“කවි කොහෙන්වත් එන්නෑ. කවි තියෙන්නෙ ඔයාගෙ ඇතුළෙමයි”

Share post:

කවි එන්නෙ කොහෙන්ද කියලා අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවනෙ. ඒකට එක, එක කාලවල එක, එක උත්තර මමත් දීලා තියෙනවා. අවුරුදු හතකට පස්සෙ අලුත් කවි පොතක් කරපු නිසා මං හිතුවා ඒකට ආයෙ උත්තරයක් දෙන්න.

කවි කොහෙන්වත් එන්නෑ. කවි තියෙන්නෙ ඔයාගෙ ඇතුළෙමයි. අපි හැමෝගෙම ඇතුළාන්තෙ මෙන්න මේ කවි තියෙනවා. තිබ්බට සමහරු ලියන්න දන්නෑ. සමහරුන්ට උනන්දුවක් නෑ. තවත් අය හිතනවා මොකට ලියනවද? කියලා. මෙන්න මේවත් එක්ක ගොඩ දෙනෙක්ගෙ කවි තමන්ගෙ ඇතුළෙම සීල් වෙලා තියෙනවා.

තව කට්‍ටියක් ඉන්නවා, මේ අයට කොහෙන් හරි ගිනි පුළිඟුවක් පෑගිලා ඒවා ලියන්න පුළුවන් වෙනවා. ඒ අය ලියන්න ක්‍රමත් හොයාගන්නවා. ඉතිං එයාලා කවි ලියනවා. හරිම වචනෙ තමයි මුලින් කවි ලියලා පස්සෙ කවි ලියැවෙනවා කියන එක. මගේ කවිත් ලියපුවායින්, ලියැවෙන ඒවාට මාරු වෙච්ච ඒවා.
ඔහොම යද්දි තව ප්‍රශ්නයක් එනවා. ඒ ඇයි අපි එහෙම කවි ලියන්නෙ කියන එක. මට හිතෙන්නෙ ඒක ලොකු වුවමණාවක්. ඔයාට ඕන වෙනවා ඔයාව භාහිර සමාජයට අඳුන්වලා දෙන්න. ඔයා හිතන දේවල්වල මොකක් හරි අලංකාරයක් තියෙනවද කියලා ඒකෙන් ටෙස්ට් කරලා බලන්න ඕන වෙනවා. ලිවීමෙ කියන්නෙත් ලේසි ටෙස්ට් කිරීමේ මාදිලියක්. ලිවීමෙත් බොහොම කැඩෙන, බිඳෙන සුළු කොටසට තමයි කවි අයිතිවෙන්නෙ. මොකද කවි ලිවීමේදී දිගින් දිගටම ඔයාට වෙන කෙනෙක් වෙන්න අමාරු නිසා. මොනයම් වෙලාවක හරි ඔයාට ඔයාගෙම කොටස් කවි විදිහට දන් දෙන්න වෙනවා. ඒක හරිම අසීරු වගේම වේදනාකාරී දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නෑ. දැන් හැරෙන්න බෑ.

සමහර කවිවල මුහුණු තියෙනවා. සමහර කවිවල ඔයාම ඉන්නවා. කොයිතරම් ප්‍රහේලිකා කිව්වත් ඔන්න ඔයාව පේන්න පටන් ගන්නවා. මම හිතන්නෙ මෙන්න මේක තමයි කවියකුගෙ ජීවන චක්‍රය.

මුලින් මම මගේ කවිවලින් මාව දැනගන්නවට හරිම අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඒත් දැන් ඒ අකමැත්ත ටිකෙන් ටික දියවෙලා ගිහිල්ලා. ඒක නිකං ලේඛකයකුගෙ සැනසීම වගේ එකක් වෙන්නත් පුළුවන්. සමහර කවියො වයසට යනවා. හැබැයි කාලය තරණය කරන ගමන් සදාකාලික තාරුණ්‍යයේ ඉන්නත් පුළුවන්. ඒක තෝර ගැනීමක්. මට සදාකාලික තාරුණ්‍යයක් ඕන නෑ.

ඒ නිසාම පහුකාලීන සමහර කවිවලින් මාව මුණගැහෙන්න පුළුවන්කම ලැබෙනවා. ‘ආ..මේ ඉන්නෙ..’ කියලා කෙනෙකුට අත දික්කරල කියන්න පුළුවන් වෙනවා. කලින් අකමැති වෙලා හිටපු දේකට දැන් මම කැමති වෙලා. මේක උදාහරණෙකට කවියක් කියවන්නත් පුළුවන්. එහෙම නොකර කවියෙ නොම්මරය කියලා නිකං ඉන්නත් පුළුවන්. මම නිකං ඉන්නම්!!

  1. මතක දරුණු (69 පිටුව)

අපි ආයෙත් කාල රේඛාවට ආවොත් මේ කවි අවුරුදු හතක් තිස්සේ ලියපුවා බව කියන්නම ඕනා. ඒකමයි පොතේ නම ‘උඩ නටන තිත් තුන’ නොවී ‘කාල රේඛාව’ වුණෙත්. කවි පොත කියවන ඔයාලගෙයි, මගෙයි කාල රේඛා ආයෙ එකට හැප්පුණොත් අපි තව කවි පොතකින් මුණගැහෙයි.
බොහොම ස්තූතියි හැමෝටම!! හැමෝටම කියන්නෙ හැමෝටම. කොටින්ම ඊයෙ උදේ වරුවෙයි-රාත්තිරියෙයි ආපු බත්කූරට පවා!!

(අද(21) උදේ Lakmahal Community Library තිබ්බ Book review ඉවෙන්ට් එකේ කරපු විනාඩි පහේ කතාව)

කාංචන අමිලානි

Related articles

කාංචනා අමිලානිගේ වචන වනාන්තරය “කාල රේඛාව”

ඈ වචන වනාන්තරයක් මවන්නී ය. ඔබට එහි අතරමං විය හැකි වාර සංඛ්‍යාවට සීමාවක් නොමැත. එමෙන්ම ඔබට එයින් පිටතට...

හිටපු සොලිසිටර් ජනරාල් අධිකරණ අමාත්‍යංශ ලේකම් ධුරයට : නීතිපති පුටුවෙන් රනිල් ඇයව හැලුවේ ඇයි ?

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් ධුරයට හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන පත්කර තිබේ. වසර 30කට අධික...

SLIIT, 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2024 හිදී විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් සම්මාන රැසක් දිනා ගනී !

SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) - NBQSA 2024...

SLIIT විසින් පවත්වනු ලබන ‘Brain Busters with SLIIT – Season 4’ රූපවාහිනී දැනුම මිනුම වැඩසටහන, සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා එළිදක්වමින් සාර්ථකව නිමා වේ !

ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම...