හමාස් – හිස්බුල්ලා ඝාතන මැද පෙරදිග ඇවිළුවොත් ලංකාවට මොනවා වෙයිද?

Share post:

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කෙරිණි. ඒ, ඉරානයේ ටෙහෙරාන් නුවර ඔහු නවාතැන් ගෙන සිටි නිවසට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙනි. ඊශ්‍රායලය මීට පෙර පවසා තිබුණේ පසුගිය ඔක්තෝබර් 07දා ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 1,200ක් ඝාතනය කිරීමට අදාළ සියලු හමාස් නායකයන්ට දඬුවම් කරන බවයි. සාමාන්‍යයෙන් ඊශ්‍රායලය තමන්ගේ විදේශීය මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වන්නේ නැත. මෙහිදී ද ඊශ්‍රායල ජෙට් යානා ඉරාන ගුවන් සීමාවෙන් පිටත සිට රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි විශ්වාස කෙරේ. ඉරානයේ නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් පසු මෙසේ හනියේ ඝාතනය කෙරිණි.

මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දිනපතා අලුත් වෙමින් පවතින අතර, එහි අනාගත දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද විචාරකයෝ අදහස් දක්වමින් සිටිති. වඩා වැදගත් වන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීමට ගනු ලබන උත්සාහයන්ට මෙමගින් ඇති වන හානියයි.

ඉස්මයිල් හනියේ ගාසා තීරයේ එදිනෙදා මෙහෙයුම් බාර ව සිටි අයෙකු නොවේ. එහෙත් එයින් පිටතදී, විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ, එක්සත් ජනපදයේ සහ ඊජිප්තුවේ පැවති බොහෝ සාකච්ඡාවලදී හමාස් ප්‍රධානියා වූයේ ඔහු ය. පසුගිය සතියේ රෝමයේ පැවැති සටන් විරාම සාකච්ඡාවේ ද ඔහු සිටියේය. මෙවැනි තත්ත්වයක් යටතේ ඉස්මයින් හනියේ ඝාතනය මේ සටන් විරාම සාකච්ඡාවලට සෘජු බලපෑමක් එල්ල කරන බව පැහැදිලි ය.
තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ තිබූ අන්තර්ගතය මේ වන විට බොහෝදෙනෙකුගේ පොදු අදහස බවට පත්වෙමින් තිබේ.

‘ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට සාමය ළඟාකර ගැනීමේ කිසිදු අදහසක් නැති බව යළිත් වරක් හෙළිදරව් වී තිබේ.’

හනියේගේ ඝාතනයෙන් පසු ලෙබනනයේ බීරූට් නුවර හිස්බුල්ලා අණදෙන නිලධාරියකු ද ඝාතනය කෙරිණි. ඊශ්‍රායලය පැත්තෙන් පවසා තිබුණේ ගෝලාන් කඳූකරයේ ඩෲස් තරුණයන් සහ දරුවන් 12 දෙනෙකු ඝාතනය කරමින් හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙය සිදු කළ බවකි.
ලෙබනනයේ හිස්බුල්ලා, ගාසා තීරයේ සහ පලස්තීන බටහිර ඉවුරේ හමාස් සහ යේමනයේ හූති කරලිකරුවන්ගේ ආරක්ෂිත වාසස්ථානය ඉරානය බව ඇතැම් පාර්ශ්ව කියයි. බීරුට්හිදී හිස්බුල්ලා සංවිධානයට, හෝඩෙයිඩාහිදී හූති කැරලිකරුවන්ට සහ ඉරානයේදී හමාස් දේශපාලන නායකයාට එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලය භයානක පණිවුඩයක් මේ සියල්ලන්ට ලබාදෙන බව විචාරකයෝ කියති. ඒ, ‘ඔබ කොතැනක සිටියත් ඊශ්‍රායලයට ඔබ පසුපස පැමිණිය හැකියි’ යන පණිවුඩයයි.

හමාස් සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයන් කිහිපදෙනෙකි. ඊශ්‍රායලය භයානක තත්ත්වයකට ඇද දැමූ ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ් නම් මෙහෙයුම පිළිබඳව ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් තිබිණි. ඒ, තමන්ගේ පරාජයට පළිගැනීම ය. යුද විශ්ලේෂකයන්ට අනුව මේ මෙහෙයුමේ ප්‍රධානීන් හඳූනාගැනීම ඔවුන්ගේ අරමුණක් වී තිබිණි. ඉන්පසු ඔවුන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.

ගාසා තීරයේ පාලන බලය හිමි සටන්කාමීන් වන හමාස්හි නායකයන් බොහොදෙනෙකු මාධ්‍ය ඉදිරියේ පෙනීසිටින්නේ මුහුණු ආවරණ සහිතව ය. ඔවුන්ට දිගින්-දිගටම ජීවත් වීමට සිදුවී ඇත්තේ ඊශ්‍රායලයේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් ආරක්ෂා වෙමින් ය.

මොහොම්මද් ඩෙයිෆ් යනු හමාස්හි හමුදා අංශය වන ඉස් අල්-දීන් අල්-කසාම් බලකායේ නායකයා ය. හමාස් සටන්කාමීන්ට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ඇතුළුවීමට සකස් කළ උමං මාර්ගය ඉදිකරන සැලසුම ඩෙයිෆ්ගේ බවට වාර්තා සාක්ෂි දරයි. පලස්තීනුවන් ඔහු පිළිබඳ දැන සිටින්නේ මහ මොළකරු ලෙස ය. ඊශ්‍රායල ජාතිකයන් ඔහු ගැන දැන සිටින්නේ මරණයේ මිනිසා ලෙස ය. ගාසාහි ඉස්ලාමීය විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ හදාරා ඇති ඔහු, රංග කලාවට ද දැඩි ඇල්මක් ඇති අයෙකි.

1989 වසරේදී ඔහු ඊශ්‍රායල ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වී, මාස 16ක් රැඳවුම් භාරයේ සිට ඇත. සිරගතව සිටියදී ඔහු ඊශ්‍රායල භටයන් ග්‍රහණයට ගැනීමේ අරමුණින් හමාස් සංවිධානයෙන් වෙන්ව වෙන ම ව්‍යාපාරයක් පිහිටුවීමට ඩෙයිෆ් සකාරියා අල්-ෂෝර්බාගි සහ සාලා ෂෙහාදේ සමග එකඟතාවකට පැමිණියේය. මෙය අල්-කසාම් බලකාය බවට පත් විය. ඩෙයිෆ් හිරෙන් නිදහස් වූ පසු, ඉස් අල්-දීන් අල්-කසාම් බලකාය හමුදාමය මුහුණුවරක් ගත් බලකායක් විය.

ඔහුට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන බරපතළ ම චෝදනාවක් වන්නේ හමාස් සංවිධානයේ බෝම්බ නිෂ්පාදනය කළ යෙහ්යා අය්යාෂ්ගේ ඝාතනයෙන් පසු පළිගැනීමේ මෙහෙයුම් මාලාවක් සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම ය. එනම් 1996 වසර ආරම්භයේ දී ඊශ්‍රායල ජාතිකයන් 50 දෙනෙකු පමණ මියගිය බස් බෝම්බ ප්‍රහාර සහ 1990 මැදභාගයේ දී ඊශ්‍රායල භටයන් තිදෙනෙකු ග්‍රහණයට ගෙන ඝාතනය කිරීමට සම්බන්ධ වීම ය. ඊශ්‍රායලය ඔහු ව යළිත් 2000 වසරේදී ද අත්අඩංගුවට ගත්තේය. කෙසේ වෙතත් ඉන් ඔහු පළාගියේය.

ඩෙයිෆ් යනු අරාබි බසින් ආගන්තුකයා යන තේරුම දෙන වචනයකි. ඊශ්‍රායල් ඝාතන ප්‍රයත්නයන්ගෙන් ගැලවීමට ඔහු සෑම රැයක ම අලුත් ස්ථානයක් තෝරාගැනීම මේ නම ප්‍රකට වීමට විශේෂ හේතුවක් ද වී ඇත.
මෙවැනි තවත් හමාස් නායකයෙකි, මර්වාන් ඊසා. ඊශ්‍රායලය ඔහු ව හඳූන්වන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් තමන් කවුදැයි ඔප්පු කරන්නෙකු ලෙස ය. ඔහු ඩෙයිෆ්ගේ දකුණු අත ලෙස ප්‍රකට ය. ඉස් අල්-දීන් අල්-කසාම් බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ය. වසර පහක් ඔහු ඊශ්‍රායල රැඳවුම් භාරයේ සිට ඇත. තවත් විශේෂත්වයක් වන්නේ ඔහු ජීවතුන් අතර සිටින තාක් කල් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින බුද්ධිමය යුද්ධය අඛණ්ඩව පවතින බවට ඊශ්‍රායලය විසින් ම කරන හැඳින්වීමයි. දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයකු වුවද, දීර්ඝ කාලයක් රැඳවුම් බාරයේ සිටීමෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය නිම විය.

යෙහ්යා සින්වර් යනු තවත් හමාස් බල කණුවකි. 2015 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඔහු ව ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. හමාස් සංවිධානයේ නායකයා මෙන්ම ගාසා තීරයේ එහි දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ද ඔහු ය. ‍මජ්ඩ්‍ ලෙස හඳුන්වන හමාස් ආරක්ෂක සේවයේ නිර්මාතෘවරයා වන අතර, එමගින් ඊශ්‍රායලයේ යැයි සැක කෙරෙන නියෝජිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක සේවා නිලධාරීන් සොයාගැනීම වැනි කටයුතු සිදුකරයි.

