අපි ඡන්දෙට එන්නෙ කඩන්න තමයි, හැබැයි ඡන්ද නෙමෙයි මේ ක්‍රමය – ජන අරගල සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නුවන් බෝපගේ

Share post:

ජන අරගල සන්ධානය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඡන්ද කැඩීමට බවට ප්‍රචාරයක් ගෙනයන බවත්, තම සන්ධානය පැමිණෙන්නේ ඡන්ද නොව මේ පවතින අත්තනෝමතික ක්‍රමය කඩා බිඳදැමීමට බවත් එහි ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ඊයේ (31) කොළම මහජන පුස්තකාලයේදී සිදුකෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම, ජාත්‍යන්තර ණය විගණනය කොට ණය නොගෙවා සිටීමේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්වයං පාලන බලතල සහිත බලය බෙදීමේ ක්‍රමවේදයක් හඳූන්වා දීම ඇතුළු යෝජනා රැසක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වේ.

ඒ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් නුවන් බෝපගේ මෙසේ ද පැවසීය.

‘සමහර ව්‍යාපාර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවුරුදු දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන යන තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තුවෙන් සිටියා කවර හෝ ව්‍යාපාරයක්,’පක්ෂයක් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය විදියට මේ සමස්ත අර්බුදයෙන් සමාජය මේ රටේ දුක්විදින ජනතාව ගොඩනැගීමට තියෙන ඉලක්කය ගැන අඩු තරමේ පිටුවකින් හරි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරයි කියලා. අපි අභිමානයෙන් ප්‍රකාශ කරනවා මේ රටේ දේශපාලන තලයේ, දේශපාලන ව්‍යාපාරවල දුක්විඳින ජනතාවගේ පීඩාවට පත් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නා වූ’එකම වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නට පුළුවන් වූ එකම ව්‍යාපාරය ජන අරගල සන්ධානය පමණයි කියන කාරණය.

ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ මොහොතේ එහි අන්තර්ගකය පිළිබඳ විවිධාකාරයෙන් පැහැදිලි කිරීම් සිදු කළා. දැන් මේ සන්ධානය එළැඹෙන ජනාධිපතිවරණයේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාශයකයා විදියට මාව තෝරාගැනීමෙන් පසුව මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වුවා. ඒ හැම තැනකදීම අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා ජන අරගල සන්ධානය එන්නේ කාගෙ හරි ඡන්ද කඩන්නද, යම් ව්‍යාපාරයකට විරුද්ධවද කියලා.
අපි ප්‍රකාශ කරනවා. ඔව් අපි දේවල් ගොඩක් කඩන්න බලාගෙන එන්නෙ.

තමන්ගේ දරුවාට කන්න දෙන්න නැතිව අම්මා දරුවා එක්ක ගිහිල්ලා නිල්වලා ගඟේ පාලමෙන් පනිද්දි ඒක අත්විඳපු මිනිස්සු විදිහට ඒ දුක්විඳින මිනිස්සුන්ගෙ කුසගින්න කඩන්න තමයි ජන අරගල සන්ධානය කරළියට එන්නේ. ඒ විතරක් නෙවෙයි ණය බරින් මිරිකිලා නුගේගොඩ පැත්තේ නීතිඥවරියක් සියදිවි නසාගත්තා. අපි කියනවා සමස්තයක් විදිහට මුළු රටේ මිනිස්සු ණය බරින් පීඩාවට පත් වූ යුගයක ඒ මිනිස්සුන්ගෙ ණය බර කඩන්න තමයි ජන අරගල සන්ධානය මේ වේදිකාව නිර්මාණය කරන්නේ.

උදේට වැඩට ගිහිල්ලා දවසට පැය 15ක් වැඩ කරලා පැයට සොච්චම් පඩියක් අරගෙන තමන්ගෙ කකුලේ වහල් දම්වැල් බැඳගෙන වැඩ කරන ජනතාවට අපි කියනවා, ජන අරගල සන්ධානය එන්නෙ ඔබේ කකුල්වල තියෙන ඒ දම්වැල් ටික ලිහලා ඔබට නිදහස විමුක්තිය දෙන්න කියන කාරණය.

