කියවා නොමැති පොත් මිටි ගණන් අතර ඇතැම් පොත් බොහෝ කලක් සැඟවී තිබෙනුයේ කියවන්නට ගත්විට ඔබ මෙතරම් කැමැත්තෙන් කියවන බව දැන දැනත් මෙසේ වහං වී සිටි හැටි කොහොමදැයි ඔච්චම් කරනවා මෙනි. වසර ගණනක් අතනොපත්ව තිබී කියවන්නට ගත්,බිම තියන්නට නොසිතුණු පොතකි; “මේ සොඳුරු දඩබිමෙහි”.
ජීවන අරගලය, සමාජයේ ඇති නැති පරතරය, ගැහැනියක වී ඉපදීම පවක් වන සමාජ රටාව වැනි සුලබ කාරණා පිළිබඳව කම්පනය වන අයුරින් ලියා තිබීම එය කියවන්නට උත්තේජනය සපයයි.
වැවක සොබා සෞන්දර්ය හිමිකරගත් ගමක ජීවනාලිය ඒ වැවම නොවෙතත් ගමේ පැවැත්මට එයින් සිදුවන මෙහෙය සුළුපටු නොවන්නට පුළුවන. එවන් ගමක එකතැන රැඳෙන දිය පිරි වැවක් සේ නිසංසල බව බිඳී කැළඹෙන්නට පටන් ගන්නේ වැව් තාවුල්ලේ හෝටලයක් ඉදිවන්නට යන ආරංචිය සමඟිනි. මහවැව ආශ්‍රිත ගම යහපත් බවේ ප්‍රතිමූර්තියක් නොවෙතත් සැබෑ ගැමියන් ජීවත් වන්නාවූ සමාජයකි. පන්සල එහි එහි මඟපෙන්වන්නා වනුයේ සියළු ගැමියන්ගේ එකඟත්වයෙන් නොවෙතත් අළුතින් ඉදිවන්නට යන හෝටලය ඔවුන් එකතු කරන්නේ පක්ෂ විපක්ෂ අදහස් වල එකඟත්ව, විරෝධතා යන ඕනෑම තැනක දකින දේ සමඟිනි. ඈත අතීතයේ එක්තරා කතන්දරයක එන, සිතුවමක් සේ හද ඇඳෙන ගමක තතු එක්වරම වෙනස් වේ. ඔවුන් අතරට සිමෙන්ති , ගල් , ගඩොල් හා කම්බි සමඟ ගිටාරයක් අතින් ගත් තරුණයෙක්ද පැමිණීම ඛේදවාචකයක ආරම්භය යයි සිතන්නට නොසිතෙනුයේ ඒ තරුණයාගේ අදහස් ගල් වැලි මෙන් කඨෝර නොවන බව හැඟෙන නිසාය.
මායා, මායාවක් නොවෙන සුන්දර හදවතක් ඇත්තෙකි. පරිසරයට හිතැති, ගමට මෙහෙයක් වන අයුරින් හෝටලය ඉදිවිය යුතු යන අදහස සමඟ සිදුවන ඔහුගේ ආගමනය ධනාත්මක ලෙස පිළිගන්නවාද යන්න පාඨකයා සතුය. ව්‍යාපාරික මනසක්ද ඇති ඔහුගේ සෞන්දර්යවාදී හදවත සැබෑ ලෙසම තේරුම් ගන්නේ කවුරුන්ද යන්න පිළිතුරු ලැබෙන ප්‍රශ්නයක්ද යන්නද එසේමය.
