ශ්‍රී ලංකාවේ ‘ජන අරගලය’ සහ බංග්ලාදේශයේ ‘ගණාභියුත්තාන්’ !

Share post:

ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ මෑත කාලීන මහජන නැගිටීම්, දකුණු ආසියානු කලාපයෙහි ඇතිවෙමින් පවතින ගැඹුරු දේශපාලන, ආර්ථික සහ සමාජ ආතතීන් මූලිකව ජනතා මූලික දේශපාලනයේ නව ප්‍රවණතාවක් ඉස්මතු කරමින් සිටී. 2022 දී ශ්‍රී ලංකාවේ ජන අරගලය (හෝ ද්‍රවිඩ බසින් පෝරාට්ටම්) සහ 2024 දී බංග්ලාදේශයේ ගණාභියුත්තාන්, කලක සිට ස්ථාපිත දේශපාලන පාලන තන්ත්‍රයන් සහ පද්ධතිමය දූෂණය, ආර්ථික දේශපාලන සමාජ අයුක්තියට එරෙහිව ජනතාවගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීමේ පැහැදිලි නිදසුන් ය. බෙංගාලි බසින් හඳුන්වන ‘ගණාභියුත්තාන්‘ (මහජන නැගිටීම) වෙන්කර අපට එහි අරුත වඩාත් හොඳින් වටහා ගත හැක. වචනය කොටස් තුනකින් සමන්විත වේ. එනම් ගණ, අභි, උත්තාන් ය. ‘ගණ‘ යන්නෙහි තේරුම ජනතාව, ‘අභි‘ යන්නෙන් පැහැදිලි බව අදහස් වන අතර, ‘උත්තාන්’ යනු නැගීසිටීමයි.

මෙහිදී, ‘නැගිටීම‘ යන්නෙන් අදහස් කරන්නේ භෞතික වශයෙන් නැගීසිටීමක් නොව, නිශ්චිත ඉල්ලු‍මක් පිළිබඳ අවබෝධයක් සහිත දේශපාලන පිබිදීමකි. එහෙයින් මෙම නැගිටීම් සඳහා පසුබිම් හේතු, භූ දේශපාලනික බලපෑම්, ආර්ථික තත්ත්වයන් සහ ප්‍රතිපත්තිවල බලපෑම, ශිෂ්‍ය ව්‍යාපාරවල කාර්යභාරය, ප්‍රචණ්ඩත්වය හා ක්‍රමවේද සහ මෙම ව්‍යාපාරවල අනාගත අපේක්ෂාවන් දිශානතීන් සංසන්දනාත්මකව හඳුනාගැනීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ ජන අරගලය හෙවත් යුක්තිය සඳහා අරගලය 2022 දී ශ්‍රී ලංකාව තුළ දියත් වූවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමිනි. මේ සඳහා බලපෑ ක්ෂණික උත්ප්‍රේරකය වූයේ අධික උද්ධමනය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ කඩා වැටෙන විදේශ විනිමය සංචිතය මගින් ඉස්මතු වූ උග්‍ර ආර්ථික අර්බුදයයි. ඉහවහා ගිය දූෂණය, රාජ්‍ය මුදල් අවභාවිතය සහ කෝවිඩ් 19 වසංගතයට අකාර්යක්ෂම ප්‍රතිචාරය ඇතුළු ආර්ථික හා දේශපාලන වශයෙන් පවතින දිගුකාලීන ගැටලු‍ මහජන අසහනය උග්‍ර කළේය. රාජපක්ෂ පාලනයේ අධික ණය ගැනීම් සහ රසායනික පොහොර හදිසි තහනම වැනි අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති අර්බුදයට හේතු විය. ණය ආපසු ගෙවීම කළමනාකරණය කිරීමට සහ මූලික සේවාවන් පවත්වා ගැනීමට නොහැකි වීම පුලු‍ල් විරෝධතාවලට ප්‍රධානතම හේතූන් ය.