ඒ වගේම අපි දැක්කා උතුරේ ජනතාව තමන්ට නිදහස අහිමි වෙලා තමන්ගේ ප්‍රදේශවල තමන්ට අවැසි ආකාරයකට ජීවත්වෙන්න නොහැකි තත්ත්වයට පත්වෙලා ඉන්නකොට සුළුතර අනෙක් මුස්ලිම් ජනතාව වතුකරයේ ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න යුගයක අපි කියනවා ප්‍රමාණයෙන් සුළුතරය වුණු අපේ රටේ ජීවත් වන ජනතාව කූඩුකරලා අගුළු දාලා තියෙද්දී ඒ අගුලු‍ කඩන්න තමයි ජන අරගල සන්ධානය මේ විදිහට වේදිකාවක් නිර්මාණය කරලා තියෙන්නෙ කියලා. මේ වැඩපිළිවෙල වගන්තියෙන් වගන්තිය ගියොත් පීඩාවට ලක් වූ හැම මිනිහෙක්ට අදාළව ම නිදහස විමුක්තිය උදාකරන වැඩපිළිවෙලක් එක්ක තමයි ජන අරගල සන්ධානය කළඑළි බහින්නේ.

මේ සමස්ත වැඩපිළිවෙල ඇතුළේ අපි ඉදිරිපත් කරනවා සැබෑ ක්‍රම වෙනසක්. ඇයි අපට ක්‍රම වෙනසක් අවශ්‍ය. අපි දන්නවා මේ තියෙන කැපිටලිස්ට් සිස්ටම් එක, ධනපති ක්‍රමය අඩුම තරමේ ධනපති පාලකයන්ටවත් තමන්ගේ ක්‍රමය ගැන කෙළින් කියන්න බැරිව තටමන යුගයක් අපි දැක්කේ. අපි කලින් දැක්කා මානුෂීය ආර්ථිකයක්, ධර්මිෂ්ඨ ආර්ථිකයක්. සුබ අනාගතයක්, යහපාලනය වගේ වචන කියනව මිසක් ධනවාදය කියලා කියන්න ලැජ්ජයි. බයයි. අඩුම තරමෙ මේ රටේ ධනපති පාලකයන්ට තමන්ගේ ක්‍රමය ගැනවත් කියන්න ලැජ්ජයි. එවැනි අවස්ථාවක අපට ධෛර්යයක් තිබුණා අභිමානයෙන් යුතුව කියන්න ඒ ක්‍රමයට විකල්ප ක්‍රමයක් තියෙනවා ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා.

තමන් වම යැයි කියන සමහර සන්ධාන ඒක කියන්නත් තටමනවා. එවන් තත්ත්වයක් තුළ ජන අරගල සන්ධානය දැඩි සහෝදරත්වයෙන් දැඩි අභිමානයෙන් ධෛර්යය සම්පන්නව කියනවා අපි බයවෙන්නෙ නෑ, අපි කොන්දේසි විරහිතව කියනවා සමාජවාදී වැඩපිළිවෙලක් ඔස්සේ තමයි මේ සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා. ඒකයි අපේ විශේෂත්වය.

අපි එතැනින් නතර වෙන්නෙ නැහැ. අපි මේ වැඩපිළිවෙල තුළ සම්පූර්ණයෙන් රාජ්‍ය ව්‍යුහය වෙනස් කරන විදිහ විස්තර කරනවා. එහි අංක එක විදිහට සමස්ත ආණ්ඩු ක්‍රමයම වෙනස් වෙන්න ඕනෙ. එතැනදී අපට නැවත තටමන්න දෙයක් නෑ. වහෙන් ඔරෝ කියන්න දෙයක් නෑ. බලය ජනතාවට හිමි විය යුතුයි. ජනතාව මුල් වූ ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි. සංස්ථාපිතයන්ට එළියේ විතරක් නෙවෙයි ඇතුළෙත් තීන්දු තීරණ ගැනීමට ජනතාව සහභාගී වෙන ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. ඒ නිසා අපි අභිමානයෙන් කියනවා ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරන්න තමයි ජන අරගල සන්ධානය කරළියට එන්නේ කියලා. කිසිදු දෙයක අපැහැදිලිතාවක් නෑ. අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෙ කියලා. ඇයි අපි මෙහෙම කියන්නේ.

