1991 තරුණ අසහන කොමිසමේ වාර්තාවෙන් පසු ලංකාවට මොකද වුණේ – බංගලිදේශයට මොකද වෙන්නෙ ?

Share post:

තරුණයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීමෙන් අවසන් වූ 88-89 තරුණ කැරැල්ලෙන් පසු මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත්කෙරිණි. එය තරුණ අසහන කොමිසම නම් විය. මේ කොමිෂන් සභා වාර්තාවේ වූ එක් නිර්දේශයක් වූයේ තරග විභාග පවත්වා, එම තරග විභාගවල ලකුණු මට්ටම් මත රාජ්‍ය සේවයට බඳවාගත යුතු බවයි. එතෙක් ඒ සඳහා පැවතුණේ එවැනි විධිමත් ක්‍රමයක් නොවේ. මේ නිර්දේශයට අනුව 1991 වසරේදී රාජ්‍ය සේවයට, අර්ධ රාජ්‍ය සේවයට සහ ගුරු සේවයට බඳවාගැනීමට තරග විභාග ක්‍රමයක් හඳූන්වා දුන්නේය. ගැටලු‍ රැසක් සහිතව ආරම්භ වූ සහ අද වනවිටත් ගැටලු‍ රැසක් සහිතව පවත්වාගෙන ගියද, එය තරුණ අසහනයට සියයට දශම ගණනක හෝ විසඳූමක් වූ බවට පසුකාලීනව විද්වත්හු තර්ක කළහ.

පසුගිය ජුනි මාසයේදී බංගලිදේශය ගිනිගත්තේ ද මෙවැනි හේතුවක් නිසා ය. බංගලිදේශ භූමිය පාකිස්තානයෙන් වෙන්කර ගැනීමේ සටනේ සිටි හමුදා පවුල්වලට එරට රාජ්‍ය සේවයේ සියයට තිහක කෝටාවක් හිමි වී තිබිණි. මීට එරෙහිව වරින්-වර ඇති වූ සටන් ෂීක් හසීනා අගමැති ධුරය දැරූ ආණ්ඩුව විසින් බරපතළ ලෙස මර්දනය කරන ලදි. ඊට හේතු වූයේ ෂීක් හසීනාගේ ඡන්ද පදනමට මේ කෝටාව තීරණාත්මක ලෙස බලපා තිබීම ය. එය ඇයට අත්‍යවශ්‍ය විය.
1971 වසරේදී පාකිස්තානයෙන් වෙන්වූ බංගලිදේශයේ ප්‍රථම අගමැතිවරයා වූයේ ෂේක් මුජිබර් රහ්මාන් ය. අවාමි ලීග් පක්ෂයේ නායකයා වශයෙන් රටේ පාලනය ඇරඹූ ඔහුට වසර හතරකින් ජීවිතය අහිමි විය. ඔහුගේ අත්තනෝමතික පාලනය පිළිබඳව ජනතාව කළකිරුණු අතර, 1975 වසරේදී හමුදාව විසින් ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කෙරිණි. එහෙත් වැඩිමහලු‍ දියණිය වූ ෂීක් හසීනා සහ ඊට බාල ඇයගේ නැගණිය ගැලවිණි. ඊට හේතු වූයේ ඔවුන් ඒ වන විට යුරෝපයේ සිටීමයි.
තත්ත්වය තරමක් සමනය වී ජනතාව නැවත ආණ්ඩු විරෝධී මත දැරීම ආරම්භ වන විට, 1981 වසරේදී හසීනා අවාමි ලීග් පක්ෂයේ නායිකාව ලෙස සිය දේශපාලන ගමන ඇරඹීය. ඉන්පසු එවකට ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ පක්ෂය වූ බංගලිදේශ ජාතික පක්ෂයේ නායිකා ඛලීඩා ෂියා සමග එක්වූවාය. 1990 වසරේදී හොසේන් මොහොමඩ් එර්ෂාඩ්ගේ ආණ්ඩුව පරාජය කරමින් මේ කාන්තාවන් දෙදෙනාගේ නායකත්වය දිනුවේය. එහෙත් එය වැඩි කල් ඇදුණු සම්බන්ධතාවක් නොවූයේ ඔවුන් දෙදෙනා අතර පොරබැදීම් බහුල වීම නිසා ය. අවසානයේ ෂීක් හසීනා සහ ඛලීඩා ෂියා නයි – මුගටි විය.

