මේ සටහන ලියන්නේ කුමුදු කුමාරසිංහගෙ “කොළඹ මතක 2” ලයිව් බලන් ඉඳලා ඉවර වෙච්ච හැටියේ. එතනට භෞතිකව ආපු කට්ටිය මේ මොහොතේ බටර් කේක් කට්ලට් කාලා තේ එකක් බිබී කයියක් ගහනවා ඇති. සමහරු රෑට සෙට් වෙයි. මාත් හවස් වෙලා තනියම පොඩි අඩියක් ගගහ කුමුදු මතක කියවනවා. මේ ලියන්නෙ ඊට කලින්.
මං ගගනට (වර්ණකුල සූරිය) කතා කළේ පොතක වැඩකට. කොල්ලා හිටිය කුමුදුගේ වැඩේට ගිහිල්ලා. මං කිව්වා පුතේ ලයිව් දෙනවනම් මටත් ලින්ක් එකක් දාපන් කියලා. චාමලී මතඟසිංහට හුඟක්ම ස්තුතියි ඒ ලයිව් එකට.
කුමුදු ඇගේ ස්තූති කතාවෙදි කිව්වා, ඒ සභාවට ආපු හැමෝම ආවේ ආදරේ හින්දා කියලා. ඔව් ගොඩක් ඈත හිටියත් භෞතිකව, මාත් ඒ දිහා ලයිව් බලන් හිටියේ ආදරේ හින්දම තමයි.
කුමුදුගෙ අලුත් පොතේ, නමින්ම මං දෙතුන් තැනක ඉන්නවා. කොහොමත් මම කුමුදු හැසිරිච්ච භෞතික පොළොවේ, ඒ සංස්කෘතික කලාපයේ, ඒ දේශපාලනික කලාපයේ උපරිම රස්තියාදු ගහපු චරිතයක්. කුමුදු පොතේ ලියල තියෙන විදිහටම ඇය වැඩ කරපු පිටකෝට්ටේ තැනටත්, දෙමටගොඩ ගෙදරටත් භෞතිකවම ගොඩ වෙච්ච කෙනෙක් තමයි මම. කොහොමත් මම මේ පොතේ තියෙන ඉතිහාසයේ පංගුකාරයෙක්. හැබැයි විදර්ශන (කන්නංගර) සහෝදරයා පට්ට ගහපු අනූවේ පරම්පරාවේ පතරංග චරිත පරිභෝජනවාදය ඇතුළෙ, පීචං උනාට, අපි එදා භාවිතය ඇතුළෙ, කථිකාව ඇතුළෙ ලබා දුන්නු නූතන සංස්කෘතික පොරොන්දුව තාම රකිනවා කියලා, අපි දුන්න දේශපාලන පොරොන්දුව තාම රකිනවා කියලා කුමුදුගේ පොත ඇතුළෙ තියෙන නමක් විදියට ඒ පොත ඇතුළෙ සඳහන් චරිතයක් විදිහට, කමිසෙ ඉරා දාලා පහුව පෙන්නලා තාම කියන්න පුළුවන්. ඒක කිව්වෙ කන්නට.
පොත ගැන සිද්ද කරපු කතා තුනම වැදගත්. කුමුදුගේ පොතත් පොත මතුකරන සමාජ සංස්කෘතික දේශපාලන ඉතිහාසයත් විවිධ පැතිමානයන්ගෙන් තුන්දෙනාම අල්ලලා තිබුණා.
ගීතිකා (ධර්මසිංහ) සහෝදරී කිව්වට මේ පොත කලින් පොත තරම් දේශපාලනික නෑ වගේ දෙයක් හෝ අදහසක්, මට නං පොත ඉතාම දේශපාලනික වැඩක්. දේශපාලන සලකුණු කිරීමක්. ඒක වෙන්නේ කොහොමද කියන එක එක කරුණක් විතරක් අරන් මම මේ සටහනේ ලියනවා. කුමුදු ලියනවා වගේ ඉතාම වේගයෙන්.
