මෙම ශානරයට ප්‍රියකරන පාඨකයෙකු “ජීවිතයේ ඔයිල් පැල්ලම්“ මගනොහැරිය යුතුයි

Share post:

පොතේ එන යෙදුම් විලාසයම අනුව යමින් කියනවානම්, මේ පොත ගැන මේ මොහොතේ හැදින්වීමක් කරන්නට යාම, දකුණු ඉන්දියාවේ වැසියෙකුට උළුදු වඩේ හදුන්වාදීමක්, නැතිනම් ලංකාවේ පැරණි ක්‍රිකට් රසිකයෙකුට අපි වර්ල්ඩ් කප් දිනපු ඉතිහාසයක් තිබූ බව මතක් කරන්නට යාම වැනි දෙයක් වෙන්නට පුළුවන්. එහෙම වුණත් “ජීවිතයේ ඔයිල් පැල්ලම්“ ගැන කෙටි හෝ සටහනක් තැබිය යුතුමයි කියා සිතුණේ මෙම ශානරයට ප්‍රියකරන පාඨකයෙකු මේ පොත මගනොහැරිය යුතුයි කියා සිතුණු නිසයි.

පොතේ කතාව ගොඩනැගෙන්නේ ක්ලැසික් කාර් රසිකයෙකු සහ තැරැව්කාරයෙකු වන දිනේෂ් කේන්ද්‍ර කරගනිමිනුයි. මෙවන් විෂය ක්ෂේත්‍රයක් පාදක කරගනිමින් සිංහල නවකතාවක් ලිවීමම වුණත් අභියෝගාත්මක කටයුත්තක් වුණත්, කිසිදු ලෙසකිනුත් ක්ලැසික් කාර් ගැන උනන්දුවක් නොදැක්වූ අයෙකුව පවා ඒ ගැන සොයාබැලීමකට පෙළඹවිමට ඔහු සමත් ව තිබීම තුල, ඒ අභියෝගය සෑහෙන තරමකට ජයගැනීමට කතුවරයා සමත්ව තිබෙන බව දකින්නට ලැබෙනවා. මෙය ලියන මමත් ඊට උදාහරණයක්.

(ජීවිතය සහ මරණය අතර තෝරාගැනීම් සිදුවන මොහොතවල පවා කතා නායකයාගේ අවධානය පැහැරගන්නා මේ කාර් වර්ග ගැන සොයා බැලීමටත් පොත කියවන අතර යොමුවුණා. සිංහලෙන් ලියවී ඇති නම් ඉංග්‍රීසියෙන් සොයා යාමේ තරමක අතරමං වීමකුත් තියන නිසා අදාල විස්තර සහිත ෆේස්බුක් පිටුවක් හෝ බ්ලොග් අඩවියක් තිබුණා නම් අප වැනි මේ විෂය ගැන කිසිවක් නොදන්නා අයෙකුට අත්වැලක් වෙයි කියාද සිතුණත්, පසුව සොයා බලනවිට දැනගන්නට ලැබුණේ කතුවරයා මේ සම්බන්ධ බ්ලොග් අඩවියක් වසර කිහිපයක් තිස්සේ පවත්වාගනිමින් සිට ඇති බවයි. එහි සබැදියද කොමෙන්ටුවක් ලෙස මේ සටහනට ඇතුලත් කර තිබෙනවා.)

පොත පුරා යොදාගෙන ඇත්තේද “බයිං ඇන්ඩ් සෙලිං“ කර්මාන්තයටම ගැලපෙන, සජීවී භාෂා ව්‍යවහාරයක්. එහෙත් එම භාෂා ව්‍යවහාරය යොදාගැනීමේදී උපමාරූපික, වක්‍රෝක්ති වැනි දේද එය තුලින්ම ගොඩනගා ගනිමින් කතාව සජීවී ලෙස පවත්වා ගැනීමටත් කතුවරයා නිර්මාණශීලී වී තිබෙනවා. එසේම කතා නායකයාගේ (සහ ඔහුට හමුවන ගණුදෙනුකරුවන්ගේ) කතාව/කතා පාඨකයා වෙත ඉදිරිපත් කෙරෙන්නේද කියවා අවසන්වන තුරුම පොත බිමින් තබන්නට නොදෙන කුතුහලයක්ද පවත්වා ගනිමිනුයි.

කතාවේ සමාජ පසුබිම කියනවානම් එය වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ කර්මාන්තය ආශ්‍රිත, වළව්කාරයන්, දේශපාලකයන් සහ වෘත්තිකයන්ගේ සිට ගේම්කාරයන්, මැරයන් සහ මත්ලෝලීන් දක්වා වන පරාසයක සමාජ තීරුවක් ඇසුරු කරගෙන තිබෙනවා. එය විමසා බලන අයෙකුට පසුගිය දශක කිහිපය තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වී, වර්තමාන දේශපාලනයේ ගාමක බලවේගයක් බවට පත්වූ සමාජ තීරුවක හරස්කඩක්ද පොත තුල හදුනාගැනීමට පුළුවන්.
මේ පොත ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය විචාර සංවාදය තුල වැඩි කතාබහකට ලක්වුණු බවක් දකින්න ලැබුණේ නැහැ. සාම්ප්‍රදායික නොවන සන්දර්භයක් පසුබිම් කරගත් කතාවක් වීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්. කෙසේවෙතත් පාතාල ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ සම්බන්ධතා ජාලය පිලිබදව මෑතක විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තොරතුරු අපට සිහිපත් කරදෙන්නේද එම සන්දර්භය අද දවසේ අප ගෙවන ජීවිතයට කෙතරම් සමීපද යන්නයි.

“ජීවිතයේ ඔයිල් පැල්ලම්“ සයුර ප්‍රකාශනයක්.

නිශාන්ත කුලරත්න

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...