ජනාධිපති, මැති-ඇමැති කියපු බොරු අල්ලලා හිරකරන්න හොඳම තැන මෙන්න – ප්‍රසිද්ධ කළ වත්කම් බැරකම් ප්‍රකාශවලින් හෙළිවන කරුණු !

Share post:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් වැදගත් ඉදිරි පියවරක් තබා තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමැතිවරුන්, විපක්ෂ නායකවරයා, ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අගවිනිසුරුවරයා ඇතුළු අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ යන ඉහළ අධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යන රටේ ප්‍රධාන වගකීම් දරන පිරිසගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමයි, ඒ. කොමිෂන් සභා වෙබ්අඩවිය ඔස්සේ ඉදිරියට ගොස් විද්‍යුත් තැපැල් ලිපිනය මගින් එහි ලියාපදිංචි වී, ඕනෑම අයෙකුට මේ තොරතුරු නිරීක්ෂණය කළ හැකිය.

මේ ප්‍රකාශවල ඇත්තේ සත්‍යයක් ද යනුවෙන් ඇතැමෙකුට ප්‍රශ්න කළ හැකිය. ඒවායේ ඇති ඇතැම් තොරතුරු අසත්‍ය ද විය හැකිය. ලංකාවේදී විවිධ ආච්චිලාගේ නම්වලට මැණික් මලු‍ තිබූ මෑත කාලීන ඉතිහාසයක් අපට ඇත. සැලෝන් අත්පත් කර ගැනීම වෙනුවෙන් දේශපාලනඥයන්ගේ භාර්යාවන් කටයුතු කළ නීතිවිරෝධී ආකාරයත් අමතක නැත. එහෙත් කිසිවක් නැතුවාට වඩා මෙහෙම හෝ දෙයක් තිබීම වටී. මේවායේ ඇත්තේ අසත්‍ය නම්, අපට ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට මේ වත්කම් බැරකම් ප්‍රකාශ ම භාවිත කළ හැකිය. මේ ආරම්භය ඉදිරියට ගෙනයෑම ජනතාවගේ කාර්යයකි.

කොමිෂන් සභාවට ලබාදී ඇති වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහුගේ ජනාධිපති වැටුප රුපියල් 97,500කි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඔහුට රුපියල් 79,816.66ක විශ්‍රාම වැටුපක් ලැබේ. ඔහුගේ බිරිඳ වන මෛත්‍රී කුමාරි වික්‍රමසිංහ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක වන අතර, ඇයගේ දළ වැටුප ලෙස සඳහන් කර ඇත්තේ රුපියල් 576,785.50කි. 1976 වසරේ සිට පවත්වාගෙන එන මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් ඔවුන්ට හිමි ය. ඊට අමතර ව ඔහුට සහ බිරිඳට අයත් ස්වර්ණාභරණ, ඔවුන්ට පවුලෙන් ලැබුණු ස්වර්ණාභරණ වටිනාකම් සහිතව ද මේ ප්‍රකාශයේ සඳහන් කර තිබේ. 2006, 2013 සහ 2018 යන වර්ෂවලදී මිලට ගත් ජීප් රථයක් සහ බෙන්ස් වර්ගයේ මෝටර් රථ දෙකක් ඔවුන් සතු ය.

මීට අමතරව ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මිලදී ගත් ඉඩම් සහ අනෙකුත් දේපොළ පිළිබඳ විස්තර මෙන්ම තෑගි වශයෙන් පවුලෙන් ලැබුණු ඉඩම් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් වේ. ඒ අතර මල්පොකුණ වත්ත නම් අක්කර 50ක පොල් ඉඩමක් ද වේ. බැංකු ගිණුම් පිළිබඳ විස්තර ද මෙහි ඇමුණුම් සහිතව ඇතුළත් වන අතර, ජනාධිපතිවරයා මේ ප්‍රකාශය බාරදුන් දිනය ලෙස සඳහන් වන්නේ 2024 ජූනි 24 දිනයයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ මේ ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන අතර, අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා ඇත්තේ අගමැතිවරයා ලෙස හෝ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස හෝ තමන්ට හිමි වැටුප ලබානොගන්නා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැටුප් සහ අනෙකුත් දීමනා රුපියල් 250,000ක් ලබාගන්නා බව ද එහි දැක්වේ.

