No spoiler Alerts
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ පැරඩයිස් සිනමා පටය නැරඹුව අතර සිනමා පටය ගැන කිසිම විචාරයක් නොකියවා මම මමම විදිහට එය බලන්න ලැබීම ගැන සතුටුයි . ලංකාවෙ සිනමාවට පැරඩයිස් වෙනස්ම අත්දැකීමක්. සියුම්ව ග්‍රහණය කරගත යුතු මානව හැසිරීම් වටා ගෙතුන එවැනි සිංහල සිනමා පටයක් මගෙ මතකයට එන්නෙ නෑ.
ලංකාවෙ ගෑනු පිරිමින්ට සාපේක්ෂව සෑහෙන්න අදේශපාලනික නිසා දර්ශනය ,දේශපාලනය කලාව වාගෙ සමාජයට මතවාදීව බලපෑහැකි ක්ශේත්‍ර වල ඔවුන් නියැලෙනවා සාපේක්ෂව අඩුවීම තුල ලාංකිකයාට මේ සිනමාපටය දෘෂ්ටිවාදීව කියවාගැනීම අසීරුවෙයි කියලා මට හිතෙනවා.
මේ සිනමාපටයෙ ගැහැනියක් එහි සිටින පිරිමින්ට අභියෝගාත්මකව ඔවුන්ගෙ දාර්ශනික , දේශපාලන චින්තාවන් ඉක්මවා කතාවෙ ආරම්භයේ සිට අවසානය දක්වාම පවතිනවා.
මේ කතාව ගෙතෙන්නෙ ප්‍රධාන සිදුවීම් දෙකක් වටා.
- සිය ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ අභියෝගයට ලක් වෙන ප්‍රශ්නයක් හමුවේ පිරිමියෙකුට තවෙකුගෙ ජීවිතය පරදුවට තැබිය හැකිද? එය නොතකාහැරිය හැකිද?
- ගැහැනියක් එවැනි අවස්ථාවක ක්‍රියාකරන්නේ කෙසේද?
ගෝල්පේස් අරගල සමයේ ඔවුන්ගේ පස්වන ඇනිවසරිය සැමරුමට කේසව හා ට්‍රැවල් බ්ලොග් ලියන අම්රිතා කියන පොහොසත් යුවල ඉන්දියාවේ සිට පැමිණ කඳුකරයේ වතු ආශ්‍රිත දෙමල ජනතාව පදිංචිව සිටින ප්‍රදේශයක ලැගුම් හලක නවාතැන් ගන්නවා. ඒ අතර තෙල් පෝලිම්, ගෑස්පෝලිම්, විදුලිය බිඳවැටීම් මැද ලාංකික ජන ජීවිතය ගලාගෙන යනවා. ඒ අතර කේසවට සිනමා කටයුත්තක් සඳහා ඔෆර් එකක් ලැබෙනවා. රාත්‍රියේදී මෙම යුවලගෙ වටිනා ලැප්ටොප් පරිගණක දෙකත් ඇපල් ෆෝන් දෙකත් ජනේලයෙන් ගෙට ඇතුළු වන සොරුන් මංකොල්ලකා පලායනවා.
මින් ඉදිරියට සිදුවන සිදුවීම් විස්තරකිරීමෙන් නරඹන්නන්ගේ කුතුහලය විනාශ විය හැකි බැවින් එවැන්නක් කරන්න බලාපොරොත්තුවක් නෑ.
ඉහත සිදුවීම හමුවේ විවිධ වගකීම් සහිත පිරිමි හැසිරෙන විදිහත් ගැහැණියෙක් හැසිරෙන විදියත් සංසන්දනයට ලක්වීම තමයි මගෙ මනසෙ ප්‍රධාන ධාරාවේදී සිදුවුණේ.
පුරානෝක්තිවල සිටින සීතා නම් ගැහැණිය පිළිබඳ නොයෙකුත් සමාජවල නොයෙකුත් විදියේ කියවීම් මෙහිදී අභියෝගයට ලක්වෙනවා.
අම්රිතා ඇන්ඩෘ නම් මග පෙන්වන්නාගෙන් අහනවා ” ඔයා හිතනවද ගැහැණියෙකුට ප්‍රශ්නයක් ඇතිවුණාම පිරිමි ඇවිල්ලා බේරගන්නකම් ඇය අඬ අඬා ඉදියි කියලා?”
අතිශයින්ම සුන්දර පරිසර අත්දැකීමක් ලබා කෑම මේසයේදී සතුටින් සිටින අම්රිතාගෙ මුවෙහි නැගෙන සිනහව සිනමාපටයේ ඇයගෙ ඇතුලාන්තය පෙන්වන ප්‍රභල සංකේතයක් වෙනවා. එහිදී කේසව ඔහුගෙ ඊර්ෂ්‍යාව නොසඟවා පෙන්වනවා.
එක් හිමිදිරියක ඇයගේ ආදරය දිනාගත් ඒ පරිසර පාරාදීසයේ ප්‍රභල සංකේතයක් වන හැඩකාර ගෝනා මරාදැමීම කේසව අඟවන්නෙ ” ඕ ඩියර් ” ( Oh deer) යන ධ්වනිතාර්ථ නංවන සරදම් වචන දෙකින්. ඒවන විටත් කේසව හෘදය සාක්ෂියක් නැත්තෙකුවශයෙන් අම්රිතාගේ පිළිකුලට භාජනය වී අවසන්. ඇය හැමවිටම ඇය සිටින මොහොත හා පරිසරය එන්ජෝයි කරන, පිරිමි ඇසකින් ලොව දෙස නොබලන නිර්ව්‍යාජ මෙන්ම ස්වාධීන චින්තනයකින් යුතු චරිතයක් බව ප්‍රේක්ෂකයා හඳුනාගන්නවා.
රාමායනයේ සීතා පිළිබඳව ඇන්ඩෘගෙ ප්‍රවාදය ගැන මෙන්ම පොලිසියේ අවසාන සාක්ෂි විභාගයෙදි ඇන්ඩෘ අම්රිතා ගැන පවසන ප්‍රවාදය ගැන අම්රිතා ඇන්ඩෘගෙන් ප්‍රශ්න කරනවා. ඒක නරඹන්නගේ හිතේ සදහටම සටහන් වන ආත්මීය ප්‍රශ්නයක් බවට පත්වෙන බව නිසැකයි.
මේ තරම් ලස්සනට දුර රූප කැප්චර් කර ගත්ත සිනමා පටයක් ගැන මතක් කරන්නත් අමාරුයි . ඒවාගේම සියලුම නළු නිළියන් සියයට සීයක්ම චරිත ගොඩනැගීමට යොදාගත් අවස්ථාත් අවස්ථාත් ඇත්තටම විරලයි. ඒවාගේම බහු අර්ථ නංවන දෙබස් හරිම මසුරු ලෙස ප්‍රසන්න විතානගේ විසින් පාවිච්චි කර තිබෙන බව පේනවා. අමරිතා විසින් දක්වන හැඟීම් ප්‍රකාශනය අති විශිෂ්ට බව සඳහන් කළ යුතුමයි. එච්චරට ලස්සනට හිනා වෙන්න පුළුවන් නිළියන් ඉන්නවනං ලෝක සිනමාවෙත් ඒ අතලොස්සක් පමණයි.
අන්තිමට අහන්න තියෙන්නේ මේ සිනමා පටය නොබලන දෑස් කුමකටද කියා තමයි.