1982 සිට තුන්වරක් ඔහු ඊශ්‍රායල අත්අඩංගුවට පත්ව ඇත. 1988 වසරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ද ඔහු යටත් කෙරිණි. 2011 වසරේදී ඔහු නිදහස් කෙරිණි. ඒ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් මගිනි. ඉන්පසු 2017 සිට ඔහු හමාස් නායකයා විය. 2017 පෙබරවාරි 13 සිට සින්වර්, ඝාතනය කෙරුණු ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා විය. ඒ, ඔහු ගාසා තීරයෙන් පිටවීම නිසා ය.

ඊශ්‍රායල ඉතිහාසයේ දීර්ඝතම දඬුවම ලබාදෙන ලද්දේ බාර්ගූටිට ය. හමාසු ප්‍රධානියකු වන ඔහුට ලබාදුන් දඬුවම වූයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 67ක් සහ වසර 5,200ක සිරදඬුවමකි. ඔහු හඳූන්වන්නේ ප්‍රින්ස් ඔෆ් ද ෂැඩෝ ලෙස ය. ඊට හේතුව ඔහු ලියන ලද කෘතියකි. එම කෘතියේ ඇතුළත් වන්නේ ඔහු විසින් ඊශ්‍රායල් හමුදා මුරපොළ හරහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ආකාරයත්, දුරස්ථා බෝම්බ ප්‍රහාර එල්ල කළ ආකාරයත්, සිරකරුවන් සමග එක්ව කළ මෙහෙයුම් පිළිබඳවත් ය.

මේ සියල්ලන් අතර විශේෂ චරිතයකි, ඝාතනයට ලක්වූ ඉස්මයිල් හනියේ. ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා සහ දසවැනි පලස්තීන අධිකාරි ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හැඳීන්විණි. අබු අල්-අබ්ද් යන අන්වර්ථ නාමය ඇති ඉස්මයිල් අබ්දෙල් සලාම් හනියේ උපත ලැබුවේ පලස්තීන සරණාගත කඳවුරක ය.
ඊශ්‍රායලය 1989 වසරේදී ඔහු වසර 03කට සිරගත කරන ලද අතර, ඉන්පසු ඔහු හමාස් නායකයන් රැසක් සමග ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පිහිටා ඇති මුඩුබිමක් වන මාජ් අල්-සුහූර් වෙත පිටුවහල් කෙරිණි. ඔහු 1992 වසර පුරා අවිනිශ්චිත තත්ත්වයන් යටතේ එහි ගතකර ඇත. 1997 වසරේදී ඔහු හමාස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයා ලෙස හැඳීන්වෙන ෂෙයික් අහමඩ් යසින්ගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි.

2006 පෙබරවාරි 16දා හමාස් විසින් ඔහු පලස්තීන අධිකාරි අගමැති ලෙස නම් කරන ලද අතර, එම මාසයේ 20දා එම ධුරය සඳහා ඔහු පත්කෙරිණි. එයින් වසරකට පසු පලස්තීන ජාතික අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් විසින් හනියා ඔහුගේ තනතුරෙන් නෙරපා හැරිණි. හනියේ විසින් තමන් ව නෙරපා හැරීම ව්‍යවස්ථා විරෝධී ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කළ අතර, පලස්තීන ජනතාව කෙරෙහි වන ජාතික වගකීම් අත්නොහරින බව අවධාරණය කළේය. 2017 මැයි 06දා ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් විය.

කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනත් අතකට හැරෙමින් තිබේ. ඉරානයේ නව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට බරපතළ ලෙස කනගාටු වන්නට සිදු වනු ඇති බවයි. හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ ඝාතනය ද කතාබහට ලක්වී තිබේ.

එනම් මැද පෙරදිග යුද උණුසුම ඉහළ යමින් තිබේ. මෙය ලංකාව වැනි මැද පෙරදිග රටවලින් විශාල විදේශ විනිමයක් උපයාගන්නා රටවලට සෘජුව බලපෑම් එල්ල කරන්නකි. 1990දී ක්වේට් යුද්ධය නිසා ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමට සිදු වූ බවත්, මෙය බරපතළ කාරණයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් සභාවල හිටපු මැති-ඇමැතිවරුන්ගේ රැස්වීමකදී පවසා තිබිණි. එය ජනාධිපතිවරයා පැවසුවේ ඡන්දයක් කට උඩ තියාගෙන කියන වාක්‍යයක් ලෙස විය හැකිය.

කෙසේ වෙතත් සත්‍යයක් තිබේ. මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වුවහොත් ලංකාව වැනි ස්ථාවර ආර්ථිකයක් නොමැති, යැපෙන රටකට දැඩි අර්බුදයකට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදු වේ. අපට ලැබෙන විදේශ ප්‍රේෂණ අඩුවීමෙන් ආනයන හැකියාව අඩු වීමත්, ඛනිජ තෙල් මිල පිළිබඳ ගැටළුත් ඒ අතර ප්‍රධාන වනු ඇත. තත්ත්වය තවත් උග්‍ර අතට හැරුණොත් මැද පෙරදිග සේවය කරන ලක්ෂ ගණනක් නැවත මෙරටට ගෙන්වාගැනීමට සිදුවීමෙන් රටේ සමස්ත ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වනු ඇත.

  • ශාලික විමලසේන

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...