ජයග්‍රහණයට පසුවදනක්

Share post:

මුම්බායි හි වන්කඩේ පිටිය එකම හිස් ගොඩකි, ජය ඝෝෂාවකි.
තවත් මොහොතකින් උදාවන මහා ජයග්‍රහණයක් සැමරීමට දහස් ගණනක් ඉන්දියානුවන් සූදානම්ව සිටි.
බොහෝ මෑතක ලොව අංක එකේ පන්දු යවන්නා වූ නුවන් කුලසේකර තීරණාත්මක පන්දුව යැවීමට සුදානම් ය.
පිතිකරු ඇස් පිය නොහෙලා බලා සිටියි.
ඊළග මොහොතේ දී කුලසේකර එවූ පන්දුව නතර වූයේ ලෝන්ග් ඕන් කලාපයේ පන්දු රකින්නාගේ හිසට ඉහළිනි.
යෝද හයේ පහරකින් ලෝක කුසලානය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ලෝක කුසලානයක් ජය ගැනීමට ඊට වඩා උත්කර්ෂවත් ක්‍රමයක් තිබිය නොහැක.
එම හයේ පහර ඓතිහාසිකය. දශකයකට වඩා කල් ගත වී ඇතත් තවමත් එය සැමරේ.
ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයේ අවසන් ධජය එසවූයේ එම හයේ පහරිනි.
හිස්තැනක් නොමැතිවම දඹුල්ල ක්‍රීඩා පිටිය පිරී ගොසිනි.
නොසිතූ ජයග්‍රහණයක් වෙනුවෙන් රැස්ව සිටිනා ජනකාය ජයඝෝෂා කරමින් සිටියි.
ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන්නිය පූජා වස්ත්‍රකාර් තීරණාත්මක පන්දුව යොමු කළාය.
ශරීරයෙන් සිහින් එහෙත් චිත්ත ශක්තියෙන් බොහෝ විශාල පිතිකාරිණිය එල්ල කළ පහර නතර වූයේ ලෝන්ග් ඕන් කලාපයේ සීමා ඉරට ඉහළිනි.
විනිසුරුවරිගේ දෑත් ඉහළට එසවීමට පවා ඉඩක් ලැබුණේ නැත.
දඹුල්ල ක්‍රීඩා පිටියට රැස් ව සිටි රසිකයන්ගේ ජය ඝෝෂාව මැද යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට කඩා වැදුනාය.
ප්‍රබල ඉන්දීය කාන්තාවන්ගේ නළල රැළි ගැන්වී තිබුණි. ඔවුන් මෙම පරාජය කිසිසේත්ම බලාපොරොත්තු වූ එකක් නොවේ.
මෙතෙක් කාලයක් ඔවුන්ට අභියෝගයක් වූයේ එංගලන්ත, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හෝ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් පමණි.
ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පැහැදිලි රැජිණියන් ඔවුන්ම විය.
ඔවුන් උදෙසාම වෙනම ලීග පවත්වා, ලොව හොඳම පුහුණුකරුවන් යටතේ පුහුණු කරවමින් තැනූ ක්‍රිකට් අධිරාජ්‍ය ඒ කිසිවක් නොමැති කෙසඟ යුවතියන් පිරිසක් විසින් දෙදරවා තිබේ.
රත්ගම වැල්ලෙන්, කුරුණෑගලින්, කතරගමින් සහ ත්‍රිකුණාමලයෙන් පැමිණි කෙල්ලන්, ප්‍රබල ඉන්දීය කාන්තාවන් පරාජය කර තිබේ.
එයත් මහේන්ද්‍ර සිං දෝනි පන්නයේ හයේ පහරකිනි. එයත් පන්දු වාරයක්ම ඉතිරිව තිබිය දී ලබා ගත් පහසු ජයකි.
ඉතාමත් ආයාසායකින් සහ විශාල ආයෝජනයකින් ගොඩ නැගූ ඉන්දීය කාන්තා ක්‍රිකට් අධිරාජ්‍යයේ දොරටු බිඳ දැමීමට කෙසඟ ශ්‍රී ලංකා යුවතියන් සමත්ව තිබේ.
