අද (23) තුෂාරි මානවඩු කියන අලුත් කිවිඳියකගේ “සිහින ඇහිඳිමු” කියන කවි පොත දොරට වැඩීමේ උත්සවයට සහභාගි වුණා. කවි සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙන ඒ පොත සම්පූර්ණයෙන් කියවන්න තවම බැරි වුනත් එහි ඇරඹුමෙහි සඳහන් කර තිබූ ලෝකයේ වැඩිමනත් ගැහැණුන්ට පොදු වේදනාවක්, හැඟීමක් සහ වුවමනාවක් වන “මට මම වෙන්න ඕන” කියන අදහස ගැන යමක් ලියන්න හිතුනා.
ඇගේ කවි රාශියක් පිළිබඳව එතන ප්‍රධාන දේශනය කරපු මහාචාර්ය සරත් විජේසූරිය, මේ කතුවරියගේ වර්තමාන භූමිකා වන ගෘහණියක්, මවක්, බිරිඳක්, විදර්ශන පොත් ප්‍රකාශන ව්‍යාපාරයෙ ප්‍රධානම කලමනාකාරියක් ආදී වශයෙන් වන ඇගේ භූමිකා සියල්ල මැද්දෙන්, හරියට අපි පොළොව හාරද්දි කාලාන්තරයක් තිස්සේ පස් වලට, ගල් වලට යට වෙලා, හිරවෙලා, තදවෙලා තිබුණු දිය බුබුලක් පස් කඩාගෙන මතුවනවා වගේ ඇයගෙත් “මට මම වෙන්න ඕන” හැඟීම, උවමනාව ඇගේ කවි තුළින් මතුවෙලා තිබෙන ආකාරය හොඳින් මතු කළා.
විශේෂයෙන්ම සරත් විජේසූරිය මහතාගේ දේශනයේ අවසාන කොටසෙදි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හා සාහිත්‍ය නිර්මාණ තුළින් අතීත ආසියාතික සහ වැඩවසම් යුගයේ සාහිත්‍ය දෘෂ්ටිවාදය ඇතුලේ කාන්තාව හිර කර තිබෙන ආකාරය පමණක් නොව කාන්තාව “ස්වභාවයෙන්ම” ඉතා අගතිගාමී චරිත ස්වභාවයකින් යුක්තය කියන වැරදි, මනුෂ්‍ය විරෝධී දැක්ම පිළිබඳව හොඳ විවරණයක් කලා.
විශේෂයෙන්ම අපි කුඩා කාලයේදී කියවපු විලාසිනියකගේ ප්‍රේමය නැමති කෘතිය පදනම් කරගෙන කීර්තිය හා මුදල් කොපමණ තිබුනද පරත්වාරෝපණයට ලක්වී, තමාට තමා අහිමි වී තිබූ “සාමා” නම් ප්‍රභූ වෛශ්‍යාව “මට මම වෙන්න ඕන” කියන ස්ථාවරයට ගිහින් ඇය සමග විවාහ වීමට කැමති මිල මුදල්, තනතුරු යහමින් ඇති සිටුවරු, කුමාරවරු පසෙකලා මරණයට නියම කර සිටි සොරෙක්වූ හාරිත සමග පෙමින් වෙලීම පිළිබඳ කතාව ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්.
නමුත් සාමාගේ එම “මම වගේ වීමේ උත්සාහය”, තමන් පරත්වාරෝපණයෙන් තොර මනුෂ්‍යයෙක් වීම සහ පරත්වාරෝපණයෙන් තොර තවත් මනුෂ්‍යයෙක් සමග ආදර සබඳතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සාහය අවසානයේදී පරාජයට පත් වෙනවා. ඒකට හේතුව ඇගේ උත්සාහයේ වැරැද්ද නොවේ. ඇගේ අතීත වෛශ්‍යා ජීවිතයේ “කැළලද” නොවේ. “අවසර කල් රහස් තැන වරදෙ නොබැඳෙන ගැහැනු”පිළිබඳ වැරදි ප්‍රවාදය අනුව “ගැහැණුන්ගේ හැටි” නිසා ද නොවේ.
ඒ ගැහැණියකට “මට මම වගේ වෙන්න ඕන” යන්න සාක්ෂාත් කර ගැනීම ඉතාම පුළුල් සමාජ විප්ලවයකින්, සමාජ පරිවර්තනයකින් මෙහා සිදු කර ගැනීම අති දුෂ්කර නිසාය.
