‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’ නවකතාවේ ප්‍රධාන චරිතය වෙනුවෙන් තමන්ගේ ස්ථානය ලබාගන්න චරිත විදියට කතුවරයා එක්ක ෆයිට් කරන පාර්ශ්ව දෙකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. නවකතාවේ ප්‍රධාන කතා වින්‍යාස දෙකෙන් එකක් අතට අරගෙන කතාවේ සැලකිය යුතු කොටසක් අත්පත් කරගෙන ඉන්නා ඇල්බට් පරම්පරාව සහ අනෙක් කතා වින්‍යාසය පුරා තමන්ගේ පැවැතීම-නොපැවතීම ගැන මතක ඉතුරු කරන ගැහැනු ළමයා, කෙට්ටු චුට්ටා. පිරිමි චරිත කිහිපදෙනෙක් එක්ක ඇල්බට් කතාවට සමාන්තරව යමින්, තමන්ගෙ කතාවෙ ඉඳන් නවකතාවෙ හුය අරන් යන කේවල එකම ගැහැනු ළමයා කෙට්ටු චුට්ටයි. ඒක හරියට, දකුණු ඉන්දීය සිනමාපටයක වීරයා තනියම සටනට එද්දි, සතුරා තමන්ගෙ සහ පිරිවර සමඟම සටනට එනවා වගේ. හැබැයි, ඇල්බට්ලා නරක, සෘණ හෝ හතුරෙකු ලෙසින් දැකීමක් නෙමෙයි මෙතන කියන්නෙ. මොකද, කෙට්ටු චුට්ටා තරමටම ප්‍රබලව කතාව අරාගෙන ඉන්න, ආකර්ෂණීයම ජීවන විලාසයක් සහ හැසිරීමක් තියෙන සිමා ඇල්බට් තමයි, ඇල්බට්ලාගෙන් හොඳටම කතුවරයා නිමවන චරිතය වෙන්නෙත්. පිරිමි පරම්පරාවක් අතරේ, ගැහැනු ළමයෙක් විදියට කෙට්ටු චුට්ටා තමන්ගේ ලෝකයේ අවංකව ජීවත්වෙන සොබාවය මේ නවකතාව ආරම්භයේ ඉඳන්ම මාව පොතට ඇඳබැඳ තැබුවා. මේ සටහන ලියන්නෙ ඒ තනි ගෑනු ළමයා වෙනුවෙන්.
මට කෙට්ටු චුට්ටා මේ නවකතාවේ වීරවරිය වුණාට, ඇය ඇල්බට්ලා එක්ක කතාව ඇතුළෙ ඩිරෙක්ට් ෆයිට් කරන්නෑ ඇත්තට ම. මොකද, ඇය ඉන්නෙ ෆයිට් මූඩ් එකක නෙමෙයි, ඇය ඉන්නෙ ඇයවම හොයා යන මූඩ් එකක. සාමාන්‍ය සොබාවෙන්. වෙලාවකට නියුට්‍රල් විදියට. අපි හිතුවට එයා ප්‍රධාන චරිතය වෙන්න දඟලනවා කියලා, නෑ එහෙම නෑ. ඇය අමුතුවෙන් ෆයිට් කරන්න ඕනෙ නැහැ. එයා මේ කතාව ඇතුළෙ පැවතීමම තමා කතාවෙ ෆයිට් එක.
කෙට්ටු චුට්ටාව නවකතාවේ අනෙක් චරිතවලට පේනවා, ඇය එක්ක ඒ චරිත ගනුදෙනු කරනවා වුණත් ඇල්බට්ලාගේ ජීවිත කතාවට ඇය නිසා බලපෑමක් වෙන්නෙ නැහැ. ඇය ඒ කතාව අතරින් යනවා පාවෙනවා වගේ. පෙනී යනවා. පවතිනවා. නමුත්, කතාව එයාගේ පාලනයේ නැහැ. කතාව එයාට පාලනය වෙන්නෙ නැහැ. එයා හිටියත් නැතත් ඇල්බට්ලාගෙ පැවැත්ම වෙනස් වෙන්නෙ නෑ.
කෙට්ටු චුට්ටා හුදෙක් ගැහැනු චරිතයක් විතරක් ම නෙමෙයි මට. ඇය සමාජයේ පෙනී ඉන්නේ, පිරිමි ආකාරයේ චරිත ලක්ෂණ ඇති අයෙකුත් විදියටයි. නමුත්, ඇගේ කාන්තා ස්වරූපයකුත් තියෙනවා. ඒ බව පේන්නේ නර්මදාට විතරයි. ගංජා බොක්ක ළඟදි ඇගේ කාන්තා සහ පිරිමි සොබා දෙකම විවෘත වෙනවා. වෙලාවකට ඇය හිස්කොලයක් වගේ. චූටි එකී ළඟදි ඇය දියරයක් වගේ. සින්ක් එකේදි, ගෙදරදි, තමන්ගේ කාමරේදි, තමන් තමන්ම වෙන වෙලාවලදි (සින්ක් එක තමයි ඇය ඇය ලෙසින්ම උපත ලබන, recharge වෙන, ආත්මය යළි ලබන තැන) ඇය Goddess කෙනෙක් වගේ මට දැනෙන්නෙ. පුරාවෘත්තයක චරිතයක් වගේ.