සමස්ත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට මේ පරාජය දැනුණේ ආසියානු කුසලානය ගිලිහීමෙන් පමණක් නොවේ.
ඔවුන් පරාජය වූයේ චමරි ට නම් ඔවුන්ට නිදහසට කරුණක් ඉතිරි වීමට තිබුණි.
තර්කයකින් තොරවම චමරි අතපත්තු ලොව හොඳම කාන්තා පිතිකාරිණියයි.
ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සනත් ජයසූරියයි. ඇයගේ දිනයේ දී ඇය නැවතීමට සමත් කණ්ඩායමක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැත.
ඈ ලොව පුරා ලීග ක්‍රීඩා කර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකි. ඇය ඉදිරියේ පරාජය වීමට සමාව හිමි වේ.
නමුත් ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමේ පරාජය ස්ථිර කළේ ඒ කිසිවක් නොමැති හර්ෂිතා සමරවික්‍රම ය.
වේදනාත්මක හයේ පහර එල්ල කළේ යොවුන් කවීෂා දිල්හාරි ය.
චමරි ගේ දැවී යාමෙන් පසුව එම පරාජය කිසිසේත්ම ඉන්දියාව විසින් බලාපොරොත්තු වූ එකක් නොවේ.
පන්දු වාරයක් ඉතිරිව තිබිය දී, හයේ පහරකින් තරගය අවසන් වීම ඔවුන්ට දරුණු වේදනාත්මක පරාජයක් වන්නේ එබැවිනි.
ඒ සටහන් වූයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී සිටීමයි.
ඒ ලියැවුණේ තවදුරටත් ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුළ ඉන්දියාවට හිමි නොවන බවයි.
1980 දශකයේ ටෙස්ට් වරම් දිනා ක්‍රිකට් ලෝකයේ ලිලිපුට්ටන් වූ කණ්ඩායමක්, නොයෙකුත් තාඩන පීඩන මැදින් ලෝක ශූරයන් කරවූ අර්ජුන රණතුංග ගේ පුරාවෘත්ත ගමන දැක ගැනීමට අලුත් පරපුර වාසනාවන්ත නොවීය.
මහා නායකත්ව පෞරුෂයකට, දේශප්‍රේමීත්වය සහ කැපවීම එක් වූ යොවුන් තරුණයන් පිරිසක් එක් වූ කල ලඟා කරගත හැකි විශ්මකර්ම ජයග්‍රහණ ඔවුන් දුටුවේ නැත.
නමුත් චමරි ගේ ගමන දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ.
චමරි ඒ පියවර තබන්නේ අර්ජුන ගමන් කළ අඩිපාරේ ය.
මීට වසර දෙකකට පෙර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අඟුටුමිටි ජාතියක්, අද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායමකි.
එළඹෙන ලෝක කුසලානයේ ප්‍රියතම සහ බලවත්ම කණ්ඩායමකි.
ඒ විශ්වකර්ම ක්‍රියාව අහම්බයක් නොවේ. ඒ පසුපස ඇත්තේ කැපවීම, උත්සාහය සහ ආත්ම විශ්වාසයයි.
‘කිසිවෙකු හෝ කළ නොහැකි යැයි කිවහොත්, එය සිදු කරනා පළමුවැන්නා වන්න.’
ජාතික මාධ්‍යක් ඉදිරියේ චමරි කියූ ඒ කතාව හුදෙක් වචන නොවේ. ඒ ඔවුන්ගේ ජීවන දර්ශනයයි.
මින් වසර කිහිපයකට පෙර මේ ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි කාලයේ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජීවන වෘත්තියක් වූයේ නැත.
මේ බොහෝ ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩා කළේ ඇම්මට සහ රට නියෝජනය කිරීමේ ආශාවට මිසෙක ඉන් මුදල් ඉපැයීමට නොවේ.
ඔවුන් බොහෝ දෙනෙක් සිය ජීවිකාව උදෙසා ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව වෙනත් රැකියාවකට කාලය මිඩංගු කළෝය.
කොටින්ම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආම්පන්න, පෝෂ්‍යදායි ආහාර අවශ්‍යතා සපුර ගත්තේ එවැනි රැකියාවක පිහිටෙනි.
