‘හදිසියෙම හෝ හෙමි හෙමින්’ – තුෂාරිකා ඇන්තනී

Share post:

‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට ‘- 2018, ‘සිඹිමි කළුවර ප්‍රේමයෙන් ‘ – 2020 කාව්‍ය කෘති පාඨකයාට තිළිණ කළ තුෂාරිකා ඇන්තනී ගේ නවතම කාව්‍ය කෘතිය ‘ හදිසියෙම හෝ හෙමි හෙමින් ‘ නමින් නිකුත් ව ඇත. කාව්‍ය නිර්මාණ 54 ඇතුළත් හදිසියේ හෝ හෙමි හෙමින්, මානව සබඳතා හි අස්ථිර හා ව්‍යාජ බව කෙරෙහි ආසක්ත කවි බොහොමයකින් සමන්විත වේ. කෘතියේ 12වන කව ‘හදවතින් පවතින්න’ යනු එසේ නොවන්නැයි කරන ආරාධනාවක් වැනිය.

” ඔබ පලවැල නෙළන්නට ගිය මොහොතක
තාපස රුවක් පෙනී යද්දීත්
දරුණු සුළඟක⁣ට නතුව හෝ නැතිව
සොර ඇඟෑලුමකට
සැදී පැහැදිණි නම්

මග බලා සිටිනා
හිස් කුස් තුනක් හතරක් හෝ
ඊට වැඩියක්
පීඩිතව ඇති බව දැන දැනම
සොරකුගේ නොපසන් වදන්
මිහිරි මීපැණි විලස ඔබ සවනත
ගිජුව හළා ගති නම්

අවසන ඔබ වදන් බණුව තුළ
කිසියම්ම වූ
සුපසන් වදනක් දෙකක්
මංඩියක් විලස හෝ
ඉතිරි නැතිවම
දිනක හිස්ව
පාළුවට ගොස් නම්

පසෙක ලා
හිස් කුස් පුරවන පිළිණ සමඟින්
පලවැල නෙළනු වැනි
බරපතළ කාරණාවන්
සොරු අතර හෝ විරුවෙකුව
හෙටත් අමරණීයම වනු පිණිස
එතැනදීවත්, හදවතින් පවතින්න.”

මෙකව එක් අතකින් පලවැල නෙළන්නට ගිය මන්ද්‍රි දේවිය වැනි අප අසා ඇති කතන්දරවල සේයාවක් මතකයට රැගෙන එයි. එසේම සුධිමතුන් හැර සොරුන් ගේ පාශයෙහි බැඳුණු බැමිණියන් ගැන කතන්දරත් සිහියට නගයි. මේ මැතිවරණ සමයේ ඒත මේ අත පනින දේශපාලකයන් ගේ කතාවල අපුලත් සිහියට නඟයි.කයි කතන්දරවලට හැමදා රැවටෙන මිනිසුන් පිළිබඳත් ඉඟියක් දැනෙයි. වැදගත්ම දෙය හොරු අතර හෝ විරුවෙක්ව පවතිණු පිණිස එතැනදී වත් හදවතින් පවතින්න යන ඇරයුම අතිශය ප්‍රබලය. එ කවෙහි අවසාන ඉල්ලීම විසින් එක් දේශපාලකයකු ගේ මුහුණක් මැවුණු නමුත් නම කියන්නට ඉක්මන් නොවන්නේ, කවියක් ගැන අදහස් දැක්වීමකදී ඒ තරම් සුදුසු නැති බැවිනි.

තුෂාරිකා වඩාත් හොඳ පල නෙළන්නේ ඇගේ සංක්ෂිප්ත කවිවල දීය. මේ ඊට නිදසුනකි;

” ඇති තරම් පුච්චලා
යනවද ඉතින්
ආඩම්බරෙන් ඉර
ඒත් හෙට උදේටත් එනවද
මග බලන
මල් ගැන දන්න ඔබ.”

එ කවෙහි ව්‍යංගාර්ථය අමුතුවෙන් පැහැදිලි කළ ⁣යුතු නොවන නමුත් ගැඹුරුය. විවිධාකාරයට අරුත්ගැන්විය හැකිය.

