‘මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජනකද?’ සමඟ අපට මුහුවෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක්, තරින්ද්‍රගේ කවියේ සැකිල්ල නැතිනම් ආකෘතිය ගැන පළකෙරෙන පොදු අදහස වන අජිත් තිලකසේනගේ වගේ කවි කියන තැන ඉඳන් සිතීමෙනුයි. එතැනදි මගේ අදහස, මේ දෙදෙනා ම, දෙයක් තරමක ඈතින්ව, එක්තරා ගණිත මිණිත ක්‍රමයකට, කවිය ඇතුළෙම තාර්කික විදියකට කවිය ගොඩනගන බවයි. එක් විෂයක කෙනෙක් තවත් විෂයක් ගැන වෙනම කෝණයකින් දකින්නා වගේ, පොදුවේ සියල්ලන් කියන දෙය නැතිව වෙන දීප්තිමත් අදහස් දරන්නා වාගේ කවිය නිමවනවා.
කිව යුතු අනෙක නම්, තරින්ද්‍රගේ පොතේ සමස්තය එක මිටට ගත්විට පෙනෙන ජීවිතේ පැති දෙකක සමාන්තර පේළි . මට දෙනු හැකි මැය නම් ‘හීනත් අරන් එන – වතුරත් අරන් එන – තරින්ද්‍ර’ එනම්, මේ සටහනේ මුල ම යෙදූ නමයි. ඔහු තමන්ගේ කවිවලදි, දෙයක් ගැන දැනෙන සිතෙන දේ වගේ ම එහි ප්‍රතිපක්ෂයත් ගෙන එනවා. ඔහු සමාජයේ ඉන්නවා, නමුත් එයින් බැහැරවත් සමාජය දකිනවා. ආසාවන් ගැන ලියනවා, ඒ අතර ආසාවට බාධා පමුණුවන දේ ගැන ද ලියනවා. අන්වීක්ෂීය නිරීක්ෂණ කරනවා, ඒ වගේම කුරුලු කෝණයෙන් ද නිරීක්ෂණ ගෙන එනවා. තරින්ද්‍ර හීනත් අරන් එනවා, නමුත් හීනෙන් ඇහැරෙන්න වුවමනා වතුරත් අරන් එනවා. ඔහු කවියෙදි ‘ජීවිතේ අඳුරයි කළුයි’ කියා සෝකය ම අරා ඉන්නේ නැහැ, වර්ණවත් බවත් දකිනවා. ‘ඇහැළ මල්’, ‘ගිරිකුල් මුදුනක කුඩා කුටියක් සිහිනෙන් දකිමි’ වැනි කවි ගෙන මේ බව බලන්න. ඒ නිසා, පෘතග්ජන මිනිසෙකුව අපි මේ පොතෙන් දකිනවා.
පොතේ පෙරවදනේ දි තරින්ද්‍ර තමා ගැනම ලියන කොටසක් උපුටාගන්නේ, මං මේ කියන ලකුණ ඔහුගේ වචන තුළත් පැහැදිලිව ම පෙනෙන නිසයි.
“නූතන මිනිස් සමාජයේ කොටස්කරුවෙකු ලෙස මෙන්ම එය ප්‍රශ්න කරන්නෙකු ලෙස ද, මානව සබඳතාවල කොටස්කරුවෙකු ලෙස මෙන්ම ඒවායින් පැන යන්නෙකු ලෙස ද, සමාජ ජීවිතයේ විකාරරූපීත්වය අගය කරන්නෙකු මෙන්ම එයින් ව්‍යාකූල වන්නෙකු ලෙස ද මා විඳින තනිකම, ආදරය, දුක සතුට හා කියාගත හැකි නොහැකි බොහෝ හැඟීම් පිළිබඳව කතාකිරීමට මා මේ කවිවලින් උත්සහ දරා ඇත.”