දැන් මෙරට ව්‍යවස්ථාව 22 වැනි වතාවටත් සංශෝධනය කරන්න පනත් කෙටුම්පත් ගේනවා. 22 වතාවක් ආපු සංශෝධන විග්‍රහ කරලා බැලු‍වාම එක්කො සංශෝධන දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන්න. එකින් එක සංශෝධන අරගෙන මේක සමූහ දූෂණයට ලක් වූ ව්‍යවස්තාවක්. අපි යෝජනා කරනවා සමස්ත ආණ්ඩු ක්‍රමයම වෙනස් කරලා ජනතාවගේ පැනනගින ව්‍යවස්ථාවක් ගෙනල්ලා, මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරලා ඒක ඇතුළේ රාජ්‍ය ව්‍යුහය කියන එකේදී තීන්දු තීරණ ගැනීමට ජනතාව සම්බන්ධ කරන නව ව්‍යුහයක් නිර්මාණය කරනවා කියන පොරොන්දුව අපි මේ ප්‍රකාශනයෙන් දීලා අවසානයි.

ඊළගට ආර්ථිකය. ආර්ථිකය කොහොමද වෙනස් වෙන්නේ කියන එකට අදාළ ව මේ වෙද්දී කරළියේ තියෙන අදහස් ගත්තාම රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය පැහැදිලියි. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම හරහා කොල්ලකාරී වෙළදපොළ ආර්ථිකය ප්‍රවර්ධනය කරන ගමන්,’ජනතාවගේ සම්පත් විකුණන ගමන් තමන්ගේ කොල්ලකාරී’ආර්ථික ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ජනමතය ඉල්ලනවා. ඒක පැහැදිලියි. පහුගිය කාලයේ අපි බැලුවා බලය ගන්න ආසන්නයි කී අනෙක් අයට තියෙන විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියලා.
ඒක කවුරුත් කියන්න බයයි. හැබැයි අපි නිකමට හැරිලා බැලු‍වා පාර්ලිමේන්තුව දිහා. ඒ දිහා බැලු‍වාම රනිල් වික්‍රමසිංහගේ කොල්ලකාරී’ආර්ථික ප්‍රතිපත්තිය පොතකට ගෙනල්ලා,’ඒ පොත ආර්ථික ප්‍රතිසංස්කරණ පනත කියලා ඒක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න වෙලාවේදී රනිල් වික්‍රමසිංහගේම ප්‍රතිපත්ති පිළිගන්නවා කියලා අත උස්සන විපක්ෂයක් මේ රටේ තියෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ පසුබිමේ ජන අරගල සන්ධානයට වෙනත් පක්ෂ එක්ක තරගයක් නෑ. මේ රටේ ජනතාවට වෙනත් පක්ෂ එක්ක සංසන්දනය කරන්න අවස්ථාවක් නෑ. දේශපාලනිකව ඉර ඇඳලා ඉවරයි. මේ කොල්ලකාරී’ප්‍රතිපත්තියට විරුද්ධව තියෙන්නේ එක සන්ධානයයි,’එක ව්‍යාපාරයයි. ඒක ජන අරගල සන්ධානය කියන එක ඔප්පු කරලා හමාරයි.