දැඩි විරෝධතා සහ නීති තර්ක හේතුවෙන් හසීනාගේ පැවැත්ම තීරණය කළ සියයට තිහේ කෝටාවට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැට බැඳිණි. ඒ වන විටත් සිසුන් 150කට අධික පිරිසක් රජයේ හමුදා විසින් ඝාතනය කර තිබිණි. කෝටාවට වැට බැන්දත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඝාතනවලට වැට බැඳීමට ගියේ නැත. බංගලිදේශයේ සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ ඝාතන වැළැක්වීමේ නියෝගයක් ලබාගැනීමට ය. වෙඩි තැබීම අධිකරණය මගින් තහනම් කරවා ගැනීමට ය. එහෙත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කිරීම මුල් අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දෙකක් සමාජගත වූ අතර, එක් පිරිසක් පැවසුවේ සිසුන්ට වෙඩි තැබීම අධිකරණයෙන් අනුමත කළ බවයි. අනෙක් පිරිසගේ තර්කය වූයේ බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම රජයේ වගකීමක් වන නිසා ඊට අදාළ ව තීන්දුවක් ලබාදීමේ හැකියාවක් අධිකරණයට නැති බවයි.

කෙසේ හෝ කෝටා ප්‍රශ්නය විසඳුණද, එය හසීනා ගෝ හෝම් (හසීනා ගෙදර යනු) දක්වා ව්‍යාප්ත විය. හමුදාව විසින් 05 වැනිදා හසීනාට අවසාන නිවේදනය දුන්නේය. ඒ පළානොගියහොත් වගකිව නොහැකි බවයි. ඒ අනුව පසුගිය සඳුදා (05) ඇය සිය නැගණිය සමග ඉන්දියාවට පළාගියාය. බොහෝ විට ඇයට එංගලන්තයේ රැකවරණ හිමිවීමට නියමිත යැයි මේ වන විට වාර්තා වේ.

හසීනාගේ දියණියක වන සයිමා වේස්ඩ් තමන්ගේ එක්ස් සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් බංගලිදේශයේ නැතිවූ ජීවිත පිළිබඳ සිය සංවේගය පළකර තිබිණි. එසේම මේ මොහොතේ තම මව වැළඳගැනීමට නොහැකි වීම පිළිබඳ ඇය කනගාටුව ද පළකර ඇත. සයිමා වේස්ඩ් යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂවරියයි. ඇයි විසින් සිය සටහනේ තම මව වැළඳ ගැනීමට නොහැකි වීම යන්නෙන් මතුපිට අර්ථයට වඩා වෙනස් අර්ථයක් පළකරන බව විශ්ලේෂකයෝ පවසති.
හසීනා විසින් සිය පාලන කාලයේදී අදහස් ප්‍රකාශනය මර්දනය කිරීම, විපක්ෂයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර, ඇයගේ දියණිය ඒ පිළිබඳ විවේචනාත්මක මතයක් දැරූ බව එම විශ්ලේෂකයන්ගේ අදහසයි. සෘජු ව නොකීවද, එයින් අදහස් වන්නේ ඇය හසීනාට විරුද්ධ පැත්තේ හිටගෙන සිටි බවයි.
කෙසේ වෙතත් හසීනාගේ පළායෑමෙන් පසුවත් ඝාතන රැසක් සිදු විය. බංගලිදේශ ආණ්ඩුවේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ 26 දෙනෙකු බ්‍රහස්පතින්දා වන විට ඝාතනය කර තිබිණි. ඔවුන්ගේ දේපොළ කොල්ලකෑම් සහ ගිනි තැබීම් විශාල සංඛ්‍යාවක් සිදු විය. පාලනය කළ නොහැකි මට්ටමකට විරෝධතාකරුවන් ගොස් තිබිණි.

