එහෙනම් කොල්ලො අපි ගියා

Share post:

අවසානයේ ජනාධිපතිතුමා තීරණයක් ගත්තා. තවත් වටයක් අදින්න තමන්ට අමාරු බව දැන ගත්ත බයිඩන් මහත්තයා අද ජනාධිපති සටනින් නිහතමානීව ඉවත් වුණා. බොහෝ විට උප ජනාධිපති කමලා හැරිස් ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වේවි. ඒත් ට්‍රම්පච්චි ගොඩක් ඉස්සරහින් ඉන්නේ. කමලක්කා පරක්කු වැඩියි දැන්.

මේ ඉල්ලා අස්වීමත් එක්ක බයිඩන් මහත්‍තයා ගැන ඇමෙරිකානුවන්ගෙ තිබ්බ අප්‍රසාදය අනුකම්පාවක් බවට පත්වේවි. එතුමාට දැන් කොරෝනාත් හැදිලා ඉන්නේ. පහු ගිය දවස්වල කන ගාවින් මාරයා මාරු වුණ නිසා ට්‍රම්පච්චිට අනුකම්පා රැල්ලක් ආව. දැන් ඒක බයිඩන් මහත්තයාගෙ පැත්තට කැරකුණා. ඒත් රැල්ල කමලක්කට යන්නෙ නැහැ.

ඒ අනුව බයිඩන් මහත්තයා 2025 ජනවාරි මාසෙ දිනයක අලුත් ජනාධිපතිතුමා ධවල මන්දිරයේ පදිංචියට එනකම් පමණක් තනතුරේ වැඩ කරාවි.
බයිඩන් මහත්තයා ජීවිතයේ බොහෝ දුක් කම්කටොලු ඉවසා දරා ගෙන ලෝක බලවතාගෙ පුටුවට ගිය අත්දැකීම් බහුල කෘතහස්ත දේශපාලනඥයෙක්. කොන්ඩෙ සුදු වුණේ අකලට නෙවෙයි. ඉතින් රැල්ල කැරකෙන හැටි උන්නැහේට දැනෙන්න ඇති. ඉල්ලා අස්වීම ප්‍රකාශ කරපු එතුමා තමන්ගෙ දරු මුණුබුරන් එක්ක ඉතාම සතුටින් ඉන්න හැටි ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විකාශය වුණා.
මේ ජෝ බයිඩන් ජනාධිපතිතුමාගෙ කතාව කෙටියෙන්.

නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ ජෝ මහත්‍තයා ඉක්මනින්ම දේශපාලනයට පිවිසුණා. 1972 දී ඔහු Democratic පක්ෂය නියෝජනය කරමින් ඉතිහාසයේ ළාබාලතම සෙනෙට් සභිකයෙකු බවට පත්වුණා. ඊට මාසෙකට පස්සෙ සිදූවූ රිය අනතුරකින් ඔහුගේ ආදරණීය බිරිඳ හා දියණිය එතැනම මිය ගියා. ඔහුගේ පුතුන් දෙදෙනාත් බරපතල තුවාල ලැබුවා. තරුණ බයිඩන් තම පුතුන් දෙදෙනා සමඟ තනිවුණා.සියදිවි නසා ගන්න හිතුනත් ඔහු පුතුන් දෙදෙනා නිසා ජීවත් වුණා.

දුම්රියේ ගෙදර යන ගමන් ඔහු දරු නැලවිලි ගීත කටපාඩම් කළා.ඒ ගෙදර ගියාම දරුවන් නිදි කරන්න ඕන නිසයි.මහ පාන්දරම අවදි වෙලා කෑම උයලා දරුවන්ට කැව්වා.ඊට පස්සෙ රැකියාවට ගියා.

පස් වසරකට පස්සේ ඔහු දරුවන්ට පුංචි අම්මා කෙනෙක් කැන්දා ගෙන ආවා. ඇයත් දික්කසාද වෙලා හිටපු දරු දෙන්නෙක්ගෙ මවක්. බයිඩන්ට දාව ඇයට තවත් දියණියක් ඉන්නවා.

ජනාධිපති බැරැක් ඔබාමාගේ යුගයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ බයිඩන්. ඒ කාලයේ නැවතත් ඔහුගේ ජීවිතට කණකොකා ඇඩුවා. අම්මත් නැතිව ආදරයෙන් හදාගත්ත වැඩිමහල් පුත්‍රයාත් මොළයේ පිළිකාවකින් මියගියා.
ජෝ බයිඩන් තමයි ඇමෙරිකානු ඉතිහාසයේ බිහිවූ ජ්‍යෙෂ්ඨතම ජනාධිපතිවරයා. ඇමෙරිකානු දේශපාලන භූමියේ හොඳින් තෙම්පරාදු වී හිටියත් ඔහු තම ජීවිතයේ කඩා වැටීම් දරා ගත්තේ කොහොමද?
එය ඔහුගේම වචන වලින් කිව්වොත්
Faith sees best in the dark.
විශ්වාසය අන්ධකාරයේදී හොඳම දේ දකියි.

අහිමි වීම් ඔහුගේ ජීවිතයට අලුත් අපේක්ෂා ඇති කළා. සිය පුතු තමන් ගැන ආඩම්බර වෙනවා දකින්න ඔහුට උවමනා වුණා. හැල හැප්පීම්, දුක්ඛ දෝමනස්සයන් තුළින් ගලා ගිය ජෝ බයිඩන්ගේ ජීවන ගමනේ කූඨප්‍රාප්තිය පෘථිවිය නම් ග්‍රහලෝකයේ බලවත්ම පුද්ගලයා වෙමින් අභිෂේක ගැන්වුණා.
ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් වීම තමන් ජීවිතයේ ලද ඉහළම භාග්‍ය බව අද ජනාධිපති සටනින් ඉල්ලා අස්වෙමින් එතුමා ප්‍රකාශ කළා.
ඔහුගේ බිරිඳ ජෝ බයිඩන්ගේ ජීවිත කතාව ළමා කතා පොතක් ලෙස එළි දක්වා තිබෙනවා. බැරැක් ඔබාමා වරක් කියනවා ජෝ බයිඩන් ගැන දැන ගැනීම යනු අව්‍යාජ ආදරය, පරාර්ථාකාමීත්වය හා පිරුණු ජීවිතයක් ගැන දැන ගැනීමක් කියලා.

2020 දි බයිඩන්ගෙ මූණවත් නොබලා ට්‍රම්පච්චි පිටපාරෙන්ම ධවල මන්දිරයෙන් ගියා. ඒක ඇමෙරිකානු ජනාධිපති සම්ප්‍රදාය නෙවෙයි. ඒත් මේ පාර ට්‍රම්ප් දිනුවොත් ට්‍රම්ප්ව ගෞරවනීය ලෙස පිළිගෙන එතුමා පිටව යනු ඇති බව කියන්න පුළුවන්.

ශානක ලියනගම (fb)

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...