සැකකරුවකුට අත්අඩංගුවේදී වධ දුන් තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10කට එරෙහිව අපරාධ නඩු පැවරීමේ නිර්දේශයක් !

Share post:

සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලිංගේන්ද්‍රයට නයි මිරිස් දියකර වත් කර කෘර අමානුෂික සහ අවමන්සහගත ලෙස සැලකූ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් 10 දෙනකුට එරෙහිව විනය පියවර ගෙන ඔවුන්ට අපරාධ නඩු පැවරීමට අදාල කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, විශේෂ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 10 දෙනකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12.1 සහ 13.2 යන මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ද මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ. 11 වැනි ව්‍යවස්ථාවෙන් කෘර අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් මිදීමේ අයිතිවාසිකම ගැන සඳහන් වන අතර 12.1 ව්‍යවස්ථාවේ නීතියේ ඉදිරියේ සමානව සැලකීම ගැන සඳහන්ව තිබේ. 13.2 ව්‍යවස්ථාවේ නීති විරෝධීව රඳවා තබා ගැනීමෙන් ආරක්ෂා වීමේ අයිතිවාසිකම ගැන සඳහන්ව තිබේ.

මෙලෙස මූලික අයිතිවාමිකම් කඩ කර ඇතැයි තීන්දු කර අදාල ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇත්තේ තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, විශේෂ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් බැද්දවත්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රිවිරත්න, පොලිස් සැරයන් 101306 හේමචන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන 101299 සඳරුවන්, , 96552 මදුමදන්, 103550 ප්‍රියලාල්, 45964 සුමිත්, 1013053 වික්‍රමසිංහ සහ පොලිස් කොස්තාපල් රියදුරු 103053 චතුරංග යන නිලධාරීන්ට එරෙහිවය. මෙම සම්පූර්ණ සිදුවීම්දාමයටම ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් බැද්දවත්ත සහ පොලිස් කොස්තාපල් 101299 සඳරුන් සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 40,000 බැගින් රුපියල් 80,000ක මුදලක් වින්දිතයා වෙත ගෙවන ලෙසත්, සෙසු නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 10,000 බැගින් තවත් රුපියල් 80,000ක මුදලක් වින්දිතයා වෙත ගෙවන ලෙසත් කොමිසම නිර්දේශ කර ඇත.

මෙම වින්දිත තරුණයා 2023 ජනවාරි මස 27 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට පහරදී වධහිංසා කිරීමට අමතරව සිද්ධිය යටපත් කිරීම සඳහා පොලිස් තොරතුරු පොත්වල සටහන් අලවා, ව්‍යාජ දින යොදා කූඨ ලේඛන සකස් කර ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එසේම තරුණයා හොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව කීවද, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට එවැනි පැමිණිල්ලක් පොලිසියට ලැබී නොහැති බව ද, කිසිම විමර්ශනයක් නැතිව කිසිවකුගෙන් ලැබුණු තොරතුරක් මත බව කියමින් ඔහු සහ තවත් අවුරුදු 15ක දරුවකු අත්අංගුවට ‌ගෙන ඇති බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මෙම සිද්ධිය දැන ගැනීමෙන් පසු මානව හිමිකම් වෙනුවෙක් වැඩ කරන සංවිධානයක් වන මහනුවර මානව හිමිකම් කාර්යාලය සිද්ධිය ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලෙස වින්දිතයාගේ බිරිඳට ද දැනුම් දී ඇත. ඒ අනුව කළ පැමිණිල්ලක් අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලය විමර්ශන ආරම්භ කළ ද එම විමර්ශන නිසි ලෙස සිදු නොකිරීම මත එය කොළඹ ප්‍රධාන කාර්යාලය හරහා සිදු කරන ලෙස වින්දිත පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මානව හිමිකම් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ නීති නිලධාරී සුලාරි ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු විය.

විමර්ශන අතරතුරදී වින්දිත පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥවරුන් වන සුරේන් ඩී පෙරේරා, මාධව ඊරියගම, උපේක්ෂා පෙරේරා සහ මනුෂිකා කුරේ යන මහත්ම මහත්මීන් විටින් විට වින්දිතයා සමග මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනයට සහභාගී වූ අතර 2023 අගෝස්තු 15, සැප්තැම්බර් 07, නොවැම්බර් 29 සහ 2024 පෙබරවාරි 07 යන දිනවලදී වගඋත්තරකාර පොලිස් නිලධාරීහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශ ලබා දුන්හ.

මෙම සිද්ධියට අදාලව ඇතැම් කරුණු තොරතුරු පනත යටතේ ලබා ගැනීමේදී සමාජය හා සාමයික කේන්ද්‍රය ද සහයෝගය පළකර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු එල් ටී බී දෙහිදෙණිය සහ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා යන මහත්වරුන්ගේ අත්සනින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම සම්පූර්ණ තීන්දුව පහත දැක්වේ.

4-HRC-KND-53-23-1_compressed_compressed.pdf

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...