2024 වසරේ බංග්ලාදේශයේ, කෝටා ව්‍යාපාරයෙන් ආරම්භ වූ ‘ගණාභියුත්තාන්‘, අගමැතිනි ෂෙයික් හසීනාගේ රජයට එරෙහිව පුළුල් විරෝධයක් ලෙස ප්‍රකාශ විය. මුලදී රාජ්‍ය අංශයේ රැකියා සඳහා සාධාරණ කෝටා පද්ධති සඳහා වූ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ මෙම ව්‍යාපාරය හසීනාගේ පාලනයට එරෙහිව පුළුල් අභියෝගයක් දක්වා ක්‍රමයෙන් වර්ධනය විය. මෙම ව්‍යාප්තිය සඳහා උත්ප්‍රේරකය වූයේ ආණ්ඩුවේ දූෂණ, අධිකාරීවාදය සහ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ පුළුල්ව පැතිරුනු ජන විරෝධයයි. විසම්මුතිය, මැතිවරණ වංචා සහ අධිකරණ ක්‍රියාදාමයන් හැසිරවීම සම්බන්ධයෙන් පාලන තන්ත්‍රයේ මර්දනය මෙන්ම විශේෂයෙන් එම විරෝධතාවන්ට මුල පිරූ සිසුන් හා තරුණයන් 500කට ආසන්න ප්‍රමාණයක් එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් විරෝධතා තවදුරටත් උද්දීපනය කළේය. මීට අමතරව, ඉහළ යන අසමානතාවය සහ විරැකියාව ඇතුළු ආර්ථික දුක්ගැනවිලි මහජනතාවගේ කලකිරීම වඩා තීව්‍ර කළේය.

පවුල්වාදය නැතහොත් ඥාති සංග්‍රහය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය යන දෙරටේම මහජන අතෘප්තිය සහ ඉන්පසුව ඇති වූ නැගිටීම් අවුළුවාලීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති අතර, මුල්බැසගත් දේශපාලන රාජවංශයන් කෙරෙහි ඇති අතෘප්තිකරභාවයේ පුළුල් ප්‍රවණතාවයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලය සංකේන්ද්‍රණය වීමත්, රජයේ ප්‍රධාන තනතුරුවලට ඥාතීන් රැසක් පත්කිරීමත් මගින් නිරූපණය වූ රාජපක්ෂ පවුලේ ආධිපත්‍යය 2022 අරගල කැරැල්ලට සැලකිය යුතු ලෙස දායක විය. මහජනතාව රාජපක්ෂවරුන් සැලකුවේ දූෂණයේ සහ වැරදි කළමනාකරණයේ සංකේතයක් ලෙස වන අතර, ආර්ථික අර්බුදය සහ උද්ධමනය නිසා උග්‍ර වූ අතර, ඔවුන්ට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් පුළුල් විරෝධතා ඇති විය.

එසේම බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනාගේ ධුර කාලය දීර්ඝ කිරීම සහ ඇගේ පවුලේ දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රමුඛත්ව ගැනීම අමනාපයට හේතු වී තිබේ. හසීනා පරිපාලනයේ ඥාති සංග්‍රහ භාවිතයන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට වළ කැපීමක් සහ ප්‍රභූත්වය පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීමක් ලෙස සැලකේ. මෙම අතෘප්තිය, ආර්ථික විෂමතා සහ අධිකාරීවාදී ප්‍රවනතාවන් පිලිබඳ දුක්ගැනවිලි වලින් සංකලනය වී, ගණාභිඋත්තන් ව්‍යාපාරය අවුලු‍වා ඇත. ඥාති සංග්‍රහය, ආර්ථික දුෂ්කරතා සහ පාලනයේ අසාර්ථකත්වයන් සමඟ බද්ධ වූ විට, දේශපාලන චරිත ගෞරවනීය නායකයන්ගේ සිට මහජන කෝපයේ සංකේත බවට වේගයෙන් පරිවර්තනය කළ හැකි ආකාරය, මුල් බැසගත් පාලන තන්ත්‍රවලට එරෙහිව මහජන බලමුලු‍ ගැන්වීම් මෙහෙයවන ආකාරය මෙම නැගිටීම් දෙකෙන්ම පැහැදිලි වේ.වරෙක විරුවන් වූ ජනතාව තෝරාපත්කරගත් මොවුන් මෙම ජන නැගිටීම් සමඟ වඩා ජන අපකීර්තියක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික තත්ත්වය උපායමාර්ගික වශයෙන් වැදගත් වන්නේ එහි ප්‍රධාන ජාත්‍යන්තර නැව් මාර්ගවලට සමීප වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ අර්බුදය ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර, ඉන්දියාව සහ චීනය වැනි ප්‍රධාන බලවතුන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කළහ. අර්බුදය මධ්‍යයේ මූල්‍ය ආධාර සහ මානුෂීය ආධාර ලබා දීම නිසා ඉන්දියාවේ මැදිහත්වීම විශේෂයෙන් කැපී පෙනිණි.