මේ අතරවාරයේ තවත් කැළඹීමකට හේතුවක් වූයේ 1971 යුද්ධයේ සිටි ප්‍රකට ගුවන් හමුදා නිලධාරියකු වන වින්ග් කමාන්ඩර් දේවේන්දර් ජීට් සින්ග් ක්ලේර් විසින් කරන ලද ප්‍රකාශයකි. ඔහු ඒඑන්අයි පුවත් සේවයට පවසා තිබුණේ මෙය සිසුන්ගේ විරෝධතාවක් පමණක් නොවන බවත්, මේ පිටුපස වෙනත් කතාවක් ඇති බවත් ය. ගිනි තැබීම්, කොල්ලකෑම් වැනි ක්‍රියා උදාහරණයට ගනිමින් ඔහු පෙන්වා දී තිබුණේ මේ මැර කණ්ඩායම්වල කටයුතු සිසු අරගලවල ස්වරූපය නොවන බවයි.

අඟහරුවාදා (06) බංගලිදේශ ජනාධිපති මොහොමඩ් ෂහ්බුද්ධීන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි. ජනතා කැමැත්තෙන් ආණ්ඩුවක් පත්කරගන්නා තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට හමුදාව සහ ශිෂ්‍ය කණ්ඩායම් යන දෙපාර්ශ්වය ම එකඟතාව පළකර තිබිණි. ඒ අනුව එහි ප්‍රධානියා ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයෝජන ක්‍රමය හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥයකු වන මොහොමඩ් යූනුස්ගේ නම යෝජනා විය. ඛලීඩා ෂියා මෙන්ම, ඛලීඩා ෂියාට පක්ෂපාතීත්වයක් දැක්වූ යූනුස් ද හසීනාගේ ආණ්ඩුවෙන් සිරගත කෙරිණි. එහෙත් ඔහු ෂියාට පෙර නිදහස් කෙරුණු අතර, හසීනාට එරෙහි අරගලය කාලයේ සිටියේ ප්‍රංශයේ ය.
බංගලිදේශයේ ඇතැම් නීති විශාරදයන් පෙන්වා දී තිබුණේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩක් නැති බවයි. එරට 15 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට තිබූ ඉඩ අහෝසි කළ බවටයි, ඔවුන් තර්ක කරන්නේ. කෙසේ වෙතත් 1996 වසරේදී සම්මත කරන ලද එරට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී භාරකාර ආණ්ඩුවක් පිළිබඳ සඳහන් වේ. එහි 58 (අ) සහ 58 (ආ) වගන්තිවල දැක්වෙන්නේ භාරකාර ආණ්ඩුවක ප්‍රධාන උපදේශකයන් සහ වෙනත් උපදේශකයන් සිටිය යුතු බවකි. එම තත්ත්වය මෙහිදී භාවිත කිරීමට සූදානම් වේ.
ද ප්‍රින්ට් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යූනුස් පවසා තිබුණේ හසීනා යනු ඒකාධිපතියෙකු බවයි. ඇයට අවශ්‍ය වී ඇත්තේ සියල්ලන් තමන්ගේ කැමැත්ත මත පාලනය කිරීමට බව ද ඔහු පවසා තිබිණි. රට තුළින් ආ යෝජනාව ඔහු පිළිගත් අතර, බ්‍රහස්පතින්දා ප්‍රංශයේ සිට බංගලිදේශයට පැමිණියේය. මේ වන විට 700කට අධික පිරිසක් ඝාතනය වී ඇති අතර, බොහෝ පිරිසක් ඉන්දියානු දේශ සීමාවට ගොස් ඇත්තේ ඉන්දියාවට පැනගැනීමට ය. එහෙත් ඉන්දීය රජය පවසා ඇත්තේ කිසිදු හේතුවක් මත මේ මොහොතේ එවැනි අවස්ථාවක් ලබානොදෙන බවයි.