මේ වැඩපිළිවෙලේ තියෙනවා කොහොමද යුක්ති සහගත ආර්ථිකයක් හදන්නේ. ජන කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්නේ. සැලසුම් සහගත ආර්ථිකයක් හදන්නේ. නිෂ්පාදනය මුල් වූ’ආර්ථිකයක් හදන්නේ කියලා.
අපි මුහුණ දෙන පාරිසරික අර්බුද දිහා බැලු‍වම ඒ අර්බුදවලදී ජනතාව මුහුණදෙන ප්‍රශ්න,’ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ හුස්ම ගැනීමේ නිදහස අභියෝගයට ලක් වූ හැමවිටම මැදිහත් වූ අය තමයි එකතු වෙලා ඉන්නේ. අපි කොහොමද ඊළඟ පරම්පරාවට සුරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්නෙ. පරිසර වැඩපිළිවෙල ඇතුළේ ජනතාවට පරිසරය ආරක්ෂා වෙන ආකාරයෙන් පරිසරය රැකගන්නා හැටි යෝජනා කරලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ එද්දි’කියන්න ගත්තා කෝට් දාන රනිල්ටයි හොඳම විදේශ ප්‍රතිපත්තිය තියෙන්නේ කියලා. ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව තියෙනවා කිව්වා. ඉංග්‍රීසි පුළුවන් කීවා. අපි බැලු‍වා මේ රාජ්‍යතාන්ත්‍රිකයා ණය අර්බුදය විසඳන්නේ කොහොමද? අවසානයේ සුබාරංචියක් කියලා පෝස්ටරයක් ගහලා ණය ප්‍රතිව්‍යුහගතකරණයට විදේශ රාජ්‍යයන් සමග සාකච්ඡා කළා. රනිල් ප්‍රකාශ කළා අවුරුදු පහක් යනකල් ණය නොගෙවා සිටීමට එකඟ වුණා කියලා. හැබැයි සත පහක ණය කප්පාදුවක් නෑ. යමෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් නම් විදේශ ප්‍රතිපත්තියට විශිෂ්ඨයෙක් නම් එකදු සතයක්වත් නොගෙවා අවුරුදු පහකින් සියලු‍ ණය ගෙවන්න එකඟ වෙනවා නම් ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද නැද්ද කියන එක අප ප්‍රශ්න කළ යුතුයි.

අපේ නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ජනතාව නොගෙවිය යුතු අසාධාරණ ණය අපි ගෙවන්නේ නෑ. මේ රටේ ජනතාවට පටවපු විලෝපිත ණය අපි ගෙවන්නේ නෑ. ජනතාවගේ සම්මුතියෙන් අපි අභියෝග කරනවා පමණක් නෙවෙයි, ජනතාවට බර පැටවෙන්නේ නැති විදිහට ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන කාරණය අපි විස්තර කරලා තියෙනවා. මේ රාජ්‍යතාන්ත්‍රිකයාට බැරි වෙලා තියෙනවා රටට විරුද්ධ ප්‍රකාශවලට අභියෝග කරන්න. ඉන්දියාවෙ මෝදි දකුණේ ඡන්ද ගන්න කියනවා ලංකාවේ දූපත් නැවත පවරාගන්නවා කියලා. මේ රටේ මහා ලොකු තාන්ත්‍රිකයාට එක වචනයක් ඊට විරුද්ධව කියන්න පුළුවන් වුණාද? චීනයේ පර්යේෂණ නෞකා එනකොට ඉන්දියාව කිව්වා ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. මේ රාජ්‍යතාන්ත්‍රිකයාට පුළු‍වන් වුණාද අපේ රටේ කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා කියන්න.

අපි කියනවා නොබැඳි ප්‍රතිපත්තියක් ඇතුළේ ජනතාවගේ සම්මුතියක් ඇතුළේ කොන්ද කෙළින් තියාගෙන විදෙස් ප්‍රතිපත්තිය නිසිමාර්ගයේ ගෙනයන්නේ කොහොමද කියන එක ජන අරගල සන්ධානයේ අපි අන්තර්ගත කරලා තියෙනවා කියලා.

