විපුලි ගැන යළි මෙනෙහි කරන්නට ඉඩ ලද මොහොතක

Share post:

විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි කිවිඳිය ගැන යමක් ලිවීමට ආරාධනාවක් ලැබෙන විට මා සිටියේ සුනිල් විජේසිරිවර්ධනගේ මතු මතක, ජීවවාසික විචාරය සහ දේශන දහයක් යන පොත් වරින් වර කියවමිනි. විජේසිරිවර්ධනගේ ලිවීම්වල අවධාරණය වන රංචුව, කල්ලි වල හැසිරීම් ගැන අදහස් ද මෙහි දී සිහිපත් විය. නිශ්චිත අරමුණක් නැතිව තාවකාලික ජයග්‍රහණ පතා වෙහෙසෙන රංචු, කල්ලි ආදියේ හැසිරීම්වල ක්‍රියාකාරිත්වය ඔහු පැහැදිලි කරන්නේ යහපත් නිශ්චිත අරමුණක් වෙනුවෙන් කටයුතු කරන සාමුහිකයක වටිනාකම පෙන්වාදෙමිනි. තමන් අතර සිටි සහෝදර කිවිඳියකගේ වියෝවෙන් පසු ඇයට කාව්‍ය ලෝකයේ ගෞරවය සහ කෘතවේදීත්වය පුද කර සිටිය යුත්තේ කෙසේදැයි සොයා බැලීම අයත් වන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් පෙළගැසෙන සාමූහිකයක ක්‍රියාකාරකම් අතරටය.

විපුලි කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කරන සමයේ කවිය ගැන දැඩි උනන්දුවක් දක්වන සරත් විජේසූරිය වැනි ආචාර්‍යවරයකුගේ ආභාසය ඇයට ලැබෙන්නට ඇත. එසමයෙහිම විභවි වැනි ආයතනයක සංවාද වෙත යොමුවීම සාහිත්‍ය සහ සමාජය අතර සබඳතා විවිධ මානවලින් සොයා බලන්නට ඇයට අනුබලයක් වන්නට ඇත . ඒ අතරම එකල සාහිත්‍ය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ලියනගේ අමරකීර්ති,ප්‍රභාත් ජයසිංහ,තිඹිරියාගම බණ්ඩාර,කරූ පරණවිතාන, රාජිත දිසානායක ආදීන්ගේ සාහිත්‍ය ක්‍රියාකාරකම් ද ඇයට මුණගැසෙන්නට ඇත . ඇය ගැන ලිවිය යුතු දේ හුදෙක් ඇයගේ ගුණ මෙනෙහි කිරීමෙන් ඔබ්බට ගොස් ශාස්ත්‍රීය තලයක රඳවන්නේ කෙසේදැයි සිතන විට මට එක් වරම මතකයට ආවේ ලියනගේ අමරකීර්තිගේ පහන සහ කැඩපත කෘතියට සංගෘහිත ‘ සාහිත්‍ය්යික නූතනත්වයේ සිංහල ලකුණු ‘ නම් ලිපියයි. ඒ රචනයේ දී විපුලිගේ සැන්දැග කෘතියට සංගෘහිත ‘ගැහැනු අපි’ නම් රචනය සැලකිය යුතු වටිනාකමකින් යුතුව සාකච්ඡාවට ගනියි. ඒ අතරම විපුලි ගැන විමසීමට අවශ්‍ය පාදමක් සකස් කර ගැනීමට අනුබල දෙන වැදගත් කරුණක් පහන සහ කැඩපත කෘතියේ එන ‘ කාව්‍ය ආඛ්‍යානයේ සෞන්දර්‍ය/පඨිතමය කාර්‍ය: අනවරත කාව්‍ය ආඛ්‍යානය ඇසුරින් යන ලිපියෙන් සොයා ගත හැකිය . ඒ අදහස පහත පරිදි වේ.

” කවියා කරන්නේ අත්දැකීමක් ගොඩ නැංවීමයි.සාමාන්‍යෙන් සම්ප්‍රදායානුකූලව අප දේවල් දකින ආකාරය වෙතින් අපට විමුක්තිය ලබා දී ඒවා අලුත් ආකාරයෙන් දැකීමට සැලැස්වීමයි කවියෙන් කරන්නෙ. හොඳ කවිය කරන්නෙ අප යමකින් නිදහස් කිරීම පමණක් නොව යමක් වෙත නිදහස් කිරීමකි. එනම් liberating from something පමණක් නොව liberating into something යන්න ද එහි ඇතුළත් විය යුතුය . මෙහි එන liberating into something යන්න සෑහෙන වැදගත් කරුණකි . විජේසිරිවරධනගේ මා පෙර සඳහන් කළ පොත් ඒ කරුණ වෙත ආමන්ත්‍රණය කරන්නේ අපේ වමේ දේශපාලන පක්ෂවල කථිකාවේ සමහර සීමා ද සලකුණු කරමිනි . ‘මතු මතක’ වැනි කවි පොතක් කියවීමේ දී liberating into something යන කරුණ වෙත සෑහෙන බරක් තැබිය හැකිය .

විපුලිගේ කාව්‍ය භාවිතය සහ ඇයගේ සාහිත්‍ය ක්‍රියාකාරකම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ සමාජයක් හැටියට අප නිදහස් විය යුත්තේ මොනවාගෙන් ද යන අවබොධයෙන් යුතුව ඇය කටයුතු කළ බවයි. ජාතිය,ආගම කේන්ද්‍රකරගෙන කරනු ලබන දේශපාලනයෙන් ඇය සෑහෙන තරම් ඈත්වී කටයුතු කළ බව අපි දනිමු. ඇයගේ කවිය වෙත ද ඒ අදහස් කාව්‍යමය ශික්ෂණයකින් පැමිණ ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය .
විවේකයෙන් යුතුව ඇයගේ අවසන් කාව්‍ය සංග්‍රහ දෙක කියවීමේ දී පෙනෙන්නේ ඇය සොබාදහම කෙරෙහි ද සැලකිය යුතු සංවේදීතාවයක් ප්‍රකට කරන කිවිඳියක බවයි. ඇය ගැන සහ ඇයගේ කවිය ගැන මතකය කොතැන හෝ ලියා තබන්නට හැකි නම් එය වැදගත් දෙයක් යැයි සිතමි .

ප්‍රියංකර නිවුන්හැල්ල

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...