පාස්කු ප්‍රහාරය : අපරාධකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අවනත නොවුණේ ඇයි ?

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම සෙල්ලමක් බවට පත්කර අවසන් ය. ජනතාවට දැන් ඒ ගැන ඇත්තේ අවම විශ්වාසයකි. වරින්-වර විවිධ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබිණි. එහෙත් ඒ සියල්ලේ නීතිමය පියවර මේ වන විටත් තිබෙන්නේ ප්‍රාථමික මට්ටමේ ය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සැලකුම් ලැබෙන්නේ ද ඒ ආකාරයෙන්ම ය. ලංකාවේ ඉහළ ම අධිකරණයෙන් ඒ වින්දිතයන් වෙනුවෙන් තීන්දුවක් ලබාදී තිබියදීත්, එය මෙතෙක් නිවැරදිව ඉටුවූයේ නැත. එක පැත්තකින් එය ලංකාවේ දැනට ක්‍රියාත්මක නීතියේ හැටියට අධිකරණයට අපහාස කිරීමකි. අනෙක් පැත්තෙන් මානුෂීයභාවය පිළිබඳ ප්‍රශ්නයකි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව 2023 ජුනි මාසයේ ලබාදුන්නේය. ඒ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් මගිනි. එම තීන්දුවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි සේවයේ එවකට හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි අංශයේ එවකට ප්‍රධානී නිලන්ත ජයවර්ධන, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරුවන් කෙරිණි.

වන්දිය කීයද?

ඒ අනුව වින්දිතයන්ට වන්දි ගෙවීමට අධිකරණයෙන් වරදකරුවන්ට නියෝග කෙරිණි. මීට අදාළ ව මෛත්‍රිපාල සිරිසේනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක්, හේමසිරි ප්‍රනාන්දුට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 50ක්, නිලන්ත ජයවර්ධනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, පූජිත් ජයසුන්දරට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, සිසිර මෙන්ඩිස්ට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 10ක් ගෙවීමට සිදු විය. මීට අමතරව රජයෙන් වින්දිතයන්ට රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එසේ ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් නියෝග කෙරිණි. නිලන්ත ජයවර්ධන තවමත් පොලිස් පරිපාලන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. මෙය හඳුන්වන්නේ පොලිසියේ දෙවැනියා ලෙස ය.

පෙත්සම්කරුවන් කවුද?

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලබාදී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ තීන්දුව ලබාදුන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි. ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන්, කතෝලික පියතුමන්ලා පිරිසක්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

රනිල් ඉවත් වෙයි

2019 අප්‍රේල් 21දා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල් ඉලක්ක කර එල්ල වූ මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු මියගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ. ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට අගමැති ධුරය දැරූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබිණි. එහෙත් ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නීතිඥයන් මගින් අධිකරණයට දැනුම් දුන්නේ සිය ධුර කාලය තුළ තමන්ට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

අධිකරණය අවසන් දිනය දෙයි

මේ නඩුවේ වන්දි ගෙවීම ආන්දෝලනයට තුඩුදුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ පිළිබඳ අවධානය යොමුකරන ලද්දේ වින්දිතයන් විසින් එම ගෙවීම් නිසිපරිදි සිදුනොකරන බව දැනුම්දීම නිසා ය. ඒ අනුව පසුගිය 15දා අධිකරණය තීන්දුවක් ගත්තේය. ඒ වන්දි ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙවීමට නියමිතව ඇති වන්දි මුදල් අගෝස්තු 30දාට පෙර ගෙවා අවසන් කළ යුතු බවටයි.
එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සැප්තැම්බර් 20දාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

මෛත්‍රී ලක්ෂ 580ක් ගෙවලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක (රුපියල් ලක්ෂ දහසක) වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි. ඉතිරි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.

ජනාධිපති කෙනෙකුට අවස්ථාව දුන්නොත් මොනවා වෙයිද?

ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මෙහිදී ප්‍රශ්න කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වන්දි අරමුදලක් ස්ථාපිත කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත් වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට බැවින් වන්දි ගෙවීමට වගඋත්තරකරුවන් විශාල කාලයක් ඉල්ලා සිටින්නේ නම් වින්දිතයන්ට වන්දි ගෙවන්නේ කෙසේද යනුවෙනි.
‘‍හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම කළ වන්දිය ගෙවීමට වසර දහයක කාලයක් ඉල්ලා තිබෙනවා. ඒක විශාල කාලයක්. හිටපු ජනාධිපතිවරයෙකුට මේ වගේ කාලයක් ලබාදුන්නොත් සෙසු පුද්ගලයනුත් ඒ වගේම කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම වුණාම වන්දි ගෙවන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. වින්දිතයන් තව-තවත් පීඩාවට පත්වෙනවා.’‍ ජනාධිපති නීතිඥවරයා මෙහිදී එසේ ද අවධාරණය කර තිබිණි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පවසා තිබුණේ හිටපු ජනාධිපතිවරයා අධිකරණ නියෝගයට අවනතව කටයුතු කර ඇති බවයි.

මෛත්‍රී කියන්නේ කුමක්ද?

