනේෂ් චන්දිමාල්ගෙන් එවැනි ඉනිමක් බලාපොරොත්තු විය හැකියි.
සිව්වැනි දිනයේ පළමු වරුව ශ්‍රී ලංකාවට අයිති වූයේ ඔහු සහ කමිදු මෙන්ඩිස්ගේ දෛර්යය සහ සටන්කාමීත්වය නිසයි.
එය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමෙන් දුටු විශිෂ්ටතම සබඳතාවයක්.
එංගලන්තයේ දී එක් වරුවක් (Session) කඩුලු ලබා නොදී ක්‍රීඩා කිරීම පහසු නැහැ. ඔවුන් ඒ අසීරු ජයග්‍රහණය ලබා ගත්තා.
නමුත් තරගයේ ශ්‍රී ලංකා වීරයා කමිඳු මෙන්ඩිස් බවට සැකයක් නැහැ.
ඇතැම් ක්‍රීඩකයන්ට සිය ජීවිත කාලය තුළදීම ලඟා කරගත නොහැකි වූ එංගලන්තයේ ශතකයක් ලබා ගැනීමේ සිහිනයට ඔහුට වැය වූයේ එක් තරගයක් පමණයි.
මේ ඔහුගේ තෙවැනි ටෙස්ට් ශතකය. ඒ සඳහා ඔහුට වැය වූයේ තරග හතරක් පමණයි.
ඇතැම් මෙන්ඩිස්ලාට ආයෝජනය කළ කාලය කොතරම් අපරාධයක් දැයි පෙනෙන්නේ කමිඳු මෙන්ඩිස් ලා ජාතික කණ්ඩායමට පැමිණ කෙටි කලකින් දක්වන දක්ෂතා සමග සැසඳීමේදීයි.
චන්දිමාල් ලා, දිමුත් ලා, මැතිව්ස් ලා සමුගන්නා දිනෙක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වගකීම දෙවුර මත තබා ගැනීමට එක් පැසුණු යොවුන් ක්‍රීඩකයෙකු හෝ බිහිවීම සතුටක්.
තරගය පුරාවටම අසිත ප්‍රනාන්දු විශාල හදවතකින් පන්දු යැව්වා. රතු පන්දු ක්‍රීඩාවේ දී ශ්‍රී ලංකාව සතු හොඳම වේග පන්දු යවන්නා ඔහු බවට සැකයක් නැහැ.
ටෙස්ට් පන්දු යවන්නෙකුට තිබිය යුතු දරාගැනීම, කැපවීම, ඉවසීම සහ සැලසුම් ඔහු සතුව නොඅඩුව තිබෙනවා.
එවැනි පසුබිමක පළමු තරගය ශ්‍රී ලංකාව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තරම් හොඳින් ක්‍රීඩා කළ බව කිව යුතුමයි.
එය ගෞරවාන්විත පරාජයක්.
ජෝ රූට් නොවන්නට ශ්‍රී ලංකාවට තරගය ජයගැනීමට පවා ඉඩක් තිබුණා.
රූට් අති විශිෂ්ට ක්‍රීඩකයෙක්.
ඔහු මෙලෙස ශ්‍රී ලංකාව පරාජය කළේ ඔහුට හුරුපුරුදු ඔවුන්ගේ ක්‍රීඩා පිටි වල පමණක් නොවෙයි.
එංගලන්ත කණ්ඩායම විසින් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ තරගාවලි ද්විත්වයේ, සියලූම ටෙස්ට් තරග එංගලන්තය විසින් ජය ගත්තා.
ගාල්ල යනු ශ්‍රී ලංකාවේ ජයභූමියයි.
ඕනෑම සංචාරක කණ්ඩායමක් ගාලු පිටියට ගෙනැවිත් ඔවුන් පරාජය කිරීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පුරුද්දක්.
විශේෂයෙන්ම දකුණු ආසියාතික තණතීරු නුහුරු කණ්ඩායම් වලට ගාලු පිටිය එතරම් සුබ තැනක් නොවෙයි.
නමුත් නිමාවූ එංගලන්ත සංචාරයේදී ගාල්ලේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග ද්විත්වයම එංගලන්තය විසින් ජය ගත්තා.
එයට ප්‍රධාන හේතුව වූයේ ජෝ රූට්.
පළමු තරගයේ දී ඔහු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට එරෙහිව ගාලු පිටියේ ද්විත්ව ශතකයක් රැස් කළා.
ඩ්‍රයිව් පහරවල් අඩංගු නොවූ එම ඉනිමේ ලකුණු අර්ධයකට වඩා රැස්කර තිබුණේ ස්වීප් පහරවල් වලින්.
ගාලු පිටියේ දඟපන්දු යවන්නට එරෙහිව ලකුණු ලබාගත හැකි එකම විකල්පය ස්වීප් පහර වූවත්, එය සංචාරක පිතිකරුවන්ට එතරම් පුරුදු පහරක් නොවේ.
නමුත් ජෝ රූට් ගාල්ලේ ද්විත්ව ශතකයක් රැස්කළා.
දෙවැනි තරගයේත් ඔහු දැවී යන්නේ ලකුණු 186 ක් ලබායි.
එයත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් දවා ගත් කඩුල්ලක් නොව දුවද්දී දැවී යාමක්.
ජෝ රූට් ගාලු පිටියේ එතරම් විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කළ පිතිකරුවෙක්.
ඔහු ගාලු පිටියේත්, එස්.එස්.සී පිටියේත්, මැන්චෙස්ටර් පිටියෙත් එකසේ ලකුණු ලබාගත හැකි විරල ක්‍රීඩකයෙක්.
දැනටමත් ටෙස්ට් තරග 144 ක් ක්‍රීඩා කරමින්, ලකුණු 12,000 ක් රැස් කර තිබෙන ඔහු ටෙස්ට් ක්‍රීඩාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස දිනෙක ක්‍රීඩාවට සමුදෙන බවට සැකයක් නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...