මිනිසුන් හා භාණ්ඩ අතර වෙනසක් නොදකින, මානව සම්බන්ධතා වාණිජ සම්බන්ධතා බවට පත් වී ඇති සමාජයක් යනුම, එහි අඩිතාලමම, නැතිනම් එහි DNA පිටපත් තුළම ලියැවී ඇති දෙයක් නම් විශේෂයෙන්ම ශ්‍රමිකයා ප්‍රතිනිෂ්පාදනය කිරීමේ (ඊළඟ දවසේ ශ්‍රමය වැගිරීමට අවශ්‍ය කරන ශාරීරික හා මානසික ප්‍රතිනිෂ්පාදනය) සිදු කරන ප්‍රධාන ස්ථානය පවුල, නැතිනම් නිවස බවයි.
ඊළඟ දවසේ ශ්‍රමය වැගිරීමට අවශ්‍ය කරන ශාරීරික හා මානසික ප්‍රතිනිෂ්පාදනය පවුල තුළින් සිදු කරන බව කීවද එය ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ කාන්තාවයි.(ආහාර පිසීම, ඇඳුම් සේදීම, දරුවන් රැකබලා ගැනීම, අප වැනි රටවල නම් වැඩිහිටියන් රැක බලාගැනීම, ඥාති සබඳතා පවත්වා ගැනීම, පවුලේ සාමාජිකයන්ගේ භෞතික හා මානසික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම….).
ධනවාදය තුල මේ ශ්‍රමිකයා ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය මූලික වශයෙන්ම දරන්නේ ගැහැණිය “තමන්ට තමන් වගේ වීම සඳහා” විවිධ දේ කිරීමට තිබෙන කාලය, දැනුම, ශ්‍රමය, ඉඩකඩ අහිමි කරගෙන කටයුතු කිරීමෙනි.
(සභාවේ දී ඉදිරිපත් වූ, ඇය වසර විස්සක් පමනම “නොලියු” ප්‍රධාන හේතුවත්, හැම වැඩක්ම ටික ටික කලබලෙන් මෙන් කරන හේතුවත්, ඉහත සඳහන් හේතුවම මිස අනෙකක් නොවේයයි ඇගේ පුද්ගලික ජීවිතය ගැන කිසිවක් නොදන්නා මම සැක නැතිව විශ්වාස කරමි. ලෝකයේ වැඩිපුරම කෑම උයන්නේ කාන්තාවන් වුවත් ලෝකයේ හොඳම සූපවේදීන් ,ෂෙෆ්ලා (Chefs) පිරිමින් වන්නේ ඇයිද යන්නත්, ලෝකයේ වැඩිපුරම ඇඳුම් මසන්නේ ගැහැණුන් වුවත් ලෝකයේ හොඳම ඇඳුම් මසන්නන් පිරිමින් වී ඇත්තේ කෙසේද යන්නත් ගැන කලපනා කිරීම පමණක් මෙය අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය)
එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම “හොඳ ගැහැණියකගෙ” යුතුකම හා වගකීම බවත්,ඒ “හොඳ ගැහැණිය” බවට කවදා හෝ පත්වීම ඇගෙ ජීවිත අරමුණ විය යුතු බවත්, ඇයට හා පිරිමි සියලු දෙනාටම ඒත්තු ගැන්වීම දරුවාට වයස අවුරුදු දෙකේදී පමණ සිට සියලු සංස්කෘතික උපකරණ මගින් ඒත්තු ගන්වනු, “ශික්ෂණය” කරනු ලැබේ.
ඒ නිසා ගැහැණුන් අති බහුතරයක් අන්න ඒ “හොඳ ගැහැනියගේ ප්‍රතිමාව” කරා ළඟාවෙන්න දරන උත්සාහයට,ගමනට තම ජීවිතය යැයි ද, ජීවත්වනවා යයිද විශ්වාස කරයි. පිරිමින් සාතිශය බහුතරයක් ද ගැහැණියකගෙ ජීවිතයේ අරමුණ එම “හොඳ ගැහැණියගේ ප්‍රතිමාව” ආසන්නයට යෑම බව තදින් විශ්වාස කරයි.