‘‍ස්වාමීනි, මගේ සේවාදායකයා රාජකාරිය පැහැර හැරීමක් සිදුකරලා නෑ. ඔහු අධිකරණ නියෝගයට අවනතව කටයුතු කරලා තියෙනවා. රුපියල් මිලියන සියයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය ඔහුට නියෝග කළා. එයින් රුපියල් මිලියන පනස් අටක් ඔහු දැනටමත් ගෙවා තියෙනවා. ඉතිරිය වාර්ෂිකව රුපියල් ලක්ෂ පනහ බැගින් වසර දහයකින් ගෙවා අවසන් කරන්න ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිනවා.
‍හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මගේ සේවාදායකයා තමන්ට හිමි ආදායම් අධිකරණය හමුවේ පැහැදිලි කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඔහුට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ඉදිරිපත් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ වන්දි අයකර ගැනීම සඳහා පත්කර තිබෙන අධිකරණයක් නෙමෙයි.’‍ ජනාධිපති නීතිඥවරයා මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයේදී එසේ ද සඳහන් කර තිබිණි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ආන්දෝලනාත්මක චැනල් ෆෝ නාලිකාව පසුගියදා ප්‍රචාරය කළ වීඩියෝපටයකින් එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසින් තේරීම් කාරකසභාවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද පවසා ඇත. එම තේරීම් කාරකසභාවේ තීරණයක් ලැබෙන තුරු මේ නඩු කටයුතු කල්තබන ලෙස ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී ඉල්ලා තිබිණි.

නිලන්තගේ ලක්ෂ 750න් ලක්ෂ 41යි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ නිලන්ත ජයවර්ධනට ගෙවන ලෙස නියම කෙරුණු රුපියල් මිලියන 75ක වන්දි මුදලෙන් (රුපියල් ලක්ෂ 750) රුපියල් ලක්ෂ 41ක මුදලක් ගෙවා අවසන් බවයි.
‘‍ස්වාමීනි, මගේ සේවාදායකයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔහුට සිය පොලිස් රාජකාරි කාලසීමාව තුළ වැටුප් වශයෙන් ලැබී තිබෙන මුළු මුදල රුපියල් මිලියන විසි එකක් පමණයි. කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කරද්දි කැනේඩියානු ඩොලර් මිලියන හතරක් ද ඔහු උපයාගෙන තිබෙනවා. ඒ තමයි ඔහු සතු සමස්ත වත්කම.
‍මගේ සේවාදායකයාට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ නඩු 182ක් ද, කොළඹ දිසා අධිකරණයේ නඩු 116ක් ද ගොනුකරලා තියෙනවා. එම නඩුවලින් රුපියල් බිලියන දෙකකට අධික වන්දියක් වින්දිතයන් විසින් මගේ සේවාදායකයාගෙන් ඉල්ලා තියෙනවා. මගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ. ඔහු සිරගත කිරීමටයි මේ ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙ. මගේ සේවාදායකයා හිතාමතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමක් කරලා නෑ.’
මෙසේ පවසා ඇති ජනාධිපති නීතිඥවරයා, නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව ද අවධාරණය කර ඇත.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතිඥ ශ්‍යමල් කොල්ලු‍රේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පූජිත ජයසුන්දර විශ්‍රාමික රාජ්‍ය සේවයකයෙකු පමණක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ඔහු විසින් හිතාමතා පැහැර හැර නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

බරපතළ තත්ත්වයක් – ජනාධිපති නීතිඥවරු එක පෙළට කියති

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් යම් පාර්ශ්වයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ පැහැදිලි කර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට නියමිත නිසා එහි තීරණය ලැබෙන තුරු මේ නඩුවේ කරුණු සලකා බැලීම අත්හිටුවන ලෙස කර ඇති ඉල්ලීම පදනම් විරහිත බව ද ඔහු පෙන්වා දී තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙන්වා දී ඇත්තේ අධිකරණයෙන් නියම කළ සම්පූර්ණ වන්දි මුදල් ගෙවීම අපහසු යැයි වගඋත්තරකරුවන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කැඳවා විමර්ශනයක් පවත්වා සුදුසු නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබෙන බවයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහිදී පවසා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද වන්දි මුදල් ගෙවීමට වසර 10ක කාලයක් ඉල්ලා සිටීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක් බවයි. මේ වන්දි ගෙවීම පැහැරහැරීමෙන් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇතැයි තවත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙක් අවධාරණය කළහ.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විනය පරීක්ෂණයට අදාළ වාර්තාවක් එම පරීක්ෂණ කමිටුව විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඇති බව පවසා තිබිණි.
මේ අතර ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් තමන්ට අධිකරණයෙන් නියම කළ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති අතර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ වන්දි ගෙවීම පිළිබඳව සෑහීමකට පත්වීමට ද අධිකරණය තීරණය කර තිබිණි.

වගඋත්තරකරුවන් කළ යුත්තේ කුමක්ද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම වෙනතක තිබියදී, වින්දිතයන් ඊට වගකිවයුත්තන් කොට, ඔවුන් ව අසරණ කර දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැක. වන්දි ගෙවීමට නොහැකි නම්, මේ වගඋත්තරකරුවන්ට කිරීමට ඇත්තේ තමන් දන්නා රහස් ප්‍රසිද්ධ කිරීමයි. එවිට අධිකරණයෙන් කෙසේ වෙතත් ඔවුන්ට ජනතාවගෙන් යම් සහනයක් ලැබෙනු ඇත.

  • ශාලික විමලසේන

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...