රචකයෙක් විදිහට මං හිතන්නේ ඔබ කළ යුතු පළවෙනි දේ තමයි, ඔබ රචකයෙක් විදිහට බලාපොරොත්තු වෙන තෘප්තිය මොකක්ද කියල පැහැදිලිව අවබෝධ කරගන්න එක. මේ ලියමන මේ විදිහට පටන් ගන්නේ, රචකයෙක් වෙන එක මේ තරම් පහසු වුණු යුගයක් අන් කවරදාවත් නොතිබුණු නිසා.
ඒ තෘප්තිය මුදල් නම්, ඔබ වැඩිය මහන්සි වෙන්නත් අකමැති නම්, ඔබ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීමේදී රචනා ලියන්නට පුහුණු වුණු භාෂාවෙන් ආදර කතාවක් හෝ ‘හද කකියවන’ කතාවක් ලිවීම ප්‍රමාණවත්. මේක අපහාසයක් නෙමෙයි. මම මේ කියන්නේ මේක කරන්න ලේසිම විදිහ මිසක් එකම විදිහත් නෙමෙයි (මේ අරමුණින් ලියපු, ඉතාම රමණීය රචනා රටාවන් තිබුණු ප්‍රබන්ධත් මම දැකලා තියනවා). මේකට දෙන්න මට වෙන උදාහරණයක් නැහැ. මෑතකාලීනව ජනප්‍රිය වුණු ඇතැම් ප්‍රබන්ධවල පෙළ දැක්කම මට ඒ දුරාතීතයේ පානදුර වලානේ පුරාවෘත්තගත ශිෂ්‍යත්ව පන්තියේදී මට එහාපැත්තෙ නිතර ඉඳගෙන හිටපු, අලස රචනාකරණය හේතුවෙන් ගුරුතුමාගෙන් අතුල් පහර කාපු එක්තරා මිතුරෙක් සිහිවෙනවා. සීමාන්තික කවටකම් නිසා පන්තියේ අතිශයින් ජනප්‍රිය චරිතයක් වුණත්, නිර්මාණශීලී රචනයත් මඳක් හැඩගැන්වූ වාර්තාකරණයත් අතර වෙනස ඔහුගේ පුංචි මොළයට කොහොමටවත්ම ගෝචර වුණේ නැහැ.
ඔබේ තෘප්තිය ලිවීම තුළින් පාඨකයා විස්මයට පත්කිරීම, ඔහු/ඇය තුළ ගෞරවයක් ඇතිකිරීම පමණක්ම නම්, ඔබ මුදල් අමතක කරලා, අලෙවිය අමතක කරලා ඒක කරන්න ඕන. ඒ විදිහට කරලා, ඊට පස්සේ නාහෙන් අඬලා වැඩක් නැහැ. ඒ තෝරාගැනීම ඔබේ. ඔබ ඒ වෙනුවෙන් වගකීම ගන්න ඕන. ඔබ වගේම හිතන, ලියවන සහ කියවන අය කිහිපදෙනෙක් ඔබේ දේ අගය කරාවි. ඒත් ඒ අයගේ රුචිකත්වය බහුතර පාඨකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ලංකාවේ පාඨකයන් අතරින් බහුතරයකට හැකියාව, වෙලාව සහ උවමනාව තියෙන්නේ, මම කලින් ඡේදයේදී ලියපු ජාතියේ භාෂාවකින් ලියපු ප්‍රබන්ධ කියවන්න විතරයි. ඒකාකාරී නීරස ජීවන රටාවන් තුළ හිරවුණු ඔවුන්ට අනුන්ගේ ඒකාකාරී නීරස ජීවන රටාවන් ගැන කියවීමෙන් ලැබෙන රාබු අලයක් නැහැ. ජීවිතය තමන් පසුකරගෙන ඇදී යනකොට, ජීවිතය තමන්ට ඉදිරියෙන් තිබුණු කාලයක තමන්ට අහිමි වුණු දේවල් තුළ මනසින් ජීවත් වෙන්නට ඔවුන් දක්වන ආශාව විවේචනය කරන්නට ඔබටවත් මටවත් අයිතියක් නෑ. වතාවක් මගේ සම වයස් මිතුරියක් කිව්වා ‘අපි දැන් ඉන්නේ ගම්පෙරළිය ගැන දුක්වෙලා ඉවර වෙලා පෙම්පෙරළිය ගැන දුක්වෙන වයසේ’ කියල. මම ඇය එක්ක තර්ක කරන්න ගියේ නෑ.