අනෙක් අතට, චීනයේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය අර්බුදයට දායක වී ඇති අතර, සැලකිය යුතු ණය සහ ආයෝජන ශ්‍රී ලංකාවේ අස්ථිර මූල්‍ය තත්ත්වයට මග පාදන ලදි. මෙම නැගිටීම, භූ දේශපාලනික උපායමාර්ගවල ප්‍රතිවිපාක සහ කලාපීය අර්බුදවලදී ජාත්‍යන්තර සබඳතාවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය ඉස්මතු කළේය. බංගලාදේශයේ භූ දේශපාලනික තත්ත්වය ඉන්දියාව සහ මියන්මාරය සමඟ දේශසීමා බෙදා ගනිමින් දකුණු ආසියාවේ එහි මූලෝපායික පිහිටීම වඩාත් බලපෑම් සහගත ය. විශේෂයෙන්ම අසල්වැසියෙකු සහ වෙළඳ හවුල්කරුවෙකු ලෙස ඉන්දියාවේ භූමිකාව සම්බන්ධයෙන් සැලකිය යුතු කලාපීය බලපෑමක් සිදුකරයි. මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කරමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් ඉන්දීය රජයේ ප්‍රතිචාරය උදාසීන සහගත විය. බටහිර ජාතීන් සහ ගෝලීය මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, හසීනා පරිපාලනය පිළිබඳ ගෝලීය සංජානනයට බලපෑම් කළ බංග්ලාදේශයේ විරෝධතා සහ දේශපාලන මර්දනයන් මර්දනය කිරීම පිළිබඳව කනස්සල්ල පළකිරීම හැර කිසිදු බලපෑම් සහගත මැදිහත්වීමක් සිදු කළේ නැත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා අහස උසට නැඟු‍ණු මිල ගණන්, විරැකියාව සහ ජීවන තත්වයන් පහත වැටීම වැනි ආර්ථික අර්බුදයේ බර දරා සිටියේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියයි. ජාතයන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කප්පාදු පියවර කම්කරු පන්තිය තවදුරටත් පීඩාවට පත් කළ අතර එය පුළුල් ව පැතිරුනු විරෝධතා වලට සහ පද්ධතිමය වෙනසක් සඳහා වූ ඉල්ලීමකට යොමුකරවන්නකි. ආර්ථික අර්බුදය රජයේ ප්‍රතිපත්ති සහ සාමාන්‍ය පුරවැසියන්ගේ අවශ්‍යතා අතර ඇති විසන්ධිය ඉස්මතු කරමින් අරගලයට රුකුල් සපයීය.
බංගලිදේශයේ ද, ජීවන වියදම් ඉහළ යෑම, එකතැන පල්වෙන වැටුප් සහ රැකියා අනාරක්ෂිත භාවය හේතුවෙන් කම්කරු පන්තිය වැඩිවන ආර්ථික පීඩනයන්ට මුහුන දුන්නේය. නව ලිබරල් ප්‍රතිපත්ති, වැඩකරන ජනගහනයට වඩා ව්‍යාපාරික අවශ්‍යතා සහ විශාල සමාගම්වලට අනුග්‍රහය දැක්වූ අතර, එය වැඩි ආර්ථික අසමානතාවයකට මග පාදයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මගින් කොන් වී ඇතැයි හැඟෙන කම්කරුවන් සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් අතර වැඩෙන කලකිරීම ද ‘ගණාභියුත්තාන්‘ පිළිබිඹු කළේය.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර අරගලය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය, මහජන විරෝධතා සංවිධානය කිරීම සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් මෙහෙයවීය. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලැබුවේ ආණ්ඩුව ආර්ථික අර්බුදය හා පුළුල් දේශපාලන ප්‍රශ්ණ් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිලිබඳ පුළුල්ව පැතිරුනු අතෘප්තිය මගිනි. ශිෂ්‍ය නායකයින් ව්‍යාපාරයේ ප්‍රමුඛ පුද්ගලයින් ලෙස නැගී සිටි අතර, සහයෝගය සහ විරෝධතා සම්බන්ධීකරණය කළේය.

