ධාවන පතයේදී හිනාවෙන හැම ක්‍රීඩිකාවක් ක්‍රීඩකයෙක් පිටුපසම තියෙන්නෙ දුක්බර කතාවක්

Share post:

ඔලිම්පික් ධාවනපතයේ දවසින් දවස අළුත්වෙන ප්‍රවෘත්ති බොහොමයි. ඒත් එක්කම තමන්ගෙ සිහින සැබෑකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ කතන්දර කෙලවරක් නැහැ.
මේ අතරින් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තෝරාගන්න එක ලේසි පහසු වැඩක් නෙවේ.
ඔලිම්පික් පදක්කමක් දිනන්න මොනතරම් කැපවීමක් කලයුතුද යන ප්‍රශ්ණය ඉදිරියේදී කතාකරන්න ඉතිරිකරමින් මීටර් 200 කාන්තා ඉසව්වේ පදක්කම් තුන දිනාගත් ක්‍රීඩිකාවන් තුන්දෙනා ගැන කතාකරමු.

Gabriel Thomas

රන් පදක්කම ගැබී තෝමස්. (Gabriel Thomas – USA )
අධ්‍යාපනය හා ක්‍රීඩාව දෙක එකම මට්ටමක ඉහල තලයක පවත්වාගෙන යන්න පුළුවන්ද.?
මේ ප්‍රශ්ණයට දියහැකි හොඳම පිලිතුර ගැබී.
මගෙ අම්මා වේටර්වරියක් ලෙස සේවය කරමින් ආචාර්ය උපාධිය දක්වා ඉගෙනගත් කාන්තාවක්.
ඇලිසන් ෆෙලික්ස්ගේ ධාවන තරඟ නරඹන්න අපේ අම්මා කොයිතරම් ආසයිද කියනවනම් මමත් නොදැනීම ඇලිසන්ගෙ රසිකයෙක් වෙනව විතරක් නෙවෙයි ඇලිසන් වගේ දුවන්නත් ඕනෙ වෙනවා.
ලෝක ප්‍රසිද්ධ හාවඩ් විශ්ව විද්‍යාලයේ නියුරෝ ජීව විද්‍යාව හා ලෝක සෞඛ්‍ය ( Neurobiology and Global health ) සම්භන්ධව උපාධිය සම්පූර්ණ කරන ගැබී .. ටෙක්සාස් විශ්ව විද්‍යලයෙන් මාස්‍ටර් උපාධිය සම්පූර්ණ කරන්නෙ එපිඩෙමිලොජි (Epidemiology) සම්භන්ධයෙන්.

පහුගිය කෝවිඩ් වසංගතය සමයේදී ගැබී තෝමස් සවේච්ඡා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්බකරමින් සෞඛ්‍ය රක්ෂණය නොමැති දුප්පත් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. මේ සේවාව කොයිතරම් ජනප්‍රිය වෙනවද කියනවනම් අදටත් සිය දාස් ගාණක් රෝගීන්ට ප්‍රතිකාර සපයන්න මේ මධ්‍යස්ථානයට හැකිවෙනවා.
ඒ විතරක් නෙවෙයි මේ වසරේ මුලදී තමන්ගෙ ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහාත් ගැබී ලියාපදිංචිවෙනවා.
මට අවශ්‍ය වුනේ ඔලිම්පික් රන් පදක්කම. මම හැමදාකම හීන දැක්කෙත්… බලාපොරොත්තු වුනෙත් රන් පදක්කම විතරයි. ඉගෙන ගන්න මම ආසයි.. ඒ වගේම මලල ක්‍රීඩාවට මම ආදරෙයි.
පහුගිය සති දෙක ඇතුලත අඩුම තරමෙ හත් අටසිය වාරයක්වත් මම මගේ නෝට් පොතේ ලීවෙ I am the Olympic Champion කියන වාක්‍ය.
මම පොඩි කාලෙ මගෙ අම්මා මට කියනව මතකයි… ගැබී ඔයා විශේෂයි. ඔයාගෙ මූනෙ තියන එලිය පුදුමාකාරයි. ඔයාට පුළුවන් ලෝකය පුදුමකරන දේවල් කරන්න.
අම්මා කෙනෙක්ට පුළුවන් ඒ තරම් ශක්තියක් දරුවෙකුට දෙන්න. ගැබී තෝමස් කියනවා.
2016 දී ඔලිම්පික් තේරීම් තරඟ පලමු වටයෙන්ම මම පරාද වෙනවා. 2021 ටෝකියෝ තරඟයේදී මට ලැබෙන්නෙ ලෝකඩ පදක්කම.
රන් පදක්කම ලබාගන්නා තෙක් මගේ හීනය සම්පූර්ණ වුනේ නැහැ.
හීන දකින එකත් හීන විශ්වාස කරන එකත් පුදුමාකාරයි. අවුරුදු අටක් තිස්සෙ මම මේ හීනෙ දැක්කා, විශ්වාස කරා. අන්තිමට රන් පදක්කම මගේ.

Julien Alfred

රිදී පදක්කම දිනාගත් ජුලියන් ඇල්ෆ්‍රඩ් ගැන මුළු ලෝකයම අද කතාකරනවා. ( Julien Alfred – Saint Lucia)
ඇල්ෆ්‍රඩ් උපදින්නෙ කැරිබියන් දූපතක් වූ සේන්ට් ලූශියා රාජ්‍යයේ. මේ කුඩා දූපතේ වර්ග ප්‍රමාණය කිලෝමීටර් 600 ක් පමණ වෙද්දි ජනගහනය 180,000 ක පමණ සුළු ප්‍රමාණයක්.කුඩා කාලයේදීම ජූලියන් ඇල්ෆ්‍රඩ් ධාවනයට ඉතාම දක්ෂයෙක්.
පොදුරාජ්‍ය මණ්ඩලයේ යොවුන් ක්‍රීඩා උලෙලේදී රන් පදක්කම දිනාගන්න අවස්තාවේ ජුලියන්ට වයස අවුරුදු පහලවයි. ඉන්පස්සෙ තමන්ගෙ තාත්තගෙ අකල් මරණය නිසා ජුලියන් ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කරනවා. නමුත් ජුලියන්ගේ පාසැලේ පුහුණුකරුගේ මැදිහත්වීම මත කුඩා ජුලියන්ට අවස්ථාව ලැබෙනවා ජැමෙයිකාවේ වසර කීපයක පුහුණුව ලබන්න. පවුලෙන් ඈත්වීම.. අළුත් රටක තනිවම ජීවත්වීමට සිදුවීම ආදි විවිධහේතුවෙන් මේ කාලය තුලදී ඇල්ෆ්‍රඩ් ජාතයන්තර මට්ටමේ ජයග්‍රහණ ලබන්නේ නැහැ.
අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් ලැබෙන සම්පූර්ණ ශිෂ්‍යත්වයත් සමග ජුලීයන් ඇමරිකා එක්සත් ජනපදයට ලඟාවෙනවා. නේවාසික පහසුකම්… පෝෂ්‍යදායී ආහාර… පුහුණුව හා අධ්‍යාපනය එක්ක ජුලියන් ඇල්ෆ්‍රඩ් අළුත් ජීවිතයට හුරුවෙනවා.
අයර්ලන්තයේ රෂිඩා අඩිලේකේ.. ජැමයිකාවේ ස්ටේසි ඈන් විලියම්ස්.. කරීමා ඩේවිස් සමග සහාය දිවීමේ වාර්තාවන් පිහිටවන ජුලියන් ඇල්ෆ්‍රඩ් එන්.සී ඒ.ඒ තරඟාවලියේ මීට 100 හා 200 ඉසව් දෙකම ජයග්‍රහණය කරනවා. ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිය අවසන් කරමින් ඉන් පිටවීමත් සමග ලෝක ප්‍රසිද්ධ පූමා ආයතනය සමග ජුලියන් ඇල්ෆ්ඩ් විශාල අනුග්‍රාහක ගිවිසුමක් අත්සන් කරනවා.

