ලංකා – බංගලී විරෝධතා ප්‍රකාශන

Share post:

ශ්‍රී ලංකාවේ සහ බංගලිදේශයේ මතුවුණු ආණ්ඩු විරෝධී අරගලයේ හැසිරීම් කිසියම් සදාචාර විනිශ්චයකට ලක් කර අප්‍රසාදයට ලක් කිරීමට එහා ගොස් මෙයින් අපට තේරුම් ගැනීමට යම් බැරෑරුම් යථාර්ථයක් ඇද්ද? තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකම වගේ අඩු වැඩි වශයෙන් විවිධ මට්ටම්වලින් රජයට එරෙහි විරෝධතා පැන නගිනවා. ඉතිහාසය පුරාම පැවතුණා ඉදිරියටත් පැවතේවි. (දැනට උතුරු කොරියාව සහ සමහර මුස්ලිම් රටවල් කීපයක හැරුණු කොට.) ආණ්ඩුවකට එරෙහිව ජනතාවට එකතු වී විරෝධය පළ කරන්නට පුළුවන් වීම රටක නොදියුණු තත්ත්වයක් නොව දියුණු තත්ත්වයක්. නමුත් ඒ විවිධ රටවල විරෝධතා ව්‍යාපාරවල ඇති ලක්ෂණ වල වෙනස්කම් වගයක් එම ජනතාවගේ ප්‍රකාශන ලෙස ඔබට කියවන්න පුළුවන්නම් එයින් එම සමාජයේ ඇති ගැඹුරු අර්බුදයක් හෙළිදරව් වෙනවා.

ශ්‍රී ලංකාව බංගලිදේශය වැනි දකුණු ආසියාතික රටවල්, අප්‍රිකානු රටවල්, සමහර ලතින් ඇමරිකානු රටවල් වැනි රටවල් වලින් මෙවැනි පොදු ජනතාව ගෙන් පැන නගින විරෝධතා ව්‍යාපාරවල එක ප්‍රධාන සමාන ලක්ෂණයක් තියෙනවා. ඔය බංගලිදේශයේ සහ ශ්‍රී ලංකාවේ විරෝධතා ව්‍යාපාර දෙකේ වඩාම සමාන ලක්ෂණ ලෙසට අපට පෙනෙන්න තියෙන්නෙත් අන්න ඒ ලක්ෂණයි. එනම් ඒවා, රටේ එක්තරා ප්‍රභූ,පාලක හෝ වරප්‍රසාදිත පන්තියක පිරිසක් ජීවත් වුණු ආකාරයටම එරහිව එන ක්‍රියාකාරකම් වීමයි. එකී ප්‍රභූ පිරිසේ බඩු භාණ්ඩ පාවිච්චි කිරීම, ඔවුන් සිටිය තැන් ආක්‍රමණය කර ඔවුන් හැසිරුණු ආකාරය අනුකරණය කිරීම, එම ස්ථාන වලට පහර දී විනාශ කර යම්කිසි ආධිපත්‍යධාරී ආශ්වාදයක් ලැබීම, ඔවුන්ව සමාජ දඬුවම් හරහා කොන් කිරීම ආදිය ඒ ප්‍රධාන චරිත ලක්ෂණයි. ජනතාවගෙන් මේ සඳහා වඩාම උද්යෝගිමත් සහ පෙළඹෙන කොටස් අපට හමුවන්නේ සමාජයේ ආර්ථිකව සහ සමාජමය වශයෙන් වඩාම ආන්තික කළ නැතහොත් වඩාම පීඩනයට ලක් කල කොටස් වලින්. මේ පීඩනය කියන එක බැලූ බැල්මට මතුපිටින් පෙනෙන විෂමතා වලට පමණක් සීමා නොවන කුල හෝ පන්ති පීඩනය, ස්ත්‍රී මර්දන පීඩනය, ලිංගික පීඩනය, භාෂාව පිළිබඳ ප්‍රශ්නය ආදිය ඇතුළු විවිධ සමාජ අසාධාරණයන් නිසා ඇතිවුණු පීඩනයන් ලෙස හඳුන ගන්න පුළුවන්. එම රටවල විසඳලා නැතිව යටගසා හෝ නොසලකා හැරි සියලුම පීඩනයන් ප්‍රකාශ වන්නේ මේ විරෝධතා වලට පොදු ජනතාව සහභාගී වී ඔවුන්ට නිදහසේ තමන්ව මුදවා හරින්න අවස්ථාව ලැබීමත් සමඟයි. එතනදි විරෝධතාවයට නිමිත්ත හෝ ප්‍රධාන ප්‍රශ්නය විදිහට මතුපිටින් පෙනෙන දූෂණ වංචා හෝ පඩි වැඩිවීම ආදිය නොවෙයි චිත්තවේගය ඇති කරන්නේ. ශ්‍රී ලංකාවේ තවත් සුලභ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ශ්‍රී ලංකාවේ කිසිවෙක් කිසියම් වාහනයකට යටවුණාට පසු අවට එන්න සියලුම පිරිස් ඇවිත් එම වාහනයට පහර දීලා ගිනිබත් කරන සම්ප්‍රදායක් තියෙනවා. මෙම දඬුවමට පොදු සමාජය අනුමැතිය ද ලැබිලා තියෙනවා. මේ වාහනය ගිනිබත් කිරීමට පැමිණෙන අය ඔබ නිරීක්ෂණය කළහොත් ඔවුන් සාමාන්‍යයෙන් බහුතරය එම ප්‍රදේශයේ වඩාම සමාජ අසාධාරණයට ලක් වී පීඩනයෙන් සිටි පිරිසයි. ඔවුන්ගේ චිත්තවේග අතිශයින්ම උණුසුම් එය ඔවුන්ට පාලනය කිරීමට අතිශයින් අපහසුයි. කොටින්ම වාහනය ගිනි තැබීමට ලිංගිකත්වයද සම්බන්ධයි. එවැනි දේවල්වලින් වඩා ආරක්ෂිත එම පීඩනය අඩු අය ඊට සම්බන්ධ වෙන්නෙ නැහැ. විශ්ව විද්‍යාල වල රැග් වලද ඇත්තේ මීට සමාන දෙයක්. රැග් වලදී යමක් කමක් තියෙන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයට ඔවුන් වැඩියෙන් රැග් කරන නැඹුරුතාවයක් තියෙනවා.

මෙම විරෝධතා වලින් සිදුවන හානිය අපට කිසිසේත් අනුමත කරන්න හෝ සාධාරණය කරන්න බැරි උනත් එය පැන නගින්නට හේතුවන මූලයන් බැලුවාම ඒවා සාධාරණ මානුෂික ප්‍රකාශන බව අපට පිළිගන්න සිද්ධ වෙනවා. මේ නිසා තමයි රාජ්‍ය අසාධාරණයට එරෙහිව උක්ත කී මූලික සමාජ අර්බුද සතුටුදායක ලෙස විසඳී ඇති ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුලු බොහෝ යුරෝපීය රටවල්වල මෙවැනි ජන අරගල වලදි මේ කියපු ලංකා- බංගලි අරගල වල ප්‍රධාන චරිත ලක්ෂණ, යම්කිසි පිරිසක් ජීවත් වුණු ආකාරයටම එරෙහිව එන ක්‍රියාකාරකම්, දකින්නට නැත්තේ.

ලංකා- බංගලි අරගල වල ඇති තවත් විශේෂ ලක්ෂණයක් වෙන්නේ ජනතාව එකතු වී තමන්ට අසාධාරණයක් කලා කියන පාලක හෝ ප්‍රභූ පන්තියටත් ඔවුන්ට ගැතිකම් කරපු අයටත් විවිධාකාර සමාජ දඬුවම් ලබාදීම. එයද මෙම රටවල් වලට විශේෂයෙන් ආවේණික චරිත ලක්ෂණයක්. හේතුව නම් එම රටවල් වල සාමාන්‍යයෙන් එදිනෙදා ජන ජීවිතයේදී ද , වාහනයකට මිනිසෙක් යට උනහම, හාමුදුරු නමකගේ ලිංගික ජවනිකාවක් හසුවුනහම හෝ යමෙක් හරකෙක් හොරකම් කරුවාම ආදි අවස්ථාවල මිනිසුන් එකතු වී සමාජ දඬුවම් දීම. යම් කිසි රටක සමාජ දඬුවම් පවතින්නේ ඒ රටේ ශිෂ්ඨසම්පන්න නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවොන තරම් නොදියුණු නිසයි. නීතියෙන් ද එක්තරා පන්තියකට ගැලවී යා හැකි ඒ තත්ත්වයද දරුණු සමාජ අසාධාරණයක් ඇතිකරලා තියෙනවා.

එම නිසා මෙම අරගලවල ඇති ක්‍රියාකාරකම් අප තේරුම් ගත යුත්තේ දරුණු සමාජ අසාධාරණයට ලක් කරපු මිනිසුන්ගේ ආවේග ඔවුන්ට ආවේනික එක්තරා භාෂාවකින් ප්‍රකාශන වීමක් විදිහටයි. (Subaltern expression) එම ප්‍රකාශන අප ගැඹුරින් කියවා ගත යුත්තේ ඒ නිසයි.
එනිසා මෙම ලංකා -බංගලි අරගල වලට මොනවා හරි ඉල්ලීම් ටිකක් ලබාදී හෝ නීතිය ක්‍රියාත්මක කර මර්දනය කර හෝ පාලනය කිරීම නෙමෙයි කළ යුත්තේ. මේවා ඇතිවෙන්නට හේතු වුණු සමාජ අසාධාරණය ගැඹුරින් අධ්‍යයනය කර විශාල සමාජ සංස්කරණයකට යාමයි. ශ්‍රී ලංකාව බහුතර ජනතාව ද බංගලිදේශයේ මෙන්ම කලාන්තරයක සිට උග්‍ර සමාජ අසාධාරණයකට ලක්ව පීඩනයෙන් සිටින පිරිසක් වන අතර කවුරු හෝ වේවා ඊළඟට එන රජයේ කටයුත්ත විය යුත්තේ මෙම සමාජ අසාධාරණය බරපතල් ලෙස අරගෙන නිවැරදි කිරීමයි.

ධනංජය කරුණාරත්න

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...