බංගලිදේශයේ ශිෂ්‍ය ව්‍යාපාර ද ‘ගණාභියුත්තාන්‘ හි කේන්ද්‍රීය විය. රාජ්‍ය අංශයේ රැකියා සඳහා සාධාරණ කෝටාවක් සඳහා වන මූලික ඉල්ලීම් ශිෂ්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද අතර,එරට රජය දැඩි බලය යෙදීම නිසා සිසුන් විශාල පිරිසක් මරණයට පත්වීම පසුව රජය පිළිබඳ පුළුල් විවේචන ඇතුළත් කිරීම තුළින් විරෝධතා තවත් පුළුල් විය. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමාජයේ විවිධ කොටස් හරහා පෙළපාලි සංවිධානය කිරීමට සහ සහයෝගය බලමුලු‍ ගැන්වීමට මූලික විය.

අරගලයට පැහැදිලි පන්ති මානයක් තිබුණි, කම්කරු පන්තිය සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම් විරෝධතාවල ඉදිරියෙන්ම සිටියහ. ආර්ථික දුෂ්කරතා මෙම කණ්ඩායම්වලට අසමාන ලෙස බලපෑ අතර, ක්ෂණික මූලික අවශ්‍යතාවල හිඟ බව දැඩි පෝලිම් ආදිය නිස ඉහළ හා පහළ මධ්‍යම පන්තිය වැඩි වශයෙන් ගෝල්ෆෙස් අරගලයට සහභාගී විය. මෙම ව්‍යාපාරය රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති මගින් උග්‍ර කරන ලද පන්ති පදනම් වූ අසමානතා ඉස්මතු කළේය.

බංගලිදේශයේ ද, කම්කරු පන්තියේ සහ ආන්තික ප්‍රජාවන්ගේ පුළුල් සහභාගීත්වය තුළ ‘ගණාභියුත්තාන්‘හි පන්ති පදනම් වූ ස්වභාවය පැහැදිලි විය. සාධාරණ සංවර්ධනයට වඩා ආර්ථික වර්ධනයට ප්‍රමුඛත්වය දුන් නව ලිබරල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් ආර්ථික දුක්ගැනවිලි සහ කලකිරීම් විරෝධතාවලින් පිළිබිඹු විය. මෙම ව්‍යාපාරය හසීනාගේ පරිපාලනය යටතේ ධනවතුන් සහ කම්කරු පන්තිය අතර පුළුල් වන පරතරය හෙලිදරව් කරන්නක්ය.

ශ්‍රී ලංකාවේ අරගලය විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇතුළු ප්‍රචණ්ඩකාරී අවස්ථා වලින් සලකුණු වුවද එය සාපේක්ෂව අවම විය. පොලිසිය විසින් බලය යෙදවීම හේතුවෙන් පොලිස් වෙඩි තැබීම් සහ අධික ලෙස බලය යෙදවීම පිළිබඳ වාර්තා සමඟින් 11 දෙනෙකුට පමණ මරු කැඳවමින් තුවාල සිදුවිය. විරෝධතාකරුවන් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම සංකේතවත් කරමින් ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන පොදු ස්ථාන අල්ලා ගත්හ.

බංග්ලාදේශයේ, ‘ගණාභියුත්තාන්‘ හී ප්‍රචණ්ඩත්වය සුලබ වූ අතර, පොලිස් කෲරත්වය සහ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම වාර්තා විය. විරෝධතාවලට පාලන තන්ත්‍රයේ ප්‍රතිචාරයට ප්‍රචණ්ඩකාරී මර්දනයන් ඇතුළත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 500 ඉක්මවූ ජීවිත හානි හා තුවාල සිදුවිය.එමෙන්ම කෝටා ව්‍යාපරයේ සිටම රජයට පක්ෂපාතී පිරිස් හා විරෝධී පිරිස් අතර ගැටුම් ඇතිවීම මෙන්ම විශාල වශයෙන් දේපල හානි ගිනි තැබීම් හා විනාශ කිරීම් සිදු විය. විරෝධතාකරුවන් තම ඉල්ලීම් ප්‍රකාශ කිරීමේ සහ පරිපාලනයට අභියෝග කිරීමේ මාධ්‍යයක් ලෙස පොදු ස්ථාන සහ රජයේ ගොඩනැගිලි අල්ලා ගත් අතර ඒවායේ දෑ උමතු ලෙස පරිහරණය හා රැගෙන යාම දෙරටේ ම සුලබ විය.

  • සකුණ එම්. ගමගේ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...