චින්තකගේ නව කාව්‍ය කෘතියෙහි නමට යොදා ඇති ඉහත යෙදුම මෙන්ම ඒ නමින් වන කවියද කියවූ මොහොතේ මගේ සිත දිවගියේ අතීතයේ එක් දවසකටය. ඒ අපට සිටි ප්‍රවීණම පරිවර්තකයෙකු වන කේ ජී කරුණාතිලකගේ නව පරිවර්තනයක් එළි දකින දවසයි. මම සැමදාම ඔහුගේ කෘති මිලට ගන්නට ගිය අයෙක්මි. ඉදින් එදිනද පුරුදු ලෙසම එහි ගියෙමි. ඒ යන සෑම වාරයකම මම ඔහුගෙන් එක් ඉල්ලීමක්ද කළෙමි. ඒ හෙමිංවේගේ ෆෙයා වෙල් ටු ආම්ස් කෘතිය සිංහලට පරිවර්තනය කරන ලෙසටය. එසේම ඔහු ඒ වන විට අරඹා තිබූ තවත් වයාපෘතියක් දිගටම පවත්වාගෙන යන ලෙසටය. ඒ විශ්ව ලේඛකයන්ගේ කෙටිකතා එකතු දිගටම පල කරන ලෙසටය. තරමක විස්සෝපයකින් ඔහු මට දුන්නේ මේ පිළිතුරයි.
මම නං කැමතියි පුතා. ඒත් පබ්ලිෂර් මට ගියන්නෙ ටාසන් පොත් දිගටම කරන්න කියලනෙ.
එසේ අපේ දක්ෂ පරිවර්තකයෙකු ටාසන් සමග වනයේ අතරමං වී යන අයුු මම බලා සිටියෙමි. චින්තක තම කවියට විෂය කරගනුයේ මතුපියටින් බලන විට සරළ, එමෙන්ම හුදු පුද්ගලික තේරීමක් පිළිබඳ කාරණයක් සේ පෙනෙන එහෙත් වැදගත් සාහිත කතිකාවකට බඳුන් විය යුතු කරුණකි.
හඬදී දුරකථනයත්
අනේ ටාසන් කියා පවසත්
කවුදෝ කොතැන මැක්බත්
ගැන අසාවිද සොයයි හදවත්
මේ ඉල්ලුමට සැපයුම ගැන සිතන්නට ගොස් අපේ ලෝකයෙන් වටනා සාමහිත උරුමයන් පිටුවහල් කෙරෙන තැනට වැඩ සැලසුණු සැටි ය.
සුරලිය මුදල්මය
තිරකොට කීය
ඇය එගොර රැය
ඇයට අවනත විය
ඔහු අතින් ඝාතනය සිදුවිය
රෑ දොළහ කණිසම
වදියි හදගැබ හිරිවැටී යත
ඝාතන සමය ඇරඹිය
වෙළුම් ටාසන් රැසක් බිහිවිය
චින්තකගේ නව කවි එකතුවෙහි නිර්මාණ හතලිස් පහකි. ඔහු සිය කවි අරඹන්නට පූර්විකාව සපයනුයේ එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් සමගිනි. ඒ ජීවිතයේ නෙක බර බද්දල්, අර්බුද, කාල තරණ, ආදී විවිධ හේතු මැද තමන් කවියෙන් වියෝවීම ගැනය. එය එක්තරා ආකාරයක සමාජ විවේචනයක්ද වෙන සේ ය. එහෙත් නිර්මාණකරුවෙකු හට එසේ සිය නිර්මාණ ජීවිතයෙන් වියෝවී සිටිය හැකිද? චින්තක තමන්ගෙන්ම ඒ පැණය නගයි.
ගැලූ කවි ගඟුල් නතරව
කවි අමාවකට ඉඟිලන
ඇඳිරි යුගය එළඹී ඇත
තුරුණු වියක නටබුන් මැද
කවිය යනු සැහැල්ලුවෙන් ගත හැක්කක් නොව බර වැඩකි. එහෙත් කවියට පිවිසෙන බොහෝ අය තරුණු වියෙහිදීම කවිය හැර යති. මේ සමාජය කලාවෙහි සාහිත්‍යෙයහි දිගටම නියැලීම පිණිස උත්තේජක සපයන්නේ නැති. ඒ අප පොළඹවන්නේ භෞතික සම්පත් ගොඩගැසීම වෙතය. මුළු ජීවිතයම අද අනවරත හඹා යාමකි. එවන් හඹා යාමකදී කවිය නිතැතින්ම අපෙන් හැලී යයි. එහෙත් චින්තක කියනුයේ තමන් යළි එ මග වෙත පැමිනෙන බවකි.
අරගලයෙන් අරගලයට
ඒ දෙසුමෙන් මේ දෙසුමට
කාලය ගතවී ගොස් ඇත
අනන්ත සෝකය සමගින්
කවි කියවන කවි අදහන
කවි අයදින නව පරපුර
සොයා ඉතින් යළි පියඹමි
ලියූ මෙබඳු කවි සමගින
එහෙත් ඔහුගේ කවි සිතට වැඩියෙන් හමුවනුයේ මැක්බත් යෙනුවට ටාසන් සොයන්නන් නම්?
