කාල රේඛාව හෙවත් කාංචනා අමිලානිගේ ග්ලාස් බ්ලොක් පොළොවේ ගැහිල්ල

Share post:

කාල රේඛාව බිහිවෙන්න කලින් කාංචනා අමිලානිගේ ලිවීම් ගැන මට දැනෙන විදිහ ගත්තොත්, ඒ ලිවීම්වල හැම තිස්සෙම වගේ යම් ආකාරයක මන්දහාස සෝපහාසයක් නිදන්ගත වෙලා තිබ්බත්, ඒක තිබ්බේ වීදුරු ඝනකයක් ඇතුළේ මුද්‍රිත ත්‍රිමාණ වස්තුවක් වගේ. ඒක වීදුරුව ඇතුළේ තිබුණා. ඒත් ඒක වීදුරුව ඇතුළේ තිබුණේ නෑ.

ඊට පස්සේ, යේෂාගේ පෙපර්මින්ට් පොත ලෝන්ච් වෙච්චි දවසේ කාංචනා හම්බුණාම, එයා ඇවිත් තියෙන්නේ අර වීදුරු ඝනකය කොහේ හරි ගලක ගහලා කියල මට හිතුණා. ඒවා කුඩු කරන එක ලේසි නැති බව මම දන්න නිසා, ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒත් කවි කිවිඳියෝ ග්ලාස් බ්ලොක් පොළොවේ ගැහුවම අනික් මිනිස්සුන්ගේ හදවත් ඇතුළට වීදුරු කටු විසිවෙන බව දන්න නිසා මම වැඩිදුර විස්තර අහන්න ගියෙත් නෑ.
සති තුන හතරකට කලින්, කාංචනා අමිලානි අලුත් පොතක් කරනවා කියල දැනගත්තාම සහ ඒකෙ තියන කවිවල කැබලි ෆේස්බුක් එකේ පළවෙන්න ගත්තම, වීදුරු කටුවලින් සිද්ධවෙන කැපීම් සීරීම් සුවකරන බේතක් දෙකක් ප්‍රථමාධාර පෙට්ටියට එකතු කරගන්න ලංකාවේ පාඨක ප්‍රජාවට සිද්ධ වෙයි කියල මට හිතුණා. ඒත් ඒ කවිවල තිබුණු ආදර-මාජරීනිත මේද-තැවරුම්බර බවට මගේ ඒ හැටිම කැමැත්තක් තිබුණේ නැහැ. සමහර විට ඒ ගැහැනු වෙළඳපොළකට පිරිමි හඬින් ලියන මනුස්සයෙක් විදිහට මං තුළ තියන පූර්ව-නිශ්චිත අගතියක් වෙන්ඩත් ඇති. අපි හැමෝම මිනිස්සු නේ.

පොත දොරට වඩින මොහොතේදී තමන්ගේ කතාව කරමින් කාංචනා මෙහෙම කිව්වා: “මුලින් මම මගේ කවිවලින් මාව දැනගන්නවට හරිම අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඒත් දැන් ඒ අකමැත්ත ටිකෙන් ටික දියවෙලා ගිහිල්ලා. ඒක නිකං ලේඛකයකුගෙ සැනසීම වගේ එකක් වෙන්නත් පුළුවන්.” එතනින් තමයි මං හිතන්නේ, මම කාල රේඛාවේ දොර අරින අගුල හොයාගත්තේ. ඒ දොර ඇරලා අතුළට ගියාම මට තේරුණා, කාංචනා කියන්නේ ‘ආදරේ විශ්වයක්’ කියල නෙමෙයි, ‘විශ්වය ආදරයක්’ කියන එක කියල. ඒ දෙක දෙකක්. ඒ මොහොතේදී, ඒ රමණීය මාකටිං කැම්පේන් එක ඉවර වෙලා හැබෑ ප්‍රඩක්ට් එකේ රහ ගුණ මට දැනෙන්න පටන් ගත්තා. ඇඩ් එකේදී පොරොන්දු වෙනවට වඩා ප්‍රඩක්ට් එක සුපිරි වෙන එක මම කවදත් සෑහෙන්න ආසා කරන දෙයක්. ඒ නිසාම, (යම් යම් අගති-විරහිත විවේචන සහිතව වුණත්) මෑත කාලයේ ‘කවිය’ කියන එක සම්බන්ධයෙන් මම අතිශයින් ප්‍රිය කරන, ඒ වුණාට ගුහාගතයන් පුබුද්දාගන්න ඒ හැටි කැමැත්තක් නැති නිසා ප්‍රසිද්ධියේ කියන්න බෑ කියල හිතෙන ආකාරයේ වෙනසක් සිදුකරමින් ඉන්න ‘රසකතා’ එක ගැනත් සෑහෙන ආදරයක් ඇතිවුණා.

මේක ආදර කවි පොතක් නෙමෙයි. මේක කවියට ආදරේ කරවන්න ලියපු පොතකුත් නෙමෙයි. මේක කාංචනා අමිලානි තමන් ගැනම ආදරෙන් ලියපු පොතක්. කිවිඳියක් තමන්ට ආදරෙන් කවි ලියපුවාම තමයි ආදර කවි නොවන කවි ඇතුළෙත් ආදරේ හමුවෙන්නේ. ඒ ආදරේ අතරින්, ඉස්සර ග්ලාස් බ්ලොක් එකක් ඇතුළේ හිරවෙලා තිබ්බ අර මන්දහාස සෝපහාසය, බරැති ලෝකයක් වෙනුවෙන් නැගෙන සැහැල්ලු හිනාවක් බවට රූපාන්තරණය වෙලා දෝංකාර දෙනවා ඇහෙනවා. බොරු නම් පොත අරන් බලන්න.

කාංචනා කිව්වා, ‘ඔයාලගෙයි, මගෙයි කාල රේඛා ආයෙ එකට හැප්පුණොත් අපි තව කවි පොතකින් මුණගැහෙයි’ කියල. ඒවා දැනටමත් මූණට මූණ හැප්පිලා Accident First එකෙත් දාලා තියෙන්නේ කාංචනා. ඉතින් ඔයාට විකල්පයක් තියෙයි කියල මම හිතන්නේ නෑ.
ආදරේ කියන්නේ Big Bang එකටත් කලින් සිද්ධ වෙච්චි දෙයක් කියල විලාප ගහමින් ඉන්න මාකට් එකක් ඉස්සරහට ඇවිල්ලා, ආදරේ කියන්නේ Big Bang එකේ ඉඳන් අවුරුදු බිලියන ගාණක් ජීවය පරිණාමය වීම නිසා අත්වුණු රමණීයම ප්‍රතිලාභවලින් එකක් කියල පෙන්නලා දෙන්න තරමට කොන්දක් තිබීම ගැන ඔයාට මගේ කොන්දේසි විරහිත ආදරය!

තරිඳු ශ්‍රී ලොකුගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...