අද වන විට අපේ කවි කලාපයෙහි කාන්තා සහභාගීත්වය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී හමාරය. එය මේ සම්බන්ධයෙන් සතුටුදායක් තත්වයකි. එහිලා වඩාත් වැදගත් වනුයේ අපේ කාන්තාවන් කවියෙහි සම්ප්‍රදායික කාන්තා සීමා මායිම ඉක්මවා පුළුල් දැක්මකින් කවියට එළඹෙමින් සිටින ආකාරයයි. කවියට විෂය කරගන්නා කලාපයන් මෙන්ම කවියෙහිදී පවත්නා සම්ප්‍රදායික වැට කඩොලු බිඳ දමන්නට ඔවුන් උත්සුක වන ආකාරය මෙහිලා කැපී පෙනෙයි. කාලයක් පුරා බලවත්ව පැවති, අද පවා එසේම පවත්වා ගන්නට වෙර දරනා සීමාවන් නොතකා හරිමින් ස්වකීය ජීවිතයේ හිමිකම වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නට දරනා උත්සාහයන් අද දවසේ කැපී පෙනෙයි.
සුලේඛා විතානගේ යනු සමාජ ක්‍රියාකාරිණියක මෙන්ම විවිධ අංශයන්හී ස්වකීය මැදිහත්වීම සනිටුහන් කල ලේඛිකාවකි. ඇය තම පළමු කාව්යක එකතුවේදී සම්මත කුලගෙය පිලිබඳ අදහස් පසෙක ලා සමාජ බැමි පුපුරුවා දමමින් තම ජීවිතය සොයා යන පතිනියකගේ පුවත අප වෙත ගෙන එයි. එය මොනවා වුනත් ගෑනියෙකුගෙ වගකීම පවුල ආරක්ෂා කරගන්න එක, ගෙදර මිනිහා මොනවා කිවුවත් දරාගෙන ඉන්න එක, ඒක තමයි ගෑනුකම ආදී වශයෙන් සමාජයේ මුල් බැසගෙන ඇති අදහස් පද්ධතිය නොතකා හරියි. ඇය ඒ වෙනුවට යෝජනා කරන්නේ ජීවිතයයි. උදානය නම් කවිය අපට ගෙන එන්නේ ඒ සාකච්ඡාවයි.
හැර දමා යමි රුදුරු වූ මේ කුලගෙය
ළමා පැටවුන් බියේ වෙවුලා වැලපෙන
අසා අපමණ අපහසා නින්දා සැම
දම ඉවතට අලුයමක කෙල පිඩ ලෙස
ඇය ඒ අතරම සම්මත අදහස්හී ගැලුන සමාජයට පහරක්ද එල්ල කරයි.
ඉවසා දරා සිටියොතින් වෙයි සැනසුම
වදාරන උන් පැමිණ විඳගත යුතුමය
වණේ ඇති දුක නොදැන බමුණන් පවසන
වැදි බණක් යළි අසන්නේ නැත දෙසවන
පරම්පරාගත අවවාද උවදෙස් මත ගැටගසන ලද කුලගෙය දෙදරා යන විට ඇය ඒ සියලු අදහස් ඉඳුරාම බැහැර කර සිය නිදහස ඉල්වයි. එසේ නව පියවරක් තබනා ඇය සිය කවියෙහි පල කර සිටිනුයේ නව මගෙහි යාමට කතක ලෙස තම කතානායිකාවට ඇති සවියෙහි තතු ය.