හේතු නොකියන සෙයක් පෙන්වමින්, එකකට එකක් සම්බන්ධයක් නැති සේ කවිය ඉදිරිපත් කරන විදියකුත් ඔහුගේ කවි අතර තියෙනවා.
බොහෝ කවි පද කේවලයි, ස්වාධීනයි, තනියම නැගී සිටිනවා ඒවා. අනෙක් පදයක ආධාරය වුවමනා නැහැ. නමුත් සමස්ත කවියට ඒ සියල්ල එක්වුණාම පැහැදිලියි. ඒවගේම ඇතැම් කවි කෙටිකතා වගේ. කෙටිකතා ලකුණු සහිතයි. ඒවාගේම, රූපක මිශ්‍ර බස්වහර, විරාම තැබීම්, පද බෙදන සොබාවය, රිද්මය, වාග් රූප වෙනුවට ජීවමානව දැනීම, දෘෂ්‍ය රූප ද මෙහිදී කියවාගන්න පුළුවන් මීටම අදාළ තවත් කරුණක්.
සත්‍ය ජීවිතේට සමීප වනවා නොව, කෙලින්ම සත්‍ය ජීවිතේම කොටසක් වීම ඔහුගේ කවිවල තවත් ලකුණක්. සාමාන්‍යයෙන් නිර්මාණකරුවන් කවියකට නොගන්නා, මේ මොහොතේ අපි ජීවත්වෙන සැබෑම විදිය, අපිට මුණගැසෙන දේවල්, ගෙදරදි මගතොටදි දකින පෙනෙන දේවල් කවියට ගන්නවා තරින්ද්‍ර. උදාහරණයක් තමයි, ‘පිහාටුවක්’ කවිය. පෙරළුණු කැරපොත්තෝ, කුහුඹු ජායාව කරගැට නැගුණු අත්, හෙල්මට්, ඔරලෝසු, බස් හෝල්ට්,මළකඩ කාපු අල්පෙනෙති, එක්ස් රේ මැෂින්, කඩචෝරු, කෞතුකාගාර, සුපර් මාකට්, ෆාමසි, ගොඩනැගිලි, බෝඩිම් හමුවෙන නාගරික දිවියක අනිවාර්ය තතු සලකුණු මේ කවිවල ලියැවෙන ‘විදිය’ යි විශේෂ. එක් කවියක් සම්පූර්ණ කියවන්න ඕනේ කොටස් ලෙස නැතිව. එතකොට මැවෙනවා, දැනෙනවා අපිත් අධිවේගී ගමනක ඉන්නවා වගේ නාගරික ජීවිතේ. ඒත්, මේ පද උපුටා නොදක්වා බැහැ.
“ජීවිතේ සූට් කේස් දෙකකට පුරවගෙන”
“සිනාසෙන හැටි ඔවුන්
රැව්දෙමින්! රැව්දෙමින්!”
“මගේ කුහුඹු ජායාව වෙනුවට
ඔබේ ඇස්වල තිබුණේ විශ්වයක්”
අන්තිම කවියේ අන්තිම පිළිතුර කොටසෙදි, රිදුම් දෙන සමාජයක එකිනෙකාගෙ තුවාල සුවවන තුරු අන් අයව සුව කරන්නට අපට යමක් කළ හැකි බව තරින්ද්‍ර කියනවා. එසේ සුව වූ දාට ඔහු පොතේ මැද කවියකදි කියන්නා වාගේ මිනිසුන්ට මෙවැන්නක් සිහිනෙන් පෙනේවී.
“වක්‍රාකාර ජීවිතේ පරිධියෙන් එහා ඇති
මගේ ස්වර්ගය මගේ නිර්වාණය
ගිරිකුල් මුදුනක
කුඩා කුටියක් සිහිනෙන් දකිමි”
ඩිල්ශානි චතුරිකා දාබරේ
https://web.facebook.com/100002356464701/videos/497088546037339