පුබුදු ජයගොඩ සහෝදරයා ඔහුගේ කතාවේදී මතු කරා වැදගත් දේශපාලන අදහසක්. ඒ වැදගත් දේශපාලන අදහස ඔහුගේ අදහසක් නෙවෙයි. ඒක මම අනුව දශකය මැද ඉඳන් අඛණ්ඩව දේශපාලනය කරන රෝහිත භාෂා අබේවර්ධන සහෝදරයාගේ අදහසක්. භාෂි කිව්වේ දකුණේ අරගලය පරාජය වුණේ 89 නෙවෙයි 2002 දී විතර කියල. ඒක දේශපාලනික ඉතාම සාධනීය අදහසක්. අපි කවි ලියන්න පටන් ගත්ත කාලේ කවි ඇතුළෙ රතු කොඩි ඉස්සුවේ ඒ දේශපාලන ධාරාව පරාජය නොවුණු හින්දා. නමුත් සහස්‍රකයේ මුල ඒ ධාරාව සිංහල බෞද්ධ අධිනිශ්චි වීම ඇතුළේ දේශපාලනිකව නන්නත්තාර වීම තමයි දකුණේ අරගලයේ ඇත්තම පරාජය. 2002 විකාර වූ සිංහල ජාතිකවාදය ඇතුළෙ සක්‍රීයව වැඩ කරපු එහි දෘෂ්ටිවාදී පදනම රැකගන්න,එය ප්‍රවර්ධනය කරන්න දිවි හිමියෙන් එකෙල මෙකෙල වුණු පුබුදු ජයගොඩ සහෝදරයා, 2024 වේදිකාවක් මත එය මෙනෙහි කරන එකම මේ කෘතිය මතු කරන දේශපාලන කථිකාවට ඉතාම වැදගත්.
මං කලිනුත් ලියලා තියෙනවා අනුව දශකයේ කුමුදුව දැකලා තිබුනත් කුමුදුව බරපතල විදියට හිතටම වැදුණෙ “තහනම් අඩවිය” හින්දා. විශාකේස චන්ද්‍රසේකරම්ගේ මෙකී වේදිකා ප්‍රකාශනය සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයේ වැදගත් එකක්. ඒ මොකද දකුණේ සිංහල මනස සුවපත් කරන්න කොටි දෙනක් හදන්න, කොටි නායකයෙක් හදන්න දෙමළ නමක් තියෙන මිනිහෙක්ට පුළුවන් වීම. මරාගෙන මැරෙන බෝම්බකාරිනියක් හෙවත් දෙමළ කළු කොටි දෙනක් විදියට කුමුදු කරපු රංගනය කොහොමත් බෝම්බයක් වගේ. ඇත්තටම ඒක පිපිරුවා.
නාට්‍ය උළෙල සමයේම එක්තරා හැන්දෑවක ජෝන්ද සිල්වා එකේ ඉඳන් අපි අඩියක් ගහන්න බොරැල්ලේ ඊඒපී එකට ගියා. මට මතක හැටියට විසා, නිශ්මා (නිශ්මං රණසිංහ), ප්‍රසාද් (හේමන්ත ප්‍රසාද්) සංජීව (සංජව උපේන්ද්‍ර), සෆීර් (එම්. සෆීර්) ඇතුළු අපේ පරම්පරාවේ නාට්‍යකාරයෝ කීප දෙනෙක්ම එතන හිටියා. මං තහනම් අඩවිය ගැන මගේ විවේචනය ගෙනාව. මං කෙලින්ම විසාට කිව්වෙ උතුරේ පීඩිත දෙමළ අරගලය, දකුණේ ජීවත් වන කුල්ටූර් සිහින තියෙන බුරුෂුවා දෙමළුන්ගේ සාමකාමී ජීවිතයට ප්‍රශ්නයක්. මොකද දෙමළ වීම හින්දා දෙමළ නම් තියෙන හින්දා මේ සියලු චෙක් වීම්වලට සියලු සිංහල පරිපීඩනයන්ට, සියලු හිංසනයන්ට අකමැත්තෙන් උනත් ලක්වෙන්න සිද්ධ වෙන හින්දා ඒකට විශාගේ තිබිච්ච ප්‍රතිවිරෝධය තමයි තහනම් අඩවිය විදිහට මතු වුණේ කියලා.