කුළකි වදින රළ ඉවසන හද තදිනී
තියුණු අසිපතකි සිත කිණිහිරක සැලී
ඉතින් මහා මෙර සසැලුනත් නොසැලෙමි
හිම ගිර සිරස මත කුසුමක්ව පිබිදෙමි
සුලේඛාගේ කවියෙහි බොහෝ විට පීඩිත මිනිස් ජීවිත කෙරේ වන දයාව තැවරී තිබේ. පසුගිය කාලයේ ලංකාවෙහි බරපතලම අර්බුදයක්ව පැවති ක්ෂුද්‍ර මූල්‍ය ගැටළුව ඇය සිය කවියට විෂය කරගන්නීය. මේ අර්බුදය යනු ලංකාවේ පීඩිත පවුල් විශාල සංඛ්‍යාවක ජීවිත අවුල් කර දැමූ ව්‍යසනයකි. ඒ ගැන කෙරුණු කතාබහ හැරුණු විට ඔවුන්ගේ ජීවිත් ඒ අර්බුදයෙන් මුදවා ගන්නට ගත් පියවරක් නැති. අදටත් ගැමි ජනතාව අතරින් පහලම අඩියේ ඉන්නා බොහෝ දෙනා වෙසෙසින්ම කාන්තාවෝ එහි ගොදුරුය. සුලේඛා හිමි වැලපිල්ල නම් කවෙහි මේ ගැටළුව ඉදිරිපත් කරයි. එහිදී ඇය අප වෙත එන්නී බිරිඳ අකල්හී නික්ම ගියෙන් තැවෙන හිමි ගේ හඬිනි.
ණය සමිති කොබෝ නයි ආවා ගමට
ගෑනු ටික හවහට නාගෙන යන සමිතියට
ආපහු ආවෙ ඇඳගෙන ණය ගොමස්කඩ
ඇප නැති වුනේ එහෙමයි ජීවිතේකට
හතු වගේ සමිති ඇවිදින් ණය බෙදුවා
එතැනින් අරන් මෙතැනට දෙන්න මදි වුනා
ගැටේ ටිකින් ටික බෙල්ලටම හිරවුණා
ගේ පිලිකන්නෙ අඹ අත්තක එල්ලුවා
ඇය තම කවිය අවසන් කරනුයේ මෙවන් අවස්ථාවල සාමාන්‍ය ජනයා සිය සිත සනසා ගන්නා පොදු ක්ෂේම භූමිය වෙතම යොමු වන සැමියාගේ හඬිනි. ඇය සැමියාගේ මුවට නංවන වදන් මේ ඛේදයෙහි ඇති ගැඹුර තවත් මතුකර දක්වනුයේ උත්ප්‍රාසයක්ද දනවමිනි.
පෙර කලේ කරුම පල දුන්න ඉක්මන
මං පැලේ හූල්ලා මැරී ඉපදෙන
රන් කඳේ ඇවිත් එක ඩිංගිත්තකට
අරං පලයංකො මාවත් උඹ ළඟට
ඇගේ සීතාවක වග නම් කවද ලාංකීය කුලගෙය සහ වැඩපල යන දෙපලෙහිම සිරගත කරන ලද කතුන්ගේ අන්දරයෙහි එක් අංශුවකි. එක් පසෙක නිවසෙහි බරත් අනෙක් පස තම ශ්‍රමය සූරාකන දඩබිමෙහි දඬු අඬුවත් මැද තැලෙන ඇය සෑම නිමේෂයක් පාසාම නියැලෙන්නී අරගලයකය.
වැහි හුළං ආවට හිරවෙලා හුස්ම බාගෙට
බස් එකෙන් බැස්සම ඔක්සිජන් ටික ටික
ආයෙත් ග්‍රොසරියට මස් රස මීට් සෝයා
නාඩු බත් අහුපැවත බඩගිනි සය කටට
මේ පංතියේ ජීවිත වලට බාස්මතී සිහිනයකි. ඒ වෙනුවට ඇත්තේ අර පිරිමැස්මෙන් කන්නට හැකි යයි පොදුවේ අදහස් කරනා නාඩු සහලය. එසේම මස් වෙනුවට ඔවුන්ට යෝජනා කරනුයේ මස් රසැති සෝයා මීට් කන්නටය. එසේ ඔවුන් නූතන වෙළඳ පලෙහිද ගොදුරකි.
අර්බුදයට ගිය සමාජයක තරුණ විය යනු ඛේදයකි. එය හුදු කිසිදා සැබෑ නොවනා සිහින සාප්පුවක අතරමංව කරනා සැරිසැරුමකි. තරුණ වියට උරුම ආදරය, විවාහය යනු දිනෙන් දින ඈතට යන ඉලක්කයන් පමණි. දුකට පිපුණු මල් නම් කවෙහිදී ඇය කම්කරු තරුණයෙකුගේ මේ ජීවිත ඛේදවාචකය ස්පර්ශ කරන්නීය. ඇගේ කවියෙහි තරුණ වියේ උතුරා නැගෙන අනුරාගී හැඟුම් අකාලයේ මිය යන අයුර සහ ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිත සොයනා විකල්ප ගැන සාකච්ඡාවට ගනියි.
