සාධාරණීකරණය කළ නොහැකි පරාජයන් කිහිපයකට පසුව පවා පිරී ඉතිරී ගිය ක්‍රීඩාගාර – ජයග්‍රහණයේ පසුවදන

Share post:

සාධාරණීකරණය කළ නොහැකි පරාජයන් කිහිපයකට පසුව පවා ප්‍රේමදාස ක්‍රීඩාගාර ශ්‍රී ලංකා රසිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.
ඒ සඳහා දෙවන එක්දින තරගය ඉරිදා දිනයක පැවැත්වීමත්, පළමු තරගය ලකුණු සම තත්ත්වයෙන් අවසන් වී රසිකයන්ට බලාපොරොත්තුවක් ඇති වීමත් හේතු වන්නට ඇත.
තරගයේ යම් තැනක කුඩා පිරිමි දරුවෙකුට කැමරාව එල්ල විය.
ඉන් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැක ගත් විශිෂ්ට උඩ පන්දුවක් එම කුඩා දරුවා අනුකරණය කිරීම පුළුල් තිරයේ දිස්විය.
මෙරට පරපුරක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දෙස බලා සිටින්නේ එලෙසයි.
ඔවුන් හුදෙක් ක්‍රීඩා කණ්ඩායමක් පමණක් නොවේ. ශ්‍රී ලංකාවට ඔවුන් තානාපතිවරුන් පිරිසකි.
ඔවුන් දෙස රටක් බලා සිටියි. පරපුරක් ඔවුන් වීරයන් සේ අදහයි, ඔවුන් අනුකරණය කරයි.
ජය පරාජයට එහා ගිය බලපෑමක් ඔවුන්ගෙන් සමාජයට සිදුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විවිධ අංශයන්ගෙන් අමතර වගකීම් පැවරී තිබෙන බවට අප කියන්නේ එබැවිනි.
පිටියේ දක්ෂ සහ විනයගරුක ක්‍රීඩකයෙකු වීම මෙන්ම ඉන් පිටතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය රැකිය හැකි මහත්මයකු වීම ඔවුන්ගෙන් සමාජය අපේක්ෂා කරයි.
අවසානයේ ක්‍රීඩාගාර පිරී සිටි රසික ජනකාය ඉදිරියේත්, අන්තර්ජාලය සහ රූපවාහිනි තිර ඔස්සේ සජීවීව තරගය නැරඹූ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් ඉදිරියේත් ලොව හොඳම කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
තරගාවලිය ආරම්භයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති කුසලතාවයේ සහ ආත්ම විශ්වාසයේ වෙනස අනුව මෙය විසල් ජයග්‍රහණයකි.
තරග දෙකක් අවසානයේ ශ්‍රී ලංකාව 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටිතැයි කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවන්නට ඇත.
මේ අනුව ඉතිරි තරගය ඉන්දියාව ජය ගත්තත් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි.
යම් හෙයකින් ඉතිරි තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවහොත් 1997 වසරෙන් පසුව මුල්ම වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කරයි.
එය සුවිශේෂී ජයග්‍රහණයකි.
T20 තරගාවලියේ අතිශය දියාරු ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ බොහෝ වෙනස්කම් සහිතව ක්‍රීඩා කරනු දකින්නට ලැබේ.
ඔවුන්ගේ පන්දු රැකීම අතිශය දියුණු වී තිබේ.
කණ්ඩායම් හැඟීම සහ, ශාරීරික භාෂාව බොහෝ ධනාත්මකය.
මේ සියල්ල සෘජු කුසලතා වලට වඩා ආත්ම විශ්වාසය සමග පැමිණෙන ඒවායි.
ඉන්දියාව වැනි කණ්ඩායමක් සමග තරගයක් ජය අපරාජයෙන් තොරව අවසන් වූ සැණින් කණ්ඩායම තුල ඇතිවන පිබිදීම සහ ආත්ම විශ්වාසය ඒ වෙනසට හේතුවයි.
නායක චරිත් අසලංක සිය කණ්ඩායම මෙහෙයවන අයුරු සුවිශේෂීය.
ඔහු සිය පන්දු යවන්නන් භාවිතා කරන අයුරුත්, ඔවුන්ගෙන් උපරිමය ලබා ගන්නා කලාවත් හොඳින් දනියි.
ඔහුගේ පන්දු පිටිය සැකසීම ආක්‍රමණශීලීය.
නිමා වූ තරග දෙක තුලම ලකුණු 230 ක් ආරක්ෂා කිරීමට හැකි වීමට ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ එම පිටිය සැකසීමයි.
ඔහු තනි ලකුණ කපා දමා වේගවත් පහරවල් තෝරා ගැනීමට ප්‍රතිවාදීන්ට අභියෝග කරයි.
එය මෙවැනි පිටියක පහසු කර්ත්‍යවයක් නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ආක්‍රමණශීලී සහ ප්‍රතිවාදීන්ට පෙරලා අභියෝගයක් එල්ල කළ හැකි නායකයෙකු පත්ව ඇත්තේ කලකට පසුවයි.
දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් වැනි යොවුන් ක්‍රීඩකයන් පවා සිය අත්දැකීම් සහ වයසට වඩා බොහෝ පරිනත මට්ටමකින් ක්‍රීඩා කරනු දැක ගත හැකිය.
ක්‍රීඩකයන් එලෙස ක්‍රීඩා කරන්නේ ඔවුන්ට ජයග්‍රහණය ඉව වැටුණු විටයි. ඔවුන්ට තමන් කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩනැගුණු විටයි.
මුල් තරගයේ අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ද ලකුණු ලබාගැනීමට අපහසු පිටියක කැපී පෙනෙන ඉනිමක් දියත් කළේය.
අවිශ්ක ගේ විශේෂත්වය නම් ඔහුට පිටියේ ස්ථාවර වීමට පන්දු කිහිපයක් වැය වේ.
ඔහු මුල් පන්දු දහය හෝ විස්ස තුළ කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වුවහොත්, එතැන් සිට වැඩි විශ්වාසයකින්, ඉතා හොඳ කල්මැනීමකින් යුතුව ලකුණු ලබා ගැනීමට සමත් ක්‍රීඩකයෙකි.
ඒ සියලූම ක්‍රීඩකයන් මැද ජයග්‍රහණයට පාදක වූයේ ජෙෆ්‍රි වැන්ඩර්සේ ය. තමන් මත තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කිරීමට ඔහු සමත් විය.
සැබවින්ම ධනාත්මක කණ්ඩායමක් එලෙස විය යුතුය.
කණ්ඩායමේ තීරණාත්මක ක්‍රීඩකයෙකු ඉවත් වූ මොහොතේ ඔහුගේ හිස්තැනට පැමිණෙන ක්‍රීඩකයාට පවා තරගයක් වෙනස් කිරීමට හැකියාව ලැබිය යුතුය.
මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සියලූම හිස් කොටු සලකුණු කිරීමට සමත් වී තිබේ.
ඊළග අභියෝගය වන්නේ පීඩනය එල්ල වූ මොහොතේ පවත්වාගෙන ගිය කැපවීම සහ ධනාත්මක සාධක, ජයග්‍රහණයන් හමුවේ ද නොවෙනස්ව පවත්වාගෙන යාමයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...