බැංකු ගිණුම් 06ක් අගමැතිවරයාගේ නමින් ඇති අතර, මාර්ක් 2 වර්ගයේ මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් තමන්ගේ නමින් ඇති බව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ දැක්වේ. පියාගෙන් තෑග්ගක් ලෙස ලැබුණු බොරලු‍ගොඩ, කොස්ගම නිවස සහ ඉඩම ඔහුට තිබේ. කෘෂිකාර්මික දේපොළ හෝ වෙනත් රත්තරන් ආභරණ ආදී කිසිවක් ඔහු සතුව නැත. 2024 ජුනි 25 වැනි දින අගමැතිවරයා විසින් මේ ප්‍රකාශය ලබාදී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව වාර්ෂිකව ඔහු ලබාගන්නා සම්පූර්ණ වැටුප සහ දීමනාවල එකතුව රුපියල් 60,13,255. 34කි. බිරිඳ රැකියාවක් නොකරයි. බිරිඳ සතු භාණා්ඩාගාර බැඳුම්කර වටිනාකම රුපියල් 18,64,534කි. කඳනගොඩ වත්තේ පිහිටි ඉදිකිරීම්, ස්වර්ණාභරණ සහ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ද කතානායකවරයා විසින් කොමිසමට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වේ. මිට්සුබිෂි ජීප් රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් හිමි ය. මාතර පිහිටි නිවස සහිත ඉඩම සහ වගාකරන ඉඩම් සහ කුඹුරු 05ක් තිබේ. ඒ අතරින් 03ක් උරුමයෙන් ලද ඒවා වන අතර, 03ක් මිලදීගෙන ඇත. මීට අමතරව ඔවුන්ට හිමි කඳන්ගොඩ වත්තේ තේ, පොල් සහ කුරුඳු අක්කර 42කි. තනිපොල්ගහ වත්තේ තේ අක්කරයකි.

කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර ඇති වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලැයිස්තුවේ සිව්වැනි කොටස ලෙස දැක්වෙන්නේ අගවිනිසුරුවරයා ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් එහි සඳහන් කර ඇති ආකාරයට ඔහුගේ දළ මාසික වැටුප රුපියල් 665,050කි. ඊට අමතරව රුපියල් 185,000ක දීමනා හිමි වේ. ඒ, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය, ඉන්ධන ඇතුළු දීමනා ය. රුපියල් ලක්ෂ 42කට වැඩි සමස්ත වටිනාකමක් සහිත ඉතුරුම් සහතික ඇති අතර, මිට්සුබිෂි ලාන්සර් වර්ගයේ මෝටර් රථයක් සහ ඔහු සහ බිරිඳ සතු ස්වර්ණාභරණ පිළිබඳ තොරතුරු ද අගවිනිසුරුවරයා විසින් ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වේ. කොළඹ අවට පිහිටි ඉඩම් 05ක් ඔහු සතු වේ. එයින් ඉඩම් 02ක් තෑගි ලෙස ලැබී ඇත. මිලදීගත් ඉඩම් 03කි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහුගේ මාසික වැටුප සියලු‍ දීමනා ද ඇතුළත් ව රුපියල් 295,681. 14කි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරන අතර, බැංකු ගිණුම් පිළිබඳ සියලු‍ විස්තර ද විපක්ෂ නායකවරයා විසින් සපයා ඇත. ගිවිසුමකට අනුව පවත්වාගෙන යන සැලූන් එකක් හිමි ය. ආරක්ෂක සමාගම් 02ක රුපියල් දෙකෝටි තිස්නව ලක්ෂයක වටිනාකමක් සහිත කොටස් විපක්ෂ නායකවරයාගේ පවුල සතු වේ. ඩබල් කැබ් රථ 02ක් සහ ප්‍රාඩෝ, ලෑන්ඩ් කෲෂර්, බෙන්ස් වර්ගයේ මෝටර් රථ 03ක් තමන් සතු බව ද සජිත් ප්‍රේමදාසගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ දැක්වේ. කහඹිලියාවැටිය වත්ත කුඹුරු සහ වගා ඉඩමත් අනෙකුත් ඉඩම් පිළිබඳ විස්තරත් ඔහු විසින් ලබාදී ඇති අතර, ඒවාට අදාළ ගිණුම් වාර්තා ද කොමිසමට බාර දී තිබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ මගින් කැබිනට් ඇමැතිවරුන් සිය මාසික වැටුප රුපියල් 65,000ක් ලෙස දක්වා ඇති අතර, මාසික දීමනා එකතුව රුපියල් 797,900ක් ලෙස සඳහන් කර තිබේ. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසින් සඳහන් කර ඇති ආකාරයට සහන සේවා පෙට්‍රෝලියම් පෞද්ගලික සමාගම ඔහුගේ බිරිඳ සතු ය. එසේ ම පවුම් 280කට ආසන්න රත්තරන් සම්පත් බැංකුවේ සුරක්ෂිතාගාරයක තැන්පත් කර ඇත. ටිරාන් අලස් ඇමැතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහුගේ මාසික වැටුප රුපියල් 260,254. 32කි. රුපියල් ලක්ෂ 20ක ස්වර්ණාභරණ, තමන්ගේ පෞද්ගලික සමාගම් කොටස් පිළිබඳ විස්තර සහ ඉඩම් විස්තර ද මේ ප්‍රකාශයේ අඩංගු වේ.
මේ ආකාරයට සියලු‍ කැබිනට් ඇමැතිවරුන් තමන් සතු සමාගම් පිළිබඳ, බිරිඳ සතු ව්‍යාපාර විස්තර අදාළ ප්‍රකාශවල සඳහන් කර තිබේ. එහෙත් වෙනත් ඥාතීන්ගේ වත්කම් පිළිබඳ විස්තර මේවායේ සඳහන් නොවන අතර, ප්‍රකට රහසක් වන්නේ දේශපාලනඥයන් තමන්ගේ විශ්වාසවන්තයන් නමින් දේපොළ රැස්කරන බවයි. එහෙත් ඒවා තමන්ගේ හෝ බිරිඳගේ නමින් ලියාපදිංචි නොකරන බවයි.
වත්කම් බැරකම් ප්‍රකාශ අනුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4කි. ඔහුට ලැබෙන මාසික දීමනා එකතුව රුපියල් 52,876කි. ඔහුගේ අනෙකුත් ඉඩම්, සමාගම් කොටස්, වාහන පිළිබඳ විස්තර ද ප්‍රකාශයේ දැක්වේ. ඒ අතර පොල් ඉඩම් 03ක් ද හිමි බව සඳහන් කර ඇත.

ආණ්ඩුකාරවරුන් දක්වා ඇත්තේ සිය මාසික වැටුප ලෙස රුපියල් 68,000කි. ඔවුන්ට කාර්යමණ්ඩල සහ ඉන්ධන, දුරකතන ඇතුළු වෙනත් දීමනා ද හිමි ය. රාජ්‍ය ඇමැතිවරුන්ට අනුව ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 63,500කි. ඔවුන්ට ලැබෙන දීමනාවල එකතුව රුපියල් 945,000කි. මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය කතානායක, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්, ලංකාව නියෝජනය කරමින් තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල සේවය කරන ඉහළ නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ මාසික වැටුප රුපියල් 420,000ක් වන අතර, මාසික දීමනා ලෙස රුපියල් 75,000ක් ඔහුට හිමි වේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ මාසික වැටුප රුපියල් 210,000කි. ඔවුන්ට මාසික දීමනා ලෙස රුපියල් 458,500ක් හිමි වේ. ජ්‍යෙෂ්ඨත්වය සහ විවිධ හේතු මත මේ ඉලක්කම් තරමක් වෙනස් විය හැකිය. අභියාචනාධිකරණයේ සභාපතිවරයාට මාසිකව රුපියල් 203,000ක වැටුපක් හිමිවන අතර, ඔහුට මාසික දීමනා ලෙස රුපියල් 575,800ක් ලැබේ. අභියාචනාධිකරණයේ විනිසුරුවරයකුට මාසික ව හිමිවන වැටුප රුපියල්
එසේ ම මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහ මහෙස්ත්‍රාත්වරුන්ගේ වැටුප් සහ අනෙකුත් වත්කම් පිළිබඳ තොරතුරු ද ඉදිරියේදී කොමිසම මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිත ය. මේ ආකාරයට රජයේ ඉහළ නිලධාරීන්ගේ තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් ද සලකාබලමින් සිටී.

