ගොඩනැගීම

Share post:

කාන්තා ආසියානු කුසලානයේ මැලේෂියාව සමග තරගයත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළා.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පැවරී ඇති නිසාත්, මේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දක්ෂතා අතර සිටින කාලසීමාවක් නිසාත්, තරගාවලියේ වැඩි වාසි ශ්‍රී ලංකාවට අත්වී තිබෙනවා
ඔවුන්ට අභියෝගයකට සිටින්නේ ඉන්දීය කාන්තාවන්.
නිමා වූ 2022 කාන්තා ආසියානු කුසලානයේත් ශ්‍රී ලංකාව අනුශූරතාවය ජය ගනිද්දී, ශූරතාවය ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.
නමුත් මෙවර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවෙනි ප්‍රබල තැනක සිටිනවා.
‘ඒ’ ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙද්දී, ‘බී’ ඛාණ්ඩයේ ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාව විසින් දිනා තිබෙනවා.
කණ්ඩායම් දෙකම මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන, අපරාජිතව සිටීමත් විශේෂත්වයක්.
තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මුල් තරග ද්විත්වය නැරඹීමේදී සුවිශේෂී සාධකයක් නිරීක්ෂණය කිරීමට හැකි වුණා.
ශ්‍රී ලංකාව මුල්ම තරගය ක්‍රීඩා කළේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
වර්තමානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අභියෝගයක් නොවූවත්, බංග්ලාදේශය ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කණ්ඩායමක්.
විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරුවා වන්නේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වූ හෂාන් තිලකරත්නයි.
හෂාන් ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිබඳ හොඳ අවබෝධයක් පවතින නිසා, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක්.
එම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්දැකීම් බහුල පන්දු බල ඇණියක් ක්‍රීඩා කළා.
එම තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් මෙසේයි.

38 හැවිරිදි උදේශිකා ප්‍රබෝධිනි, ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නියක්.

37 හැවිරිදි ඉනෝෂි ප්‍රියදර්ශනී, එවැනිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්.

34 හැවිරිදි අචිනි කුලසූරිය ද මේ තරගයට ක්‍රීඩා කළා.

32 හැවිරිදි සුගන්දිකා කුමාරි කණ්ඩායමේ ප්‍රබල වමත් දඟ පන්දු යවන්නියක්.

වර්තමාන කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකාවක් සහ සුපිරි තරුවක් ව සිටිනා වයස අවුරුදු 23 ක් වන කවීෂා දිල්හාරි ඉතිරි පන්දු යවන්නිය වුණා.
එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.
ශ්‍රී ලංකාවට එතරම් අභියෝගයක් එල්ල කළ නොහැකි මැලේෂියානු තරගයේ ශ්‍රී ලංකා පන්දු බලඇණිය බොහෝ වෙනස්.
15 හැවිරිදි ශෂිනි ගිම්හානි ට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් හිමි වුණා.
නවක ක්‍රීඩිකාවක් වන 21 හැවිරිදි කාව්‍යා කාවින්දි ට එම තරගයේ අවස්ථාවක් ලැබී තිබුණා.

22 හැවිරිදි සචිනි නිසංසලා මේ තරගයට ක්‍රීඩා කළා.

23 හැවිරිදි කවීෂා ද එම කණ්ඩායමේ ක්‍රීඩිකාවක්.

අමා කාංචනා ද කණ්ඩායමේ සාමාජිකාවක්. ඇයට වයස අවුරුදු 33 යි.

37 හැවිරිදි ඉනෝෂි ප්‍රියදර්ශිනි එම තරගයටත් ක්‍රීඩා කළා.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම තරග සඳහා භාවිතා කළ උපක්‍රමය කියවා ගත හැකියි.
කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වන තරගයේ දී, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සියලූම දෙනා එම තරගයට ක්‍රීඩා කළා.
තරගය ජය ගත්තා.
සාපේක්ෂව දුර්වල ප්‍රතිවාදීන් සමග තරගයේ දී නවක මුහුණු රැසකට අවස්ථාවන් ලබා දුන්නා.
ඔවුන්ට සිය ආත්ම විශ්වාසය වැඩි කර ගනිමින්, ජාත්‍යන්තර තරගයක අත්දැකීම් ලබා ගැනීමට හැකි වුණා.
සැබවින්ම නවක සහ අලුත් මුහුණු ක්‍රීඩාවට ගෙන ආ යුතු නියම ක්‍රමවේදය ද මෙයයි.
ඉතාම ප්‍රබල ප්‍රතිවාදීන් සමග පීඩනය උපරිම තරග වල දී නවක ක්‍රීඩකයන් ගෙනැවිත් අතහැර, එක් තරගයක් අසාර්ථක වූ පමණින් ඔවුන්ගේ ක්‍රීඩා දිවියම විනාශ කර දමනා තේරීම් පසුගිය සමයේ අප ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමෙන් දුටුවා.
ඒ අර්ථයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක විශිෂ්ටයි.
ඔවුන් ඉතාම සැලසුම් සහගතව මෙරට කාන්තා කණ්ඩායම ගොඩනගමින් සිටිනවා.
පසුගිය සමයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලබාගත් ජයග්‍රහණ අහම්බයන් නොව, විශිෂ්ට සැලසුමක ප්‍රතිඵල බව ඔවුන් පෙන්වමින් තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබාගත් එම ජයග්‍රහණයන් වර්තමානයට පමණක් සීමා නොකර, වඩා සුබදායී අනාගතයක් උදෙසා ද ඔවුන් කැපවී සිටිනවා.
මෙහි විශේෂ ස්තූතිය හිමි විය යුත්තේ නායිකා චමරි අතපත්තුටයි.
කණ්ඩායමක් තමන් මත යැපෙනවා නම්, තමන් එම කණ්ඩායමේ සුපිරි තරුව නම්, අති බහුතරයක් සිදු කරන්නේ එම තත්ත්වය දිගටම නඩත්තු කිරීමයි
තමන් නොමැතිව තරග ජය ගත නොහැකි බව පෙන්වා අවදානය, කීර්තිය, වර්ණනා සහ ප්‍රශංසා තනිව භුක්ති විඳීමයි.
ඒ සාමාන්‍ය පෘථග්ජන මිනිස් ස්වභාවය.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ට තනිව කීර්තිය භුක්ති විඳීමේ අවස්ථාව ඕනෑ තරම් තිබුණා.
කලෙක මෙරට කාන්තා ක්‍රිකට් නම් චමරි යැයි මතයක් රසිකයන් අතර තිබුණා.
ඔවුන් විශ්වාස කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග ජයගැනීමට නම් චමරි අතපත්තු පිත්තෙන් සාර්ථක විය යුතු බවයි.
යථාර්ථය ද එයම වුණා.
එවැනි පසුබිමක තමන් නොමැතිව පවා තරග ජයගත හැකි කණ්ඩායමක්, චමරි විසින් ම ගොඩනගමින් සිටීම පරාර්ථයේ සහ දේශප්‍රේමීත්වයේ සංකේතයක්.
තමන් මතම එල්ල වූ කීර්තියේ සහ ප්‍රශංසාවේ ආලෝකය සිය සාමාජිකාවන් කරා ද බෙදා හැරීම සාමූහික හැඟීමේ සංකේතයක්.
නියම නායකත්වයේ ලකුණක්.
මේ මොහොතේ චමරි, රුමේෂ් සහ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවමින් සිටින ආකාරය අධ්‍යනය කිරීම සහ විශ්ලේෂණය කිරීම අතිශය වැදගත් වන්නේ ඒ නිසයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...