ඇය වෙලාවකට බුදුකෙනෙකුත් වගේ. මොකද කෙට්ටු චුට්ටාට පුළුවන් අනික් අයගෙ ජීවිතවල ගොඩක් දේවල් හරිගස්සන්න. හරිගස්සලා තමන්ගෙ ගමන ආයෙ යන්න. එයාගෙ පැමිණීම, පැවතීම විතරයි අදාළ. ඇය කොතනට හරි ඇවිත් වචනයක් කතාකරලා, අඟවල, ඉදලා හරි ගියාම, අදාළ චරිතයෙ සොබාවෙ වෙනස් වෙනව. ගංජා බොක්ක නාලාගිරි වගේ දමනය වෙනවා කෙට්ටු චුට්ටා ඉදිරියෙ දි. සිහිනැතිවෙන්න ගුටි වැදිලා ඉන්න පලක්කුවා ඉල්ලන පමාවෙන් ලිපිනය දෙනවා ඇයට. (ඒ දෙන්නා පෑහෙන කෙමෙස්ට්‍රියක් තියෙනවා, ඒක බිල්ඩිං බ්ලොක්ස් කෑලි වගේ එකතුවෙන්නෙ). අතුරුදන් වුණත් චූටි එකී වෙන දුරකතන අංකයකින් පණිවිඩයක් හරි එවනව. බුදුන්ව තරහ කරගන්න වුවමනා නෑ වගෙ.
මුළු නවකතාව පුරා ම කෙට්ටු චුට්ටා මහ පොළොවේ චරිතයක් සමඟ සමීප වෙන්න හදන හැම වාරෙම ඇයට ඒ කෙනාව අහිමි වෙනවා. ඇයට චූටි එකී නැතිවෙනවා. ගංජා බොක්ක අහිමිවෙනවා. නර්මදා නැතිවෙනවා. පලක්කුවාව ආයෙ හමුවෙන්න ලැබෙන්නෙ නැහැ.
කෙට්ටු චුට්ටා මුළු නවකතාව පුරාම එකම විදියෙ ගතිගුණවලින්, හැසිරීම්වලින්, එකම කෝවේ දැමූ කෙනෙක් ලෙස නෙමෙයි පෙනී ඉන්නෙ. එයාගෙ චරිත ලක්ෂණ වෙනස් වෙනවා, අහසට පොළොව වගේ. සාමාන්‍ය මිනිස්සු වගේම කතාවල චරිතවලටත් ස්ථිර ලක්ෂණ නැහැ. ඒ චරිත පවා වෙනස්වෙනවා.
නවකතාව පටන්ගන්නෙ, උත්පත්තියෙන්. ජීවය දීමෙන්. කඳුළු, වතුර සහ පොළොවෙන්. ඒකට මුල පුරන්නෙත් කෙට්ටු චුට්ටා. නවකතාව මැදදියි කතාව වැඩෙන්නෙ, වැවෙන්නෙ. එතැනදි කෙට්ටු චුට්ටා පාවෙනවා, චරිත විනිවිද යනවා, සිදුවීම් විනිවිද යනවා, නොපෙනී යනවා. එතකොට එයා ඉන්නෙ අහසෙ නෙමේ පොළොවේ. කතාවසානයෙදි, වලාකුළු, වායුව සහ අහස. මරණය, ගන්දබ්බ බව, උත්තානය. එතැනදි තමන්ගෙ චරිතය තමන්ගෙ කතාවෙදි නිල වශයෙන් අවසන් කරනවා.
ඒ නිසා ‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’ නවකතාව පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් කෙට්ටු චුට්ටා එක්ක. කෙට්ටු චුට්ටා සින්ක් එකකින් පටන් අරගත්ත කතාවක් ඇතුළේ අපි ජීවත්වෙනවා. කන්දක් උඩට නැගලා වලාකුළු අතරෙදි ඒ චරිතය කතාව අවසන් කළාම අපි පුදුම වෙනවා, ඇල්බට්ලා ජීවත්වුණේ එක්තරා ස්ක්‍රිප්ට් එකක නේද කියලා. කෙට්ටු චුට්ටා නැත්නම් චූටි එකී තමයි ඇල්බට්ලාවත් හදලා තියෙන්නෙ වගේ පේන්න ගන්නවා. මායාවකින් කතාව පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත්. ඇල්බට්ලා තමා Realityය. කෙට්ටු චුට්ටා myth එක නැතිනම් මායාව. කතාව අවසානෙදි, Realityය විසින් මායාව පරදවනවා. ඇල්බට් ප්‍රමුඛ ඒ වටා ඉන්නා චරිත නමැති Realityය පොලු පාරක් දෙන්නෙ මැරෙන්නම, නැත්නම් සිහිසුන් වෙන්නම කෙට්ටු චුට්ටා නමැති myth එකට. ඒත් කෙට්ටු චුට්ටා මැරිලත් කතාවට උඩින් අහසෙ පාවි පාවි ඉන්නවා realityය දිහා බලාගෙන. මොකද, ඇයට කොයි මොහොතේ හරි ආයෙ reality එකෙන් කැඳවීමක් ලැබෙන බවත්, realityයට මායාව නැතුව පවතින්න බැරි බවත් ඇය දන්න නිසා.
තමන් මවන චරිතවලට වුණත් තමන්ව පාලනය කරන්න පුළුවන් බව තරිඳු ශ්‍රී ලොකුගමගේ අපිට කියලා දෙනවා.