ශ්‍රී ලංකාවේ ජන අරගලය 2022දී ඇති වූයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැරීමේ අරමුණෙනි. එම විරෝධතා හේතුවෙන් 2022 මැයි 09දා අගමැති මහින්ද රාජපක්ෂත්, ජුනි 09දා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂත් ඉල්ලා අස්වූ අතර, ජූලි 09දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරය හැර ගියේය. ඔහු ත්‍රීකුණාමලයටත්, හිඟු‍රක්ගොඩටත්, මාලදිවයිනටත්, සිංගප්පූරුවටත්, මැලේසියාවටත් ගිය අතර, ජූලි 14දා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. මීට බලපෑ නිශ්චිත හේතු වූයේ අධික උද්ධමනය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ කඩා වැටුණු විදේශ විනිමය සංචිත නිසා ඉස්මතු වූ උග්‍ර ආර්ථික අර්බුදයයි. බරපතළ දූෂණ සහ වංචා, රාජ්‍ය මුදල් අවභාවිතය සහ කොවිඩ් 19 වසංගත සමයේ දැක්වූ විවිධ අත්තනෝමතික ප්‍රතිචාර ද ජනතාවගේ අසහනය උග්‍ර කළේය. රාජපක්ෂ පාලනයේ අධික ණය ගැනීම් සහ රසායනික පොහොර හදිසි තහනම වැනි අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති මෙය තවත් තීව්‍ර කළේය.
බංගලිදේශයේ කෝටා ව්‍යාපාරයෙන් ආරම්භ වූ 2024ිගණාභියුත්තාන්’ අරගලය ද ෂීක් හසීනාගේ ආණ්ඩුවට එරෙහි පුළුල් විරෝධයක් බවට පත්විය. ලංකාවේ මෙන්ම මුලදී රාජ්‍ය අංශයේ රැකියා සඳහා සාධාරණ කෝටා පද්ධතියක් සඳහා වූ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ මෙම ව්‍යාපාරය, හසීනාගේ පාලනයට එරෙහි පුළුල් අභියෝගයක් දක්වා ක්‍රමයෙන් වර්ධනය විය. මේ සඳහා හේතු වූයේ ආණ්ඩුවේ දූෂණ, අධිකාරිවාදය සහ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව පුළුල්ව පැතිරුණු ජනවිරෝධයයි. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී විපක්ෂයක් නැති කොට පැවැත්වූ මැතිවරණය සහ අධිකරණය හැසිරවීම ද මේ විරෝධතා තීව්‍ර කළේය. එසේම දිනෙන්-දින ඉහළ යමින් පවතින අසමානතාව සහ විරැකියාව ද තරුණයන් ලක්ෂ ගණනින් පාරට කැඳවීය.

රටවල් දෙකේම ජනතාව පාරට බැසීමට හේතු වූ තවත් කාරණයක් වූයේ පවුල්වාදය නැතහොත් ඥාති සංග්‍රහයයි. මේ සම්බන්ධයෙන් රටවල් දෙකේ ම ජනතාව කාලයක් තිස්සේ සිටියේ අතෘප්තියෙනි. ලංකාවේ ආයතන සභාපති ධුර, අමාත්‍යංශ පවුලේ හිතවතුන්ට ලබාදීම මෙන්ම හසීනා විසින් දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල මුල් පුටු පවුලේ ඥාතීන්ට ලබාදීම ද සමාන ව රටවල් දෙකේ අරගල ඇවිළවීය.
ලංකාවේ අරගලයට භූදේශපාලනික වශයෙන් තීරණාත්මක මැදිහත්වීම් කළ රටවල් කිහිපයක් විය. ඉන්දියාව ඒ අතර ඉදිරියෙන් ම සිටියේය. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව විශේෂයෙන් ලංකාවේ අරගලය සමීපව නිරීක්ෂණය කළ බව පැහැදිලිව දැකිය හැකි විය. ඊට හේතු වූයේ භූදේශපාලනික වශයෙන් ලංකාවේ ඇති විශේෂත්වයයි.
මෙසේ ම විශේෂ තත්ත්වයක් යටතේ පවතින මියන්මාරය සහ ඉන්දියාව සමග දේශසීමා බෙදාගන්නා රටකි, බංගලිදේශය. දකුණු ආසියාවේ තීරණාත්මක තැනක ය, බංගලිදේශය ද පිහිටා ඇත්තේ. ඉන්දියාව ලොකු අයියා කරගනිමින් ඔවුන්ගේ වෙළෙඳ ආධිපත්‍යයට ඉඩදෙමින් ඉදිරියට යන ක්‍රමයකි, බංගලිදේශය අනුගමනය කළේ. හසීනාගේ ආණ්ඩුවට මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, මර්දනය පිළිබඳ චෝදනා රැසක් එල්ල වෙද්දීත්, කලාපයේ ප්‍රබලයකු ලෙස ඉන්දියාව සිටියේ උදාසීන පිළිවෙතක ය. බටහිර රටවල් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන බහුතරයක් ද හසීනා ආණ්ඩුව ශිෂ්‍යයන් ඝාතනය කරන විට කනස්සල්ල පළකිරීම හැර වෙනත් බලපෑම් සහගත මැදිහත්වීම් කිසිවක් කළේ නැත.