ඉන්පසු මුළු ලෝකයේම මාධ්‍ය ජුලියන් ඇල්ෆ්‍රඩ් ගැන කතාකරන්න පටන් ගන්නෙ ගෘහස්ත ලෝක ශූරතාවේ මීටර් 60 ඉසව්ව ජයග්‍රහණය කිරීමත් සමගයි.
වයස අවුරුදු පහලවේදී නිවසින් වගේම තමන්ගෙ රටෙනුත් පිටවෙන ජූලියන් ඇල්ෆ්‍රඩ්ගේ ගමන් මග බොහොම අසීරු එකක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

Britany Brown

තුන්වෙනි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම දිනාගත් බ්‍රිටනි බ්‍රවුන්. ( Britany Brown- USA )
බ්‍රිටනි උපදින්නෙ බොහෝම දුප්පත් පවුලක. එයාගෙ අම්මට හැකියාවක් නැහැ බ්‍රිටනිගෙ ක්‍රීඩා ජීවිතයට උදව් කරන්න. පාසැල් සමයේ ක්‍රීඩාවට දක්ශකම් දක්වන බ්‍රිටනි බ්‍රවුන් ඉගෙනීමේ එතරම් දක්ෂයෙක් නෙවෙයි.

දවල් කාලයේ වේටර් වරියක් ලෙස සේවය කරන බ්‍රිටනි රාත්‍රීකාලයේදී ඩිමෙන්චියා රෝගයෙන් පෙලෙන රෝගීන් රැකබලා ගැනීමේ රැකියාවක් කරනවා. එක්වරක් ඩිමෙන්චියා රෝගියෙක් කල පහරදීමකින් බ්‍රිටනිට සිද්ධවෙනවා නේවාසික රෝහල් ප්‍රතිකාර ලබන්න.
මේ රැකියා දෙකෙන් ලැබෙන මුදලෙන් ක්‍රීඩා පුහුණුවීම් කරන බ්‍රිටනි බ්‍රවුන් 2910 ලෝක ශූරතාවට සහභාගිවෙන්නෙ අනුග්‍රාහකයෙක් හෝ පුහුණුකරුවෙක් නොමැතිව. දෝහා කටාර්හි පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගන්නා තෙක් බ්‍රිටනි බ්‍රවුන් කියන්නෙ ඉතාම අප්‍රසිද්ධ චරිතයක්.
“මම රූමත් කෙනෙක් හෝ කතාවේ දක්ෂයෙක් නෙවෙයි. මම කතාකරන විදිහට මිනිස්සු හිනාවෙනවා.. ඒ නිසාම මට ස්ථිර රැකියාවක් හොයාගන්න අමාරු වුනා. ඉගෙනීමට වුනත් මම ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි. ඒ නිසාම විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙන්න මට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒත් ක්‍රීඩාව කියන්නෙ මගෙ ජීවිතේ කොටසක්.”
2020 වසර අවසානයේ ඇඩිඩාස් ආයතයේ අනුග්‍රහය ලබන බ්‍රිටනි බ්‍රවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දක්වා යන ගමන ඉතාම දුශ්කර එකක්.
ක්‍රීඩිකාවන් තුන්දෙනෙක්… එකිනෙකට වෙනස් චරිත තුනක්.
නමුත් වසර ගණනාවක දුෂ්කර පුහුණුව… අසීරු ඉලක්ක… කැපකිරීම් මේ තුන්දෙනාටම පොදුයි.
දොරවක ගමේ ඉපදුනු සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දක්වා ගිය ගමනත් මේ වගේම බොහොම අසීරු දුශ්කර එකක් බව නැවත මතක්කල යුතුයි
ඔලිපික් පදක්කම් දිනන්න කලයුතු කැපවීම.. පරිත්‍යාගය පුදුමාකාරයි.
ධාවන පතයේදී හිනාවෙන හැම ක්‍රීඩිකාවක් ක්‍රීඩකයෙක් පිටුපසම තියෙන්නෙ මෙන්න මේ වගේ කතන්දර බව අපි අමතක නොකල යුතුයි.

මැල්කම් සන්ග්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...