මෙවර චින්තක ගේ කවි අතර දක්නට ලැබෙන එක් වෙනසක් වනුයේ ඔහුගේ කවි ගණනාවක්ම යම් යම් පුද්ගල චරිත කේන්ද්‍රෙකාට රචනා කරන්නට පෙළඹී තිබීමය. එහෙත් ඒ හුදු පුද්ගල වන්දනාවක් ලෙස බැහැර කළ නොහැක්කකි. ඔහු තම නිර්මාණයන්ට විෂය කරගනුයේ ලාංකීය සමාජයට බරපතල මැදිහත්වීම් කල පුද්ගලයන් පිරිසකි. එහෙයින් එක් අතකින් එය මතක සංරක්ෂණ කටයුත්තක් ලෙසද සැලකිය හැකිය.
මේ ඔහු මහාචාර්ය විනී විතාරණ ගේ මළගමදා ලියන කවියයි.
හෙළ හෙළ කීවාට හෙළ හවුලෙහිත් නොවේ
සරසවි කීවාට සරසවියෙහිත් නොවේ
වියරණ වැටෙන් දියුණුව ඇහිරුවෙත් නොවේ
මැතිඳුනි! විනී ඔබ කළ දෑ යළිත් නොවේ
චින්තකගේ කවිය විනී විතාරණ නම් විශිෂ්ටයා ගැන කෙරෙන ඇගයුමක් වන අතරම ඔහු සහ ලංකාවේ භාෂා ව්‍යාපාරය ගැනද වන සාකච්ඡාවකට පිවිසුමකි.
චින්තකගේ කවි පාඨකයන් ඇතැම් විට අතර සංවාදයක් අවුලා ගන්නට තැත් දරන බවක් පල කරයි. සරසවි ඇදුරෙකු ලෙස තම අත්දැකීම්ද පාදක කරගනිමින් ඔහු වාණිජකරණයේ රූපලාවණ්‍යාගාරය බවට පත් සමාජය තුළ දායක සභාවන් බවට පත් වෙමින් යන කවි කුලක වෙනුවට විවෘත එළඹුමක් කවියනට යෝජනා කරයි. ඔහු නව කවියනට යෝජනා කරන්නේ විලාසිතාමය මගින් බැහැරව කවියෙහි ගැඹුරු කැනීමක් සඳහා සූදානම් විය යුතු බවකි.
කවි කියලා කවි ගයලා අඬපල්ලා
කවි එනතුරු හදවත් රත් කරපල්ලා
කවි ඉල්ලා හදවතෙ ඉරි ඇඳපල්ලා
කවි දෙයියෝ උඹලාමයි දැන ගල්ලා
කවිය පළමුව හදවතටද දෙවනුව බුද්ධියටද ආමන්ත්‍රණය කරන්නේ යයි දයාසේන ගුණසිංහ කවියා වරෙක ලිවීය. ඔහු පවසනුයේ කවිය යනු හෘදයග්‍රාහී සහ බුද්ධි ගෝචර මැදිහත්වීමක් බවයි. එහෙත් අප කෙතරම් මේ ගැන බැරෑරුම්ව සලකා බලන්නේද?
චින්තකගේ කවි හරහා මතුවන කවියෙක් සිටී. ඒ අද සමාජයේ දක්නට නැති එහෙත් දශක හතරකට පමණ පෙර බෙහෙවින් ජනප්‍රියව සිටි චරිතයකි. ඔහු පොදුවේ හඳුන්වන ලද්දේ කවිකොල කාරයා යනුවෙනි. ඔහු මාධ්‍ය අද මෙන් බහුල නැති සමාජයක වැදගත් සන්නිවේදන කාර්යයක් ඉටු කළේය. සමාජය දැනුවත් කිරීමේලා ඔහුගෙන් වූ මෙහෙය පුවත්පත් මෙන් ඇගයුමට ලක්වූවේද නැත. චින්තකගේ ඇතැම් කවි තුළ දක්නට ලැබෙන මේ කවි කොල තුළ පැවති සන්නිවේදන ගුණය විමසිල්ලට ලක්විය යුත්තකි. ඔහුගේ පුරවැසියා මිය ගියේය යන කව් පෙල ඒ සඳහා වන එක් උදාහරණයකි. පුරවැසියා ගැන අත තරම් අන් කවරදාවත් කතා නොකළ තරම්ය. එහෙත් පුරවැසියා ගැන කතා බහ කෙරන වර්තමානය යනු සැබෑ පුරවැසියාගේ මලගම බව අපට අමතකව ගොසිනි. අද අපට පුරවැස්සන් වෙනුවට ඉන්නේ පුරවස්සන්ය. ජීවිතය යනු කෑම බීම රමණය සහ දේපල රැස්කිරීම බවට ඌණනය වුන සමාජයක කවියාහට ඇති වගකීම චින්තක මේ කවිය හරහා මතු කරයි.
චින්තකගේ කවි එකතුව පුරාම හමුවන්යේ පවත්නා සමාජය කෙරෙහි වන දැඩි අතෘප්තියෙන් අප්‍රසාදයෙන් පසුවන නිර්මාණකරුවකුගේ කොව මුසු විවේචනයයි. අධ්‍යාපනය, සමාජ ජීවිතය, කැපවීම, සහකම්පනය යනාදී කිසිදු අංශයක් වැදගත් කොට නොසලකන සමාජයක්, පාලක අහිනක් මෙන්ම පද්ධතීන්ද බහුල වර්තමානයක ඔහුගේ කවිය මැදිහත් වනුයේ හරවත් වෙනසක් වෙනුවෙන් සංවාදයකටය.
මේ චින්තක අපේ පරසිදු කාව්‍ය නිර්මාණයක් මත නූතන ලංකාවේ සිත්තම අඳින ආකාරයයි.
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
අද නම් ලොව තිබෙන හැම රටකට යටය
කම්හල නිවස හැම තැනකම හුටපටය
මේ දුක දැනෙන්නේ නම් කවියකු හටය