ජනතාවට පොදුවේ තේරෙන දේ තමයි අපිට දවසින් දවස ජීවත්වෙන්න අමාරු වෙනවා කියන එක. ඒත් ආණ්ඩුව ප්‍රචාරය කරනවා, රට බංකොලොත්භාවයෙන් මිදිලා කියලා. මොකක්ද මේකෙ ඇත්ත, ඇත්තටම අපිට මොකක්ද වෙන්නෙ… ?
ඇත්තටම රටක් විදිහට නෙමෙයි බංකොලොත් වෙන්නෙ, ආණ්ඩු විදිහට. ආණ්ඩුවල ක්‍රියාකාරිත්වය මත තමයි මේක තීරණය වෙන්නෙ. ආණ්ඩු ගත්තු ණය ගෙවාගන්න බැරිව කියනවා, අපිට ගත්තු ණය ගෙවන්න බෑ, අපි හිරවෙලා ඉන්නෙ කියලා. ඒකත් එක්ක තමයි මේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරනවා කියන එක සිදුවෙන්නෙ. ලංකාවෙ ඒක 2022 අප්‍රේල් මාසෙ මහ බැංකුව විසින් සිදු කළා නිල වශයෙන්.
මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තහම මිනිස්සු එදිනෙදා වැඩ කටයුතු කොහොමහරි කරගෙන යනවා. මිනිස්සු ගත්තු ණය ගෙවන්න ඕනෙ. එදිනෙදා බිල්පත් ආදී සියලු ගෙවීම් කරන්න ඕනෙ. නැත්නම් ඒවට අදාළ වන්දි ගෙවන්න සිදුවෙනවා. උදාහරණයක් විදිහට බැංකුවකින් ගත්තු ණයක් ගෙව්වෙ නැත්නම් ණය තොරතුරු කාර්යාංශයට, එහෙම නැත්නම් ක්‍රිබ් එකට යනවා. ඒක නිසා බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීම හෝ ඒකෙන් මිදීම ජනතාවට පෞද්ගලිකව දැනෙන්නෙ නෑ. මේක දැනෙන්නෙ ආණ්ඩුවට.
ඒත් ඒකෙ ප්‍රතිඵලය තියෙන්නෙ ජනතාවගෙ කරපිට… ?
ඔව්. මං අදහස් කළේ ජනතාවට ඒක සෘජුව බලපානවද, නැද්ද කියන එක. නැත්නම් ජනතාව ගෙවන බදු වැඩි කිරීම්, ජනතාව ගන්න බඩුවල මිල වැඩිවීම්, බිල් වැඩි වීම් මේ සියල්ල ජනතාවට දැනෙනවා. ආණ්ඩුවත් බංකොලොත්භාවයෙන් මිදෙන්න කියලා මේ විදිහට ජනතාවගෙන් ආදායම් එකතු කරන්න කටයුතු කරගෙන යනවා. එතකොට ඇත්තටම ජනතාව හිරවෙලා. ඒත් ඒක පෞද්ගලිකව විශේෂයෙන් දැනෙන්නෙ නැත්තෙ ජනතාව ටික-ටික මේකට හුරුවෙමින් ඇවිත් තියෙන නිසා.
ජනතාවට අපිට ණය ගෙවන්න බෑ කියන්න බැරි වුණාට, ආණ්ඩුව රටක් විදිහට ණය ගෙවීමේ අර්බුදයක ඉන්නෙ, අපිට බෑ කියලා තියෙන්නෙ… ?
පුද්ගලයෙක් ණය ගන්නවා වගේ නෙමෙයි, ආණ්ඩුවක් ණය ගත්තහම. ඒවත් ගෙවන්න ඕනෙ ජනතාව තමයි. ඒ ගන්න ණය ගෙවීම අර්බුදයක් වෙනවා කියන්නෙ, ගත්තු ණය ගෙවන්න තව ණය ගන්නවා, ඔය විදිහට ඉස්සරහට ණය දිගින්-දිගටම වැඩිවෙනවා. මේ විදිහට ණයෙන්- ණය තල්ලු කරගෙන ඉස්සරහට අරගෙන යන එක කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ විදිහට ගෙවාගන්න බැරි තරම් ණය අරගෙන හිරවුණාට පස්සෙ තමයි, මේ විදිහට බංකොලොත් තත්ත්වයකට පත්වෙන්නෙ.
2022 අප්‍රේල් 12 මහ බැංකුව අපි බංකොලොත් රටක් කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන කොට අපේ තිබුණු ණය ඩොලර් බිලියන 51යි. 2022 අවසාන වෙනකොට මේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6ක් වෙනවා. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ වෙනකොට ඒක ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා. ඒ කියන්නෙ බංකොලොත් කියලා ප්‍රකාශයට පත්කළාට පස්සෙ ඊට පෙර තිබුණට වඩා දෙගුණයක් ණය අරන් තියෙනවා. හැබැයි යම්-යම් අවස්ථාවල ණය ගෙවීම් කිහිපයක් කළාට, අපි පිළිවෙළට ණය ගෙවීම නවත්තලා තියෙන්නෙ. එහෙම තත්ත්වයක් යටතේ මේ විදිහට ණය අරන් තියෙනවා.
ආසන්න වශයෙන් අපි පහුගිය කාලෙ ගෙවලා තියෙන්නෙ විදේශීය ණය ඩොලර් මිලියන 300ක විතර ප්‍රමාණයක් විතරයි. ගිය අවුරුද්දෙ අවසානය වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 37,342ක් වුණු ණය, මේ වෙනකොට ඩොලර් බිලියන 37,042ක් බවට වාර්තාවල සටහන් කරලා තියෙනවා. ඒ කියන්නෙ ලොකු ප්‍රමාණයක් ගෙවලා නෑ. ඒත් දැවැන්ත ණයක් අරන් තියෙනවා.
ණය විදිහට හරි අපිට විශාල වශයෙන් ඩොලර් ඇවිත්. ඒත් ණය ගෙවලත් නෑ. කොහොම වුණත් දැන් බංකොලොත් නෑ කිව්වොත්, ඊටපස්සෙ අපිට වාරික පිළිවෙලට ගෙවන්න වෙනවා නේද..?
ඔව්. ඒක තමයි ප්‍රශ්නෙ. බංකොලොත් නෑ කිව්වා වගේ නෙමෙයි, ඊළඟට අපි වාරික ගෙවන්න ඕනෙ පිළිවෙලට. අපිට සරලව, වාරිකයක් විදිහට ගත්තොත් මේ අවුරුද්දෙ ගෙවන්න තියෙනවා, ඩොලර් බිලියන 5.88ක්. ඒ කියන්නෙ ඩොලර් මිලියන 5880ක්. ඒ කියන්නෙ මෙහෙමයි, අපි බංකොලොත්භාවයෙන් මිදෙන්න නම්, පිටට කියලා විතරක් බෑ, ණය ගෙවන්න පටන්ගන්න ඕනෙ. එතකොට ඒ ආරම්භය ගන්න වෙන්නෙ අපි ඩොලර් මිලියන 5,880ක් ගෙවලා. හෙට නම් ඒ දවස, අපි හෙට ඒ ගාණ ගෙවන්න ඕනෙ.
ඒත් අපි ළඟ සංචිතවත් ඒ වගේ ප්‍රමාණයක් නෑ.. ?
ගැටලුව තියෙන්නෙ එතැන. අපි ඒ ගාණ ගෙවන්න ඕනෙ වුණාට, අපි ළඟ එච්චර සල්ලි නෑ. ආණ්ඩුව කියනවා අපි සංචිත එකතු කරගත්තා, දැන් ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අපි බංකොලොත් කියලා ප්‍රකාශයට පත්කරන කොටත්, අපි ළඟ තිබුණා ඩොලර් බිලියන 1.6ක සංචිත. ඒ කියන්නෙ මිලියන 1,600ක්. ඒත් ඒකෙන් බිලියනයක් විතර තිබුණෙ අපිට ඕනෙ විදිහට පාවිච්චි කරන්න බැරි චීනයෙන් දුන්නු විශේෂ ණය. ඒ මුදල් පාවිච්චි කරන්න පුළුවන් චීනය එක්ක ගනුදෙනුවලට විතරයි. ඒකට කොන්දේසි විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ආණ්ඩුව කියන මේ සංචිත වටිනාකම් තුළත් ඒ චීන ණය තියෙනවා.
ඒ කියන්නෙ සංචිත ඔක්කොම ණය ගෙවන්න පාවිච්චි කරන්න හැදුවත්, අපිට තියෙන සංචිත ඔක්කොම වුණත් අපිට ඕනෙ විදිහට පාවිච්චි කරන්න බෑ.
අනෙක් පැත්තෙන් ගත්තොත් අපි ළඟ ඩොලර් බිලියන හයක සංචිත තියෙනවා කියලා හිතුවොත්, ඒ සියල්ල ණය ගෙවන්න වැය කළොත් අපේ ආනයන කරගන්නෙ කොහොමද. අනිවාර්යෙන්ම කළ යුතු ආනයන නවත්තන්න බෑ. ඛනිජ තෙල් ගෙන්වන්න ඕනෙ. තව කොච්චරක් තියෙනවද. ආනයන සීමා පනවලා තමයි තවමත් අපි මේ ඉන්නෙ. එතකොට කොහෙන්ද ආනයන වියදම්වලට ඩොලර්.
තවත් පැත්තක් තියෙනවා මේකෙ. ඒ තමයි, මේ පාර වාරිකය ගෙව්වා කියලා හිතමු. එතකොට ඊළඟ අවුරුදු පහක් තුළ අපි ඩොලර් බිලියන 12.5ක් විතර ආසන්න වශයෙන් ණය වාරිකවලට ගෙවන්න ඕනෙ. අපි බංකොලොත්භාවයෙන් මිදුණා නම්, මිදුණා කියලා ප්‍රකාශයට පත්කළා නම්, අපි දිගටම ණය විධිමත්ව ගෙවන්න ඕනෙ. එතකොට මේ ඩොලර් බිලියන 12.5 ගෙවන්න කෝ අපිට සල්ලි.
ආණ්ඩුව මේ බංකොලොත්භාවයෙන් මිදුණු බව කියලා, නැවත ණය ගන්න පාරක් හදාගන්න උත්සාහ දරනවා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක සාර්ථක ද.. ?
බංකොලොත්භාවයෙන් මිදුණා කියලා ආණ්ඩුව නැවත ණය ගන්න උත්සාහ කරයි. එතකොට කවුද අපිට ණය දෙන්නෙ. චීනය අපි හිතන ප්‍රමාණයට ණය දෙන්න ඉදිරිපත් වෙයිද. ඉන්දියාව කොයි විදිහට වැඩ කරයිද. තවම ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතුත් අතරමග තියෙන්නෙ. ඒවා අවසන් නෑ. ස්වෛරී බැඳුම්කරවලින් ණය ගන්න පුළුවන් සීමා ඉක්මවලා තියෙන්නෙ. ආපහු ණය ගන්න නම් ගෙවලා ඉන්න ඕනෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන්න නියමිත ඩොලර් බිලියන 2.9ක් දක්වා විතරයි. එතකොට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සීමාවකින් තොරව ණය දෙන්න කොහොමත් එකඟ නෑ. එතකොට ඒගොල්ලො දෙන සීමාසහිත ණය, විවිධ ව්‍යාපෘතිවලට දෙන ණය මේවා ප්‍රමාණවත් වෙන්නෙ නෑ, ණය ගෙවාගෙන ආනයන අවශ්‍යතා සපුරාගෙන ඉස්සරහට යන්න.
ඒක නිසා මේ බංකොලොත්භාවයෙන් මිදුණා කියන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම දේශපාලන ප්‍රචාරයක්. ඒක ආර්ථික වශයෙන් පදනමක් සහිත යතාර්ථයක් නෙමෙයි කියන එක පැහැදිලියි. අනෙක් පැත්තෙන් මේ ජනාධිපතිවරයා පත්වෙලා දැන් අවුරුදු දෙකක් ගතවෙලා තියෙනවනෙ. මේ කාලය තුළ අපි ඩොලර් උපයන්න මොනවද කරලා තියෙන්නෙ. මොකුත් නෑ. සංචාරක ව්‍යාපාරය සාර්ථකව ඉහළට ගන්න හෝ අපනයන වැඩිකරගන්න හෝ විදේශීය ආයෝජකයො ගෙන්වාගන්න හෝ මේ ආණ්ඩුව සමත් වෙලා නෑ. ඒ සඳහා සාර්ථක ක්‍රමවේදයක් ආණ්ඩුවට නෑ. ඒ කියන්නෙ රටේ ඩොලර් අවශ්‍යතාවට ආණ්ඩුවට තියෙන විසඳුම ඕනෑම කොන්දේසියක් යටතේ ණය ගන්න එක විතරයි. බංකොලොත්භාවයෙන් මිදෙනවා කියන එක දේශපාලන ප්‍රචාරයක් කරගන්න එකෙන් ඉස්සරහට අපිට තවත් හිරවෙන්න සිදුවෙනවා. මොකද අපි ළඟ කිසිම විසඳුමක් නෑ.
සාකච්ඡා සටහන – ශාලික විමලසේන