ඒ “හොඳ ගැහැණියගේ ප්‍රතිමාව” ළඟට යන ගමන තමන්ගේ හැකියාවන්ට, ආසාවන්ට, වුවමනාවන්ට, හැඟීම්වලට කොපමණ ප්‍රතිවිරෝධී වුණත් “හොඳ ගැහැනියකගෙ ප්‍රතිමාව” තිබෙන විශාල ගල්ගුහාවට යෑමට ඇයද උත්සාහ කරයි.ඇය හති වැටෙන තැන්වලදී, මේ කවි පොතේ ඇති සමහර කවි වැනි අදහස් හිතෙන විටදි, ආර්ථික දැතිරෝධ වලින් මෙන්ම පැරණි යෝධ සංස්කෘතික කඹවලින්ද ඇයව “ප්‍රතිමාව දෙසටම” අදිනු ලැබෙයි. ඇයට “තමන් වීමට ඉඩ නොදෙන” මේ ගමන තමන්ට එරෙහි එකක් බව බොහෝ ගැහැණුන්ට දැනුනත්, ඒ උරුමයක් කර තිබෙන කරුමය වෙනස් කරන්න ඕනය, වෙනස් කරන්න පුළුවන්ය කියන අවබෝධය හා ක්‍රියාකාරීත්වය බොහෝ දෙනෙක්ට ලබාගන්න නොහැකි වෙනවා.
එම්.එස්. ප්‍රනාන්දු ගායනා කරන බොහොම ප්‍රසිද්ධ ගීතයක මෙහෙම තිබෙනවා.
“පැල්පත තුළ මැණික් පහන වීලා
නංගිගේ හොඳ නෑනන්ඩිය වීලා
අම්මගේ සිත දිනු ලේලිය වීලා
ආල වඩන මගේ සොඳුර වීලා
එනදා, නොවරදා, කියනදා ,කවදදෝ..”
මේ සින්දුවෙ කියන විදියට පැල්පත තුළ මැණික් පහනකුත් වෙලා,නංගිගේ හොඳ නෑනන්ඩිත් වෙලා, අම්මගේ හිත දිනා ගත්තු ලේලිත් වෙලා,මට ආල වඩන බිරිඳත් වෙන්න කටයුතු කරන්න උනාට පස්සේ ඒ ගැහැණියට,
“එයා වෙන්න වෙලාවක් කොහෙන්ද?”
ඒ ගැහැණියගේ නම විශාකා උනත්, පාර්වතී උනත්,මරීනා උනත්, මේරි උනත් “තමන් වගේ වෙන්න” වෙන්නේ නැහැ. ඇයට සිද්ධ වෙන්නේ තමන්ගේන් පරිබාහිර චරිතයකට ආරූඪ වෙන්න. ආරූඪ වුණා වගේ ඉන්න.
මේ සින්දුවේ තියෙන “හොඳ ගැහැණියගේ ප්‍රතිමාවේ ප්‍රධාන ලක්ෂණ ටික” අද කියලත් ලොකු වෙනසක් නැහැ.
ඒ නිසා මේ සමාජය ඇතුලෙ පිරිමින්ටත් වඩා වැඩිපුර පරත්වාරෝපිත තත්ත්වයට ගොදුරු වෙන්නේ ගැහැණිය. ඒ නිසාම එය කඩා දමන්න වැඩිම උවමනාව ඇත්තෙත් ගැහැණුන්ට.
ඒකෙ තනිවම කරගත යුතු කොටසකුත්, ගැහැණුන් එක්ව කරගත යුතු කොටසකුත්,
ගැහැණු පිරිමි සියලු දෙනා එක්ව කළ යුතු මහා භාවිතාවකුත් තිබෙනවා.
ඒ නිසා විලාසිනියකගේ ප්‍රේමයේ “සාමා” එය තනියම පුපුරවා හරින්න උත්සාහ කළ ජයග්‍රාහිකාවක් මිස පරාජිතයෙක් නොවේ.
“මට මම වගේ වෙන්න ඕනායි” සිතන,ලියන තුෂාරි ද ඇතුළු අපේ යුගයේ ගැහැණුන්ද ජයග්‍රාහකයන් මිස පරාජිතයන් නොවේ.
දැන් ඇත්තේ ගැහැණුන් සහ මිනිසුන් එක්ව පරත්වාරෝපිත ,දෙබිඩි ජීවිතය වෙනුවට මනුෂ්‍ය සබඳතාවලින් පිරුණු සමාජයක් ගොඩනැගීම සඳහා තනි තනිවද, එක්වද තමා නියැලෙන සෑම ක්ෂේත්‍රයකම කටයුතු කිරීමයි.
මට මම විය හැක්කේ සෑම ආකාරයකම දෙබිඩි බව අත්හැර දැමීමෙන් පමණි. එය කළ හැක්කේ මම කවුදැයි අර්ථ ඇති කරන අනෙකුත් මනුෂ්‍යයන් ද එසේ වීමෙන් පමණි.
මට මා විය හැක්කේ මගේ අනෙකාටද ,
“ඇයට ඇයම විය හැකි”,
“ඔහුට ඔහුම විය හැකි” සමාජයක පමණි.
ඒ සිහිනය ඇහිඳිමු!
” The free development of each is the condition for the free development of all”
Karl Marx-Communist Manifesto