“කවි කොහෙන්වත් එන්නෑ. කවි තියෙන්නෙ ඔයාගෙ ඇතුළෙමයි”

Share post:

කවි එන්නෙ කොහෙන්ද කියලා අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවනෙ. ඒකට එක, එක කාලවල එක, එක උත්තර මමත් දීලා තියෙනවා. අවුරුදු හතකට පස්සෙ අලුත් කවි පොතක් කරපු නිසා මං හිතුවා ඒකට ආයෙ උත්තරයක් දෙන්න.

කවි කොහෙන්වත් එන්නෑ. කවි තියෙන්නෙ ඔයාගෙ ඇතුළෙමයි. අපි හැමෝගෙම ඇතුළාන්තෙ මෙන්න මේ කවි තියෙනවා. තිබ්බට සමහරු ලියන්න දන්නෑ. සමහරුන්ට උනන්දුවක් නෑ. තවත් අය හිතනවා මොකට ලියනවද? කියලා. මෙන්න මේවත් එක්ක ගොඩ දෙනෙක්ගෙ කවි තමන්ගෙ ඇතුළෙම සීල් වෙලා තියෙනවා.

තව කට්‍ටියක් ඉන්නවා, මේ අයට කොහෙන් හරි ගිනි පුළිඟුවක් පෑගිලා ඒවා ලියන්න පුළුවන් වෙනවා. ඒ අය ලියන්න ක්‍රමත් හොයාගන්නවා. ඉතිං එයාලා කවි ලියනවා. හරිම වචනෙ තමයි මුලින් කවි ලියලා පස්සෙ කවි ලියැවෙනවා කියන එක. මගේ කවිත් ලියපුවායින්, ලියැවෙන ඒවාට මාරු වෙච්ච ඒවා.
ඔහොම යද්දි තව ප්‍රශ්නයක් එනවා. ඒ ඇයි අපි එහෙම කවි ලියන්නෙ කියන එක. මට හිතෙන්නෙ ඒක ලොකු වුවමණාවක්. ඔයාට ඕන වෙනවා ඔයාව භාහිර සමාජයට අඳුන්වලා දෙන්න. ඔයා හිතන දේවල්වල මොකක් හරි අලංකාරයක් තියෙනවද කියලා ඒකෙන් ටෙස්ට් කරලා බලන්න ඕන වෙනවා. ලිවීමෙ කියන්නෙත් ලේසි ටෙස්ට් කිරීමේ මාදිලියක්. ලිවීමෙත් බොහොම කැඩෙන, බිඳෙන සුළු කොටසට තමයි කවි අයිතිවෙන්නෙ. මොකද කවි ලිවීමේදී දිගින් දිගටම ඔයාට වෙන කෙනෙක් වෙන්න අමාරු නිසා. මොනයම් වෙලාවක හරි ඔයාට ඔයාගෙම කොටස් කවි විදිහට දන් දෙන්න වෙනවා. ඒක හරිම අසීරු වගේම වේදනාකාරී දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නෑ. දැන් හැරෙන්න බෑ.

සමහර කවිවල මුහුණු තියෙනවා. සමහර කවිවල ඔයාම ඉන්නවා. කොයිතරම් ප්‍රහේලිකා කිව්වත් ඔන්න ඔයාව පේන්න පටන් ගන්නවා. මම හිතන්නෙ මෙන්න මේක තමයි කවියකුගෙ ජීවන චක්‍රය.

මුලින් මම මගේ කවිවලින් මාව දැනගන්නවට හරිම අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඒත් දැන් ඒ අකමැත්ත ටිකෙන් ටික දියවෙලා ගිහිල්ලා. ඒක නිකං ලේඛකයකුගෙ සැනසීම වගේ එකක් වෙන්නත් පුළුවන්. සමහර කවියො වයසට යනවා. හැබැයි කාලය තරණය කරන ගමන් සදාකාලික තාරුණ්‍යයේ ඉන්නත් පුළුවන්. ඒක තෝර ගැනීමක්. මට සදාකාලික තාරුණ්‍යයක් ඕන නෑ.

ඒ නිසාම පහුකාලීන සමහර කවිවලින් මාව මුණගැහෙන්න පුළුවන්කම ලැබෙනවා. ‘ආ..මේ ඉන්නෙ..’ කියලා කෙනෙකුට අත දික්කරල කියන්න පුළුවන් වෙනවා. කලින් අකමැති වෙලා හිටපු දේකට දැන් මම කැමති වෙලා. මේක උදාහරණෙකට කවියක් කියවන්නත් පුළුවන්. එහෙම නොකර කවියෙ නොම්මරය කියලා නිකං ඉන්නත් පුළුවන්. මම නිකං ඉන්නම්!!

  1. මතක දරුණු (69 පිටුව)

අපි ආයෙත් කාල රේඛාවට ආවොත් මේ කවි අවුරුදු හතක් තිස්සේ ලියපුවා බව කියන්නම ඕනා. ඒකමයි පොතේ නම ‘උඩ නටන තිත් තුන’ නොවී ‘කාල රේඛාව’ වුණෙත්. කවි පොත කියවන ඔයාලගෙයි, මගෙයි කාල රේඛා ආයෙ එකට හැප්පුණොත් අපි තව කවි පොතකින් මුණගැහෙයි.
බොහොම ස්තූතියි හැමෝටම!! හැමෝටම කියන්නෙ හැමෝටම. කොටින්ම ඊයෙ උදේ වරුවෙයි-රාත්තිරියෙයි ආපු බත්කූරට පවා!!

(අද(21) උදේ Lakmahal Community Library තිබ්බ Book review ඉවෙන්ට් එකේ කරපු විනාඩි පහේ කතාව)

කාංචන අමිලානි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...