හැබැයි ඔබේ තෘප්තිය තියෙන්නේ ලිවීම තුළින් ඔබට රිසි විදිහට හරඹ කරන අතරම ඒ ලිවීම වැඩි පාඨක පිරිසක් අතරට ගෙනයමින් ආදායමකුත් ඉපයීම තුළ නම්, ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි විධිමත් අලෙවිකරණ ක්‍රමෝපායක් සහ ක්‍රමවේදයක් වෙනුවෙන් ඔබේ ප්‍රකාශකයා එකඟ කරවා ගැනීම හෝ ඔබම එවැනි ක්‍රමෝපායක්/ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම. ඒක කරන්න නම් ක්ෂේත්‍රයේ පිළිගැනීම හිමිකරගෙන ඉන්න ඇතැම් චරිතවල කන්කෙඳිරි ගෑම් නොතකා හරින්න වෙනවා. අපි හැදී වැඩෙන්නේ කුඩා කාලේ ඉඳන්ම, කලාකරුවන් යනු හෝම්ලස්වරුන් මෙන් ජීවත් වෙමින්, මුදල් වෙනුවට මිනිසුන් උපයමින්, සුභාවිත කලාවට තැනක් නැහැයි සොටු සූරමින් ජීවත් වෙන පිරිසක් බව නොදැනීම ඒත්තු ගන්වන සංස්කෘතියක් ඇතුළේ. එහෙව් සංස්කෘතියක් ඇතුළේ සතුටින් ජීවත් වෙන්නට උත්සාහ කරන අතරේ විනෝදාංශයක් විදිහට කලාව කරන එක දසතින් දත්මිටි කෑම් අසන්නට සිදුවෙන දෙයක්. බට් යූ ෂුඩ් නොට් ගිව් අ ෆක්.
මම තෝරාගෙන තියෙන්නේ මේ තුන්වැනි ක්‍රමය. ප්‍රථම වතාවට මට මගේ උත්සාහයන්ට නිසි වටිනාකමක් සහ සහයෝගයක් දෙන ප්‍රකාශකයෙක් ලැබිලා තියනවා (ග්‍රන්ථ). ඒ වගේම මම හැමදාමත් විශ්වාසය තියපු, පෙළත් එක්ක තරමක හෝ අඩව්වක් අල්ලන්න කියලා ඉල්ලන නවකතා කියවන පාඨක පිරිසේ උපරිම සහයෝගයත් මට හිමි වෙලා තියනවා. වෙළඳපොළ ඇතුළේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයි කියල ඇතැම් අය උපකල්පනය කරපු ඇල්බට්වරු අලෙවිය අතින් සාර්ථක වෙලා තියෙන්නේ ඒකයි. මේකේ පූර්ව ප්‍රකාශන කටයුතු සිද්ධ වෙන කාලේ, ලංකාවේ පාඨකයන්ට මේකේ සංකීර්ණ මානය දුරවබෝධ වෙන්නට ඉඩ තියනවා කියන සාධාරණ තර්කය වගේම අතිශය විසුළු සහගත තර්කත් මතු වුණා. ඒත් මට මාවමත්, පාඨකයනුත් විශ්වාස වුණු නිසාත්, ග්‍රන්ථ එකට අපි දෙගොල්ලෝ ගැනම විශ්වාසය තිබුණු නිසාත් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අපට හැකිවෙලා තියනවා. මේ දැක්ම සම්බන්ධයෙන් මම සල්මාන් රෂ්ඩිට අතිශයින් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ ඇයි කියන එක පසුව දීර්ඝව කියන්නම්.
මේ කිසිම දෙයක් නිශ්චිත නියමයන් හෝ නීති නෙමෙයි. ඔබේ ලෝක දැක්ම, ජීවන රටාව හෝ ඔබ විස්වාස කරන කලාව ඇතුළේ මේවා වෙනස් වෙන්න පුළුවන්. අනෙක් අතට මගේ දැක්මට අනුව ඔබ හැඩගස්වන්න මට අවශ්‍යත් නැහැ. ඒත් මිනිසුන් වශයෙන් අපට අපේ අදහස් අනුන්ට සන්නිවේදනය කරන්නේ නැතිව පවතින්න බැරි නිසා, දැනට මට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ, තීරණයක් ගන්න; ඊට පස්සේ ඒ තීරණය ගැන පමණට වඩා දුක්වෙන්නේ නැතුව ඉන්න; තීරණය වැරදි නම් ඊළඟ පාර වඩා නිවැරදි තීරණයක් ගන්න කියන එක විතරයි.
ආ! තව එක දෙයක්. පොඩ්ඩක් හිතුවක්කාර වෙන්නත් අමතක කරන්න එපා. මොකද මම හැමදාම විස්වාස කරනවා, ආඬි හත් දෙනෙක් ෆකප් කරගත්තු කැඳ හැලියකට වඩා එක ආඬියෙක් ෆකප් කරගත්තු කැඳ හැලියේ කැඳ රහයි කියල.
තරිඳු ශ්‍රී ලොකුගමගේ
(Image credits: istockphoto)