” බුලත් සමඟම
පුවක් කැබැල්ලක්
කොට කොට
මම එය අහන බව
ඔබ සිතුවාට

තවමත්
කොට කලිසමකින් සැරසුණ
සිලිටි හදැති යුවතියක්
අප දවසක අහපු විදිහටම
ඒ සිංදුව⁣ට සම වදියි

විඩාපත් නැති තරුණියකි
අළු පැහැති කෙස්
කුහූඹුවෙක් තරම් ගෙන
සැඩ පහරකට මුහු කරයි “
( 15වැනි කවිය)

‘ ඒ සිංදුවට සම වදියි ‘ වැනි යෙදුම් හේතුවෙන් අතිශය පෞද්ගලික අද්දැකීමක් වැන්නක් තිබුණා වුව,

” විඩාපත් නැති තරුණියකි
අළු පැහැති කෙස්
කුහුඹුවෙක් තරම් ගෙන
සැඩ පහරකට මුහු කරයි “

යනුයෙන් කීමෙන් හයිකු කවියක මෙන් කල්පනා බර අතරමං වීමකට රසිකයා ඇද දමනු ලබයි.

” බෑගය අරියි
මෙන්ටොස් කුප්පියක් ගනියි
බසය යන අතර
එක දෙකක් හලාගෙන අතට
කටට විසිකර ගනියි

තාත්තා සිහි වෙයි

යළි බෑගය වසයි
මොහොතකින්
හරියට වැසී ඇද්දැයි
සිපරය අල්ලා බලයි
නැවත හරිබරි ගැහෙයි
ජනේලය තරමක් අරියි

⁣ඩේලි නිව්ස් මුල් පිටුව
අකුරු පේළි ටිකක් කියවයි
එහාට මෙහාට කර සීරුවට නමා
යළි බෑගයට දමයි
ජනේලෙන් අත දමා
පාරෙ යන මිනිසෙක්ට නම කියයි
ඔහුට ඇසුණෙ නැති බව පෙනී
කනස්සලු විදිහට බලයි

යළි පෙබල්ස් කුප්පියක්
බෑගයෙන් පිටට ගෙන
කටට දෙකතුනක් හලාගනියි
හයියෙන් හුස්මක් ගනියි

බසයේ ඉන්න අය දිහා
විමසිල්ලෙන් බලයි
දෑඟිලි තාලයකට බෑගය මත
සෙමින් තට්ටු කරයි
තාත්තා සිහිවෙයි.
( තාත්තා සිහිවෙයි 26 කවිය )

මෙ කව වචනයෙන් සිත්තම් කළ රූප රචනාවක් වැන්නකි. ⁣පුවත් පතේ නම ඩේලි නිවුස් බව කීමෙන් සහ මග යන්නන්ට නම කීම ආදියෙන් අදාළ තැනැත්තා ගේ වයස පිළිබඳ හැඟවුමක් ලැබේ. ‘පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී’ කියමින් ඇයි අම්මලා විතරද ? අපි පාන්ද? වැනි ඕලාරික වදන් බහුල පිය වැනුම් ඇසෙන කාලයක, තාත්තා සිහිවෙයි කියනු හැර තාත්තා ගැන අල්පමාත්‍ර සඳහනක් හෝ නොකර පියගුණ වැනුමක් කරන්නට කවියේ ආකෘතියෙන් සමත් වී තිබේ. කෘතියෙහි එන වඩාත් සිත්ගත් කවි නිර්මාණ ද්වය වන්නේද එ කව සහ ” ඇහෙනවද පොලිසියෙ මහත්මිය” – 38 කවියයි.
අගෝස්තු 8 දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ‘හදිසියෙම හෝ හෙමි හෙමින්’ පිළිබඳ සංවාදයක් සූදානම් වී තිබේ. හදිසියේ හෝ හෙමි හෙමින් හෝ ඔබත් ඒ තකාබහට සහභාගි වන්නේ නම් මැනවි.

අනුර කේ එදිරිසූරිය

2024/08/05

Related articles

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...