දවල් රෑ බතට මාළුව බඩගින්න
වෙහෙසට ලෑලි කෙඳිරිය චිරි බිරිය
නිමලක්කා ඇවිත් හීනෙන් තෙල් ගාන
කළුවර අඳුරටම දියවෙන තුරුණු විය
පත්තර කෑල්ලක එතිලා සීරුවට
පාවෙයි දුම් වළලු දුරුවෙයි සංතාප
ගත සිත රිදුම් සතපා පියවෙන දෑස
දුකට පිපුණ තණමල්විල මල් යාය
සුලේඛා සිය කවියට විටින් විට අපේගැමි වහර කැඳවන්නීය. ඒ මගින් ඇය කවියෙහි අරුත තියුණු කරන්නට සමත්වන්නීය. බතට මාළුව බඩගින්න යනු දිගු කතාවක් ඉතා සංක්ෂිප්තව පවසන්නට හැකි ගැමි කියමනකි. ඇය මෙහිදී එය පිටට ගනියි.
සුලේඛාගේ කවි අතර ප්‍රේමය මෙන්ම විරහවද දක්නට ලැබෙයි. එහෙත් ඒ අතර ඇය ඉන් බැහැරව වෙනත් ඉසවු ස්පර්ශ කරයි. රිදුම යන කවද එවන් එක් අවස්ථාවකි. එහිදී ඇය සාකච්ඡාවට ගන්නී අපේ පින් පවස සන්සිඳුවීම පිණිස ඇති ළමා නිවාසයකි. මෙවන් ස්ථානයන්ට තමන්ගේ මළගියවුන් උදෙසා දාන රැගෙන යන බොහෝ දන අපේක්ෂා කරනුයේ එහි ඉන්නා ළමුන්ගේ මුවින් ගැයෙනා පින් අනුමෝදනාවන්ට සවන් දීමටය. එසේ මේ ළමුන්ගේ ජීවිත රූකඩ පැවැත්මකට නතු කර ඇති අතරම ඔවුන්ට මේ තත්වය දැනෙන ආකාරය ගැන සමාජය අන්ධ සහ බිහිරිය. අපේ සමාජය මානසික වශයෙන් නිරෝගී නොවනා දරුවන් රඳවා ඇති නිවෙස් වලදී පවා ඒ දරුවන් ගිරවුන් මෙන් පවසන නින් අනුමෝදනාවන්ගෙන් තුටු වෙති. එය නොමැති විට කෝප වෙති. සුලේඛා සිය කවියෙහි මේ අත්දැකීම ළමා නිවාසගත දරුවෙකුගේ ඇසි ඉදිරිපත් කරයි. එය එක් අතකින් දරුවෙකුගේ සංවේදනයන මෙන් සමාජයේ පිරිහීමද අපට ගෙනහැර පායි.
ගුරුතුමී රචනාව දුන්නේ අම්මා ගැනය
මම ලිවුවෙ අම්මාට ආදරෙයි විතරමය
ඔළුව අතගෑවාට දුක හිතෙන්නේ නැතිය
කඳුළු ආවේ ඇහැට රොඩු වැටුණු හින්දාය
සුලේඛාගෙ කවි අතර අවධානයට ලක් විය යුතු කවි ගණනාවක් තිබේ. වරෙන්තුවක් යන කවියද ඒ සඳහා උදාහරණයකි. විටෙක ඇය තම කවියට මනා සේ හික්මුණු බසක් භාවිතා කරමින් ඒ සමගම තවත් කවෙක කෝපී අවලාදමය ස්වරයක් තවරයි. එහෙත් ඇය එසේ කරන්නෙ කවියෙහි අර්ථය වඩාත් ඉස්මතු වන ආකාරයටය. කෙසේ වෙතත් සුලේඛා ඇතැම් කවියකදී වදන් සූක්ෂමතාව ගැන වඩාත් සැලකිලිමත් වූවා නම් මැනවැයි සිතේ.