මීළඟට ජනතාව වැඩියෙන් ම බලාපොරොත්තු වන වත්කම් සහ බැරකම් ප්‍රකාශ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒවා ය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහුගේ මාසික වැටුප රුපියල් 54,285කි. දුරකතන, කාර්යාල, සංග්‍රහ, ඉන්ධන, පැමිණීම් සහ ප්‍රවාහන යන දීමනා ලෙස මාසිකව රුපියල් 202,517. 34ක් ලැබේ. ඩබල් කැබ් රථයක් සහ ඔහුට හිමි වැවහේනවත්ත ඉඩම පිළිබඳ විස්තර ද මේ ප්‍රකාශයේ අඩංගු වේ. මීට අමතරව ස්වර්ණාභරණ සහ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ද අනුර කුමාර දිසානායක විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහුට හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප ලෙස රුපියල් 97,500ක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලෙස රුපියල් 54,285ක් ද ලැබේ. ඊට අමතරව මාසික දීමනා ලෙස රුපියල් ලක්ෂ 10ක් හිමි වේ. ඔහුගේ බිරිඳ කාල්ටන් පෙර පාසල් සමූහයේ විදුහල්පති ලෙස රුපියල් ලක්ෂයක වැටුපක් ලබන බව ද එහි දැක්වේ. මීට අමතරව සම්පත් බැංකුවේ සහ ලංකා හෝටල් සංස්ථාවේ කොටස් හිමි බව ද එහි සඳහන් ය.

මේ ආකාරයට සියලු‍ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙබ්අඩවියෙන් පරීක්ෂා කළ හැකිය. ads.ciaboc දරන ලිපිනයෙනි. එම ලිපිනයට ගොස් විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කොට ලියාපදිංචි විය යුතුය. ඉහත දැක්වූ සියලු‍ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ඇතුළු පෞද්ගලික තොරතුරු මේ ප්‍රසිද්ධ කර ඇති ලේඛනවල කළු පැහැයෙන් මකා තිබේ.

ඔවුන් ඉදිරිපත් කර ඇති තොරතුරුවල සත්‍ය-අසත්‍යතාව කෙසේ වෙතත්, මහජන මුදල් පිළිබඳ යම් අදහසක් ලබාගැනීම සඳහා මෙවැනි කටයුතු ඉදිරියට යෑම අතිශය වැදගත් වේ. ඒවා වඩාත් සාර්ථක වන්නේ ජනතාවගේ ක්‍රියාශීලී මැදිහත්වීම වැඩි වන තරමට ය. හරියටම කියන්නේ නම් මේවා පරීක්ෂා කරන තරමට ය.

  • ශාලික විමලසේන

Related articles

‘ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාව’ – රන්දික රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ අභිවහන කවි කලාවේ ඉතිහාසය හා වර්තමාන භාවිතය නම් මේ කෘතිය අද මා අතට පත් වුණා. ඒ...

ඡායාරූප ශිල්පී යූසුෆ් කාර්ෂ් ගේ වින්ස්ටන් චර්චිල් හෙවත් ”ගොරවන සිංහයා” නැවත හමුවේ

⁣කොවිඩ් වසංගත සමය පැවති 2022 අගෝස්තු මාසයේදී, කැනඩාවේ ඔටාවා හි ෆෙයාර්මොන්ට් චැටෝ ලෝරියර් හෝටලයේ ආලින්දයෙන් සොරකම් කළ බවට...

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය අහිමි කරලා – අභියාචනාධිකරණයෙන් වසර 5ක් සිරදඬුවම් විඳි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරයි !

සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා පුරවැසියකුට ඇති අයිතිය කඩකරමින් කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම...

‘බොහෝ කවි ලියවුණේ ඔබටය’ – රංගනී ගීතිකා ප්‍රනාන්දු

මිනිස් හදවත් වෙලන, සනහන එමෙන්ම අවුලුවා ලන ගුණය කවියෙහි කැපී පෙනෙනා පාර්ශවයකි. එහෙයින්ම එය බෙහෙවින් පරෙස්සම් සහගත ව්‍යායාමයක්ද...