“මේ කැලැ වැවුණු කඳුවැටියත් එක්ක තියෙන මහවැව, ඒකට ඇමිණිලා ඈතට යන මේ ගමේ වටපිටාව, අර ඈත අහසෙ මායිමට යනකං මිදුණු මීදුම් වලාකුළු වගේ පේන කඳු පන්ති හරිම ලස්සනයි. ඒත් මට කියන්ඩ මේ ලස්සන බලන්ඩ ඉවසිල්ලක් තියෙන, වෙලාවක් තියෙන, ඒකට පුරුදු පුහුණු වුණු කී දෙනෙක් මේ පළාතෙ ඉන්නවද? ලස්සන විඳිනව කියන්නේ නිකම්ම නිකං දෙයක් නෙමේ මිස්. ඒක සංස්කෘතික දෙයක්. ඒක වෙනස් සංස්කෘතියක්. ඇත්තම කියනවනං අපි මේ වැවේ, කැලෑවෙ, ගමේ තියෙන ලස්සන විකුණන්ඩ තමයි යන්නෙ. ඒ ලස්සන බලන්ඩ වෙලාවක් තියෙන, ඒක විඳින්ඩ දන්න, ඒකට සල්ලි තියෙන අයට, අපි විකුණන්ඩ හදන්නෙ ලස්සන නං, අපි ඒ ලස්සන දේවල් විනාස කරයිද? එහෙම කෙරුවොත් අපි විකුණන්නෙ මොනවද? ” (පිටු 92, 93)
ගමක ළිංමැඩි ජීවිතයෙන් මිදෙන්නට එකම මඟ අධ්‍යාපනය නම් එය හදාරන්නට නගරයට ගොස් අතරමඟක යළි පැමිණෙන්නට සිදුවන, සිහින වල පමණක් තමන්ගේ ප්‍රාර්ථනා හමුවන, ගෙදරට නාකිනොවී ඊලගට කසාදය වන සුපුරුදු සමාජ නියමයන්ට මැදිව ජීවත් වන්නට සිදුවන ආගන්තුක විරුද්ධ ලිංගිකයන් භයානක සත්ව කොටසක් යයි සැලකිය යුතු සංස්කෘතික යයි හැඟෙන එහෙත් මානසිකව සිරකරන ලද ගැහැණුන්ගේ හඬ “මේ සොඳුරු දඩබිමෙහි” තුළ ඔබට ඇසෙනු ඇත. වත්සලාලා, මාලනීලා ලෙස ඔවුන් හමුවනු ඇත.
ගැහැණු යනු තම අවශ්‍යතා සපුරාගැනීමට තැනුණු ලිංගික මෙවලමක් යයි සිතන විජේන්ද්‍රලා,එසේ සිතන්නට එරෙහිව යන ගැහැණු පිළිබඳ ඉරිසියාවෙන් පෙළෙන සුගතංලාද හමුවනු ඇත.
සමාජ විෂමතාවයන් යනු ඇති නැති පංති පරතරය පමණක් නොවන්නේ යයි හැඟෙන, සංස්කෘතික යයි කියාගන්නා ඇතැමුන් සංස්කෘතියක් ගැන කතා කරන්නේ කෙසේදැයි යන්න ඇතැම් විට ගැටළුවක් වන සමාජයක් තුළ වර්තමානයේද ජීවත් වන්නට සිදුව ඇති අපට මේ සොඳුරු දඩබිමෙහි හමුවන්නේ චරිත වල නම්, ගම් වෙනස් වන, සිදුවීම් සුළු සංස්කරණයන්ගෙන් පසුව නැවත නැවත හමුවන කතාවකි.
එය එක් සමාජ සිදුවීමකට පමණක් ලඝු කරන්නේ නම් වැව් තාවුල්ලේ තැනුණු තවත් හෝටල් වල කතා අතර මෙසේ සැඟව ගිය බොහොමයක් කතා තිබෙන්නට ඇත.තිබෙනු ඇත. ඒ සියල්ලේ මායා වැනි මිනිසුන් එනු යනු ඇත.මාලනීලා වැටුණ ළිඳෙන් මෙලනිලා වී ඉපදෙනු ඇත. සුපුරුදු උරුම කරුම කරපින්නා ගත් වත්සලාලාද හමුවනු ඇත. ඉතින් එවන් කතා කියවන්නට සිදුවන අපගේ දෛවය සරදමක් නොවන්නේද?
ඉරේඛා සෙනෙවිරත්න
05/08/2024