මං මේ ඉතිහාස සංසිද්ධිය මතුකළේ මේකයි. ඒක කෙලින්ම කුමුදුගේ පොතේ අවසානයත් එක්ක බද්ධ වෙනවා. කුමුදුගේ මේ පොතේ අවසානය ඇය මතු කරන දේශපාලන ප්‍රශ්නය හින්දා.
මං ඒක ඇගේ ම භාෂාවෙන් උපුටන්නම්
“වේලු පිල්ලගේ මරණය ගැන හැමෝම අත්පොඩි තලමින් උඩ පැන්නා. රතිඤ්ඤා පත්තු කළා. මිනිහෙක් මරලා එච්චර සතුටු වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුණා. පාරවල් දිගටම රතිඤ්ඤා වැල් පත්තුවුණා. කිරිබත් තොග පිටින් ඉව්වා. මිනිස්සු හැමෝම පාරට ආවා. කෑ ගගහා හිනාවුණා….
මගේ උගුර හිර වුණා. පපුව හිර වුණා. මට කෑ ගහලා අඬන්න ඕන වුණා. දුක කිය කිය අඬන්න ඕන වුණා. මට දැනුණෙ ජීවිතේ එක තැන නතර වුණා වගේ හැගීමක්. මුළු ලෝකෙම පාළුවෙලා ගියා වගේ හැඟීමක්. “
අගනාගරික සංස්කෘතික ජීවියෙක් විදියටත්, අනේක විධ හූරා කෑම වලට ලක්වෙච්ච ස්ත්‍රියක් ලෙසත් මෙන්න මේකයි කුමුදුගේ වැදගත්කම.
හමුදා ප්‍රේම විජේවීර ප්‍රේම ආදී නොයකවිද ප්‍රේමයන්ගෙන් පස්සෙත්, දකුණේ ජරා ජීර්ණ සකලවිධ සිංහල අධිනිෂ්කයවීම් අතරේ රස්තියාදු ගැහුවට පස්සෙත්, දෙමළ මිනී කන්දක් මත්තේ ප්‍රභාකරන් මැරිලා ඉන්නවා දැක්කම උණුවෙන හිතක්, ඒ කිරිබත් කෑම්වලට, රතිඤ්ඤා පත්තු කිරීම්වලට එරෙහිව කම්පා වෙන හිතක්, කම්පාවන ස්ත්‍රියක් කුමුදු තුළ ඉතුරු වෙලා තියෙනවා. මෙහෙම හිතන්නේ, මෙහෙම කතා කරන්නේ අතීතයේ මරාගෙන මැරෙන කළු කොටි බෝම්බකාරින්නියට ආත්මයම හූරලා දීලා සිංහල දකුණ සනස්වවපු කුමුදු. කුමුදු මේ කොළඹ මතක 2 කෘතිය හරහා මතු කරන වැදගත්ම දේශපාලන අදහස අන්න ඒකයි.
දැනට මම මෙතනින් නවතිනවා.
මේ සියල්ල ලිව්වේ ලයිව් බලල ඒ මතකෙන්. මා ලියපු අදහස් වල කරුණු විදිහට සදොස් තැනක් වෙතොත් “දොන් මායා” ඔහුගේ චැනල් එකට වීඩියෝ අප්ලෝඩ් කරාට පස්සේ මං ඒ ගැන ආයෙ ලියන්නම්.
අවසානයේ මම ආදර සම්ප්‍රයුක්ව කුමුදුට, කුමුදුගේ ආදර භාෂාවෙන්ම මෙහෙම කියනවා. “අඩෝ කෙල්ල, අඛණ්ඩව ලියපන්, නැත්නං මරනවා”
මංජුල වෙඩිවර්ධන
2024 ජූලි 31
හැන්දෑවේ තුනහමාර