ඒ අනුව සහෝදර සහෝදරිය, මේ මොහොතේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය ඉතාමත් සරලයි. අපට කිසිදු සැකයක් නැහැ ජන අරගල සන්ධානයට අදාළ ව අපේ අනන්‍යතාව මොකක්ද කියලා. මෙතැන කතා කරපු සහෝදරවරුන් අඛණ්ඩව දේශපාලනය කළ සහෝදරවරුන්. මූණු දැක්කාම, භාවිතාව දැක්කාම බිමේ ඔප්පු වෙලා ඉවරයි ජන අරගල සන්ධානය කියන්නෙ මොකක්ද කියලා. කවුරුහරි කියනවා නම් කොහොමද මේ නම එන්නේ. කොහොමද එහෙම ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන් කියලා, අපි කියනවා මේ වේදිකාවේ හිටපු,’අසුන්ගෙන ඉන්න ඒ සහෝදර සහෝදරියන් සහ ව්‍යාපාර බැලු‍වාම අපි මේ මුද්‍රාව මේ බිමේ තියලා ඉවරයි. ඒ වගේම, අපට එතැනින් එහා ගිය අභියෝගයක් තියෙනවා. ගෝල්ෆේස් අරගලය දක්වාම ආපු ඒ සටන්කාමී ඉතිහාසය අපට මේ ක්‍රමය අවසානයක් කරා ගෙන යෑමට සැබෑ ක්‍රම වෙනසකින් අවසාන කිරීමට අභියෝගය තියෙනවා. ඒ අභියෝගය බාරගැනීම සඳහා මේ බිමේ ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ ව්‍යාපාරය තමයි අපි ගොඩනගන්නේ. අපට පැහැදිලිව කියන්න ඕනෑ කාරණය මේ මොහොතේ කෙතරම් ජනප්‍රිය වුණත් නොවුණත්,’කොපමණ අභියෝග ආවත් නැතත් කොන්දේසි විරහිතව නිවැරදි දෙය වෙනුවෙන් පෙනී’සිටීමේ ධෛර්යය ඉතිහාසය පුරාවට සටන්වල හිටපු මේ සහෝදර සහෝදරියන්ට ලැබිලා තියෙනවා.

ඒ ධෛර්යයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. මේ ජනාධිපතිවරණ පොර පිටියේ ඉන්න චරිත ගණනාවක් පැහැදිලියි. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කරලාත් ඉවරයි. අනෙකුත් සජිත් ප්‍රේමදාස,’අනුර කුමාර දිසානායක වගේ අයත් දැන් මැතිවරණ පොර පිටියේ තමන්ගේ කටයුතු කරමින් යනවා. අපට අහන්න තියෙන ප්‍රශ්නය තමයි මේ සියලු‍ චරිත එක පෙළට හිටගස්වලා සියලු‍ චරිතවලට ප්‍රතිපත්තිය කුමක්ද කියලා ඉස්සරහට දාන්න කියලා ඉල්ලා සිටියොත් ඒක සංසන්දනය කරන්නට අපි මැදිහත් වුණොත් අපට කියන්න පුළුවන් කාරණය තමයි මේ සෑම ප්‍රතිපත්තියක්ම එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට සමානයි.

වැඩබිම්වල, පාසැල්වල, විශ්වවිද්‍යාලවල, ධීවරයා එක්ක, ගොවියා එක්ක, පීඩාවට ලක් වූ තමිල්, මුස්ලිම්, මලයග තමිල් ජනතාව එක්ක මේ සංවාදය අපට තියෙනවා. ලිංගිකත්වය මත පීඩාවට ලක් වූ ජනතාව,’කාන්තාවන්, දරුවන් ආදී සියල්ලන් එක්ක අපට සංවාදයක් තියෙනවා. අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපතිවරණයේදී ඔබට තවත් අරගල භූමියක් නිර්මාණය වෙලා තියෙනවා. 2022 අරගලය දක්වාත් ඉන්පස්සෙත් අපි ගත්ත සමාන ස්ථාවරය වන්නේ දේශපාලනයට සවිඥාණික දේශපාලනය වෙනුවෙන් පෙනී’සිටින සමාජයක්,’මිනිසුන්, අරගලකරුවන්, සටන්කරුවන් නිර්මාණය කරන්න ඕනෑ කියන එක.’

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...