විවිධ පාර්ශ්ව විසින් කවර මට්ටමේ තර්ක ගොඩනැගුවද, රටවල් දෙකේම අරගලවල තීරණාත්මක භූමිකාව ඉටුකරන ලද්දේ ශිෂ්‍ය ව්‍යාපාර මගින් ය. ශිෂ්‍ය නායකයෝ මේ විරෝධතාවල ප්‍රධාන තැන්වල සිටියහ. ඔවුන් සමග තරුණ ප්‍රජාව එක්වූ අතර, තීව්‍ර වූ තරුණ අසහනයට ශිෂ්‍ය ව්‍යාපාරවල සංවිධානාත්මක හැකියාවන් විසින් ජවයක් එක්කර තිබිණි. ලංකාවේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගෝල්ෆෙස් අරගලයට මැදිහත් වූ ආකාරයේ මෙන්ම බංගලිදේශයේ ගණාභියුත්තන් අරගලයේදී ද මෙය පොදු කරුණක් විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අරගලයේදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට පහරදීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදුවුවද, බංගලිදේහයට සාපේක්ෂව එය අවම මට්ටමක පැවතිණි. 11 දෙනෙකු පමණ ලංකාවේදී ඝාතනය කෙරුණු අතර, කල් ඉකුත් වූ කඳුළු ගෑස්, ජනතාවට වටකර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම වැනි සිදුවීම් නිසා විශාල පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්වූහ. බංගලිදේශයේ තත්ත්වය එසේ නොවීය. එහි ප්‍රචණ්ඩත්වය උපරිම වූ අතර, හසීනාට පක්ෂ සහ විපක්ෂ පිරිස් අතර ගැටුම් ද බහුල විය. ඒ නිසා ම ජීවිත 700කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ බව බංගලිදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ලංකාවේදී මෙන්ම බංගලිදේශයේදී ද මේ අරගලවල ආරම්භය ගත්තේ තරුණයන් ය. තරුණයන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ ලිපියේ මුලදී සඳහන් කළ තරුණ අසහන කොමිසම ඇතුළු විවිධ කොටස් නිර්දේශ ඉදිරිපත් කළද, ලෝකයේ ම එය සිදු වී නැත. තවදුරටත් විරැකියාව, අසමානතාව වැනි ගැටලු‍ ලෝකය පුරා තීව්‍ර වෙමින් තිබේ.
තරුණයන් ඊට ප්‍රතිචාර දක්වන අතර, බලය පවත්වාගැනීමේ මෙහෙයුමේ සිටින ආණ්ඩු විසින් ඔවුන් මර්දනය කරනු ලබයි. ප්‍රශ්න විසඳීමට හෝ තරුණයන් සමග සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැත. ජන අරගල සුළු කොට තැකිය නොහැකිය. එසේ ම ජන අරගල වෙනත් අවශ්‍යතා ඉටුකරන ඉසව් බවට පත්කර ගැනීමට ඉඩ දිය යුතු ද නැත. ලංකාවේදී මැති-ඇමැතිවරුන්ගේ නිවාසවලට ගිනි තැබීමට පෙර ඒවායේ සිටි ආරක්ෂකයන් ඉවත් කළ බව ප්‍රකට කරුණකි. බංගලිදේශයේදී ජනතාව පණ පිටින් පුළුස්සා මැරූ බව ද අපි දුටුවෙමු.

  • ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...