ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික වටිනාකම් සහ ආකර්ෂණය අතර උපරිම සමබරතාවය තිබුණේ 1990 – 2010 කාලේ

Share post:

ඉන්දියාව දිනපු තරග විතරක් පෙන්වන ඉන්දීය ක්‍රීඩා නාළිකාවක අද පෙන්වූ පැරණි තරගයක් බලාගෙන ඉද්දි මට අපූරු සිතුවිල්ලක් ආවා.
ඒ 1998 වසරේ කොකාකෝලා ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගය.
තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර.
මේ තුන්කෝන් තරගාවලියට ලෝකශූර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළත්, ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.
මුගාබේ ගේ වර්ණභේදවාදය සිම්බාබ්වේ කණ්ඩායමට පැමිණීමට පෙර සිම්බාබ්වේ ප්‍රබල කණ්ඩායමක්.
ඇලිස්ටෙයා කෑම්ප්බෙල්, ග්‍රාන්ට් ෆ්ලවර්, ඇන්ඩි ෆ්ලවර්, නීල් ජොන්සන්, හීත් ස්ට්‍රික්, හෙන්රි ඔලොන්ගා වැනි සුපිරි තරු ඒ සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළා.
කෙසේවෙතත් මේ තරගය ඉන්දියාව ජය ගත්තා.
සචින් තෙන්දුල්කාර් සහ සෞරව් ගංගුලිගෙන් සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එල්ල වුණේ අනුකම්පා විරහිත ප්‍රහාරයක්.
මේ තරගය දිහා බලාගෙන ඉද්දි මට හිතුණේ 90 දශකයේ සහ 2000 දශකයේ ක්‍රිකට් මොන තරම් සුන්දරද කියලා.
මේ කාල සීමාව වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන් ආක්‍රමණශීලියි.
තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව අලස එකක් නොවෙයි.
සනත් ජයසූරිය ආරම්භ කළ විප්ලවයට සමස්ත ක්‍රිකට් ලෝකයම ඉක්මණින් හැඩගැහුණා.
සචින් තෙන්දුල්කාර් ලා, ශාහිඩ් අෆ්රිඩි ලා සනත් අනුගමනය කරමින් හිටියා.
පන්දුවට වැරෙන් පහර දෙන පිතිකරුවන් සෑම කණ්ඩායමකම හිටියා.
තවදුරටත් හයේ පහරක් ක්‍රිකට් ක්‍රීඩාවේ දුලබ දසුනක් වුණේ නැහැ.
අනෙක් පැත්තෙන් ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව පිතිකරුවන්ගේ තනි ක්‍රීඩාවක් ද නොවෙයි.
වසීම් අක්‍රම්, වකාර් යුනිස්, මැග්‍රාත්, ශේන් වෝර්න්, මුරලි, වාස්, කර්ට්නි වෝල්ෂ්, ඇලන් ඩොනල්ඩ් ආදී සුපිරි පන්දු යවන්නන් ක්‍රිකට් ක්‍රීඩාව තම අණසකට යටත් කරගෙන හිටියා.
ක්‍රිකට් ක්‍රීඩාවේ පරම පිරිසිