මාකේස්ගේ පොත්වල ‘කතාව’ හොයන්න යන මිනිස්සුන්ට ඒ පොත්වල තියන ‘කතා’ මගහැරෙනවා

Share post:

මේ සටහන තියන්නේ Until August ගැන තරමක අවබෝධයක් හෝ තියන අය වෙනුවෙන්. මේක ටිකක් දිග සටහනක්.
වියපත් වීමත් එක්ක ඇතිවුණු Dementia තත්ත්වය ඇතුළු හේතු කීපයක් උඩ මාකේස් Until August පළකරනවට විරුද්ධ වුණු බව, පොතේ පෙරවදනේම මාකේස්ගේ පුත්තු කියනවා. පාඨක සමාජය ඇතුළේ මේ පොත ගැන කතාකරද්දී නිතර මේ කතාව නිතර කියවුණත්, එයාලා කියන (පෙරවදනේ තියන) අනික් වැදගත්ම කතාව කියවෙන්නේ නැහැ. ඒ තමයි ‘මේ පොත පළකරන්න එපා කියලා තීරණය කරන්න එයාට (මාකේස්ට) බලපාපු හේතුවම, මේ පොත කොච්චර අපූරු පොතක්ද කියල එයාට නොතේරෙන්න බලපෑවා වෙන්න පුළුවන්’ කියන එක.

මේ පොත අසාර්ථක බවට ඉක්මන් නිගමනයන්ට එළඹුණු බොහෝ දෙනෙක් කරගත්ත වරද හැටියට මට පේන්නේ, ‘පොතේ කතාව’ හොයන්න යාම. මාකේස් පොත්වල ‘කතාව’ හොයන්න යන මිනිස්සුන්ට ඒ පොත්වල තියන ‘කතා’ මගහැරෙනවා. මාකේස්ගේ කතා අස්සේ වගේම, වාක්‍ය සහ වචන අස්සේ පවා කතා තියනවා. ඒ ලක්ෂණය මේ පොතේත් එහෙම තියන නිසා, මේක ඇත්තටම මාකේස්ගේ පොතක්ද කියල සැක හිතන්න ඉඩක් හිටින්නේ නැහැ. ඒ වගේම Harper Lee ගේ ‘Go Set a Watchmen’ එක සම්බන්ධයෙන් ඇතිවුණා වගේ, මේක පරණ පොතක first draft එකද වගේ සැක සංකා මේක ගැන ඇතිවෙන්නේ නැහැ. (Letters to a Young Novelist පොතේදී වර්ගාස් යෝසා කියනවා, මාකේස්ගේ ශෛලිය ප්‍රීතිබාහුල්‍යයෙන් යුත්, සජීවී, අනුරාගී එකක් කියලා. ඒ සියලු ලක්ෂණ මේකෙත් තියනවා. ඇත්තටම කියනවා මාකේස් ජීවත් වෙලා හිටපු කාලේ පළවුණු අන්තිම නවකතාව වුණු ‘Memories of my Melancholy Whores’ එකටත් වඩා).

මේකේ ප්‍රධාන චරිතය අනා මග්දලේනා බාක්. අවුරුදු විසි හතක ස්ථාවර විවාහයක හිටපු අවුරුදු හතළිස් හයක ගැහැනියක්. එයාගේ අම්මා මියගියාට පස්සේ, අම්මගේ අවසන් කැමැත්තට අනුව එයාව වළදාන්නේ කැරීබියානු දූපතකි. හැම අවුරුද්දකම අගෝස්තු මාසේ අනා මේ දූපතට යනවා. ගිහින් අම්මගේ සොහොන මත්තේ ග්ලැඩියෝලි මල් පොකුරක් තියලා, අවුරුද්දේ ඕපදූප ටික අම්මට කියනවා. ඒ වතාවත් ටික ඉටුකළාට පස්සේ, පහුවදා ආපහු දූපතෙන් පිටවෙන්න කලින්, එක රාත්‍රියක් එයා පිරිමියෙක් එක්ක සම්භෝග සුව විඳිනවා. මේක තමයි ‘කතාව’.

දැන්, ඔබ මාකේස් ෆෑන් කෙනෙක් නම් ඔබට පේන්න ඕනේ, මාකේස් ඉන්නේ තමන්ට හිතේ හැටියට වැඩ දාන්න පුළුවන් තැනක කියල. මොකද මාකේස් තරම් හොඳට ගැහැනු-පිරිමි ආදරයේ සමස්තය වචන කරලා පිටු මත අතුරන්න පුළුවන් ලේඛකයෙක් (මට දැනෙන විදිහට) තවත් නැහැ. ඔබ Love in the Time of Cholera සමීපව කියවන්න තරමට ඉවසීම තිබුණු කෙනෙක් නම්, මේක ඔබටත් දැනෙන්න ඕන. මේ විශිෂ්ට හැකියාව Until August පිටු අතරත් ඉතාම හොඳට පේනවා. ඒත් Until August කියන්නේ Love in the Time of Cholera පොතෙන් දහයෙන් පංගුවකටත් වඩා කුඩා පොතක් නිසා, ඒ විශිෂ්ට හැකියාවෙන් වසඟ වෙවී ඉන්න ලැබෙන කාලය මදි. අනික් අතට, ආදරේ උත්තරීතර බවේ හල් තයනු උඩ ප්‍රිම්රෝස් මල් පලන්දමින් ඉන්න සාහිත්‍යික ප්‍රජාවක් ඉන්න ලංකාව වගේ රටකට, විවාහක ගැහැනියක් සහ ඇයට බාර් එකකදී හෝ ඩාන්ස් ෆ්ලෝ එකකදී හමුවන පිරිමියෙක් අතර ඇතිවෙන සම්පූණයෙන්ම පාහේ කායික ආදරයත්, ඒ ආදරය තුළින් පැනනගින ආතල් එක සහ ගිල්ටිය අතර අනවරත අරගලයත් තේරුම් ගන්න පහසු වෙන එකක් නැති වෙන්න පුළුවන්.

පොතේ ගැටලුව තියෙන්නේ අවසානයේ. පොතේ පසුවදන හැටියට එන, මාකේස්ගේ ස්පාඤ්ඤ භාෂා සංස්කාරක ක්‍රිස්ටෝබාල් පේරාගේ සටහනට අනුව, මාකේස්ගේ literary agent වරක් ඔහුට කියල තියනවා, මාකේස් මේ පොතේ අවසානයක් හොයාගන්න බැරුව ඉන්නේ, ඒකට උදව් කරන්න කියල. මේ කතාව මාකේස්ට කිව්වම ඔහු කිව්වලු, පිස්සුද අවසානයක් තියනවා, ඉන්න මං ඒක කියන්නම් කියල. මං හිතන්නේ, මේ පොතේ අවසානය හැටියට තියෙන්නේ, නියම අවසානයක් නෙමෙයි, මාකෙස් අවසානය වෙනුවෙන් ගහපු සැකිල්ල වෙන්න ඕන. කොහොමත් පේන හැටියට (සහ පොත ගැන The Guardian එකේ පළවුණු, ඇන්තනි කමින්ස් ලියපු විචාරයට අනුව පවා) මාකේස් මුලින් Until August සැලසුම් කරලා තිබුණේ වයසින් වැඩි පුද්ගලයන් අතර ඇතිවෙන ආදරය ගැන කියවෙන, පිටු 600 කට වැඩි නවකතාවක් විදිහට. ඒ නිසා, සාමාන්‍ය විදිහට මුද්‍රණය කළා නම් පිටු 100 කට අඩු පොතක් විදිහට පළවෙලා තියන Until August තුළින් අපට සෑහෙන දේවල් අහිමි වෙලා කියන එක පැහැදිලියි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තියන ටික දුර්වලයි කියල.

මේකේ පරිච්ඡේද මාකේස් සැලසුම් කරලා තිබිලා තියන්නේ ඒවාටම ආවේණික අවසානයන් තියන කෙටිකතාමය ස්වභාවයක් සහිතව. මට දැනෙන විදිහට මේකට තියන විශිෂ්ටතම උදාහරණය තමයි 3 වෙනි පරිච්ඡේදය. ඒ වුණත්, ඩොලර් විස්සේ නෝට්ටුවේ කතාව තියන පළවෙනි පරිච්ඡේදයත් ඇතුළුව, අවසන් පරිච්ඡේදය හැර අනික් සියලුම පරිච්ඡේද අවසන් වුණේ මට Oh wow! කියවමින්. මම එහෙම ලේසියෙන් වාව්වන්න පුළුවන් කියවන්නෙක් නෙමෙයි.

මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඔබ මේ පොත කියවන්න ගන්නවා නම්, විචාරකයෝ සහ විවේචකයෝ වගේම ඕපාදූප එක්රැස් කරන්නෝ කියන කතා බැහැර කරන්න. ඔබ පුහුණු මාකේස් කියවන්නෙක් නම් ඔබ දන්නවා ඔය කලින් කියපු අයවලුන් එක්ක මාකේස්ගේ පොත් කියවන්න බැරි බව. ඒ වගේම මෑත කාලයේ ලංකාව ඇතුළේ අධිනිශ්චය වෙච්චි ‘ස්ත්‍රීගුප්ත ශානරයේ’ ප්‍රබන්ධ සහ ඒ ප්‍රබන්ධ සම්බන්ධ සියලු ප්‍රශස්ති අමතක කරන්න (නැත්තං මේකේ කථා නායිකාවගේ චරිතය නිරුවත් වෙන විදිහට ඔබට හොඳටම නොසන්සුන් වේවි, එහෙම කොහොමද ගැහැනියක් කියවගන්න පුළුවන් වෙන්නේ කියල). ඊට පස්සේ, විචාර ලියන්න නෙමෙයි රස විඳින්න බලාගෙන පොත කියවන්න. මාකේස්ට ආයේ පණ නොඑන නිසා අවසානය ගැන දරාගන්න බැරි දුකක් දැනුණොත්, වහාම ආපහු One Hundred Years of Solitude හරි Love in the Time of Cholera හරි කියවන්න. ඒවා පුරාම ඔබට මගහැරුණු ‘කතා’ සිය දහස් ගණනක් තියන බව මට හොඳටෝම විශ්වාසයි.

තරිඳු ශ්‍රී ලොකුගමගේ

(26.07.2024)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...