හරියට 1996 ශ්‍රී ලංකා කණ්ඩායම වාගේමය.
වර්තමානය වන විට එම තත්වය වෙනස් වී තිබෙන බව ඇත්තය. දැන් ඔවුන් සැලකිය යුතු මුදලක් උපයයි.
එනමුත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේත්, ඔවුන්ගේ කැපවීම සහ උත්සාහයේ මුඛ්‍ය අරමුණ වූයේත් රට දිනවීමට විනා පුද්ගලික වරප්‍රසාද ලඟා කර ගැනීමට නොවේ.
ඔවුන්ගේ මේ සාර්ථකත්වයට එයත් ප්‍රධාන හේතුවකි.
මේ උදා වී තිබෙන්නේ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උච්ඡස්ථානය කරා යන ගමනයි.
ලැබූ ජයග්‍රහණ සමග විශාල රසික ආකර්ෂණයක් සහ අවදානයක් කණ්ඩායමට හිමිව තිබේ.
වෙනදා කාන්තා ක්‍රිකට් තරග නොනැරඹූ බොහෝ දෙනෙක් මේ මොහොතේ ඔවුන් වර්ණනා කරමින් සිටියි.
මාධ්‍යයේ වැඩි ඉඩක් ඔවුන් වෙනුවෙන් වෙන් වේ. පුවත්පත් සහ සඟරා වල මුල් පිටු ඔවුන්ගේ රුවෙන් සැරසේ.
මෙය නිවැරදිව කළමනාකරණය කළ යුතු තත්ත්වයකි.
මේ මොහොතේ විකිණෙන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔවුන් විකිණීමට බොහෝ දෙනෙකු උත්සාහ කරනු ඇත.
කීර්තිය උදෙසා අලුත් කෝකියන් බිහි වීමට ඉඩ තිබේ.
එමෙන්ම ‘මුදල්’ සාධකය ද නිවැරදිව කළමනාකරණය කළ යුතුම දෙයකි.
දක්ෂ නැවියන් නිර්මාණය කරන්නේ චන්ඩ මුහුද ය. ශක්තිමත් මිනිසුන් නිර්මාණය කරන්නේ අපහසු කාලයන් ය.
ඊයේ ජයග්‍රහණයත් සමග ත්‍යාග මුදලට අමතරව ඩොලර් ලක්ෂයක මුදලක් ද කණ්ඩායමට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
බොහෝ කැපකිරීම් මැද රට දිනවූ මේ ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතු උපරිම ගෞරවය සහ වරප්‍රසාද ලබා දිය යුතු ය. ඒ බවට සැකයක් නැත.
එනමුත් මුදල් සාධකයට ඔවුන් සතු ජයග්‍රහණයට ඇති දැවෙන ගින්න නිවා දැමීමට ඉඩ නොදීම ඔවුන්ටම භාරය.
අර්ජුන ලා වෙහෙස මහන්සි වී ගොඩනැගූ මෙරට පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව පසුකාලීන පරම්පරාව විසින් කඩා බිඳ දැමීමට ප්‍රධාන හේතුව වූයේ මුදල් සාධකයයි.
පරාජයන් සමග මුහුණ දෙන අභියෝග වලටත් වඩා විශාල අභියෝග ජයග්‍රහණයන් සමග පැමිණේ.
නමුදු එම අභියෝග වලට ද මුහුණ දී සාර්ථකව ජය ගත හැකි බව මේ පුංචි ක්‍රීඩිකාවන් ඔප්පු කර තිබේ.
මේ ඔවුන්ගේ හෝරාවයි. සියලූම ආදරය සහ ගෞරවය ඔවුන් වෙතම පමණක් යොමුව විය යුතු මොහොතයි.
සුබ පැතුම් සහ ගෞරවය පමණක් ඔවුන්ට හිමි විය යුතු මොහොතයි. ඔවුන් ඊට ඕනෑවටත් වඩා සුදුසු ය.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වටා මහා රසික පිරිසක් නොසිටි කාලයේ පවා ඔවුන් දිරිමත් කළ, ඔවුන් වෙනුවෙන් අකුරු කළ නිරීක්ෂකයෙකු වශයෙන් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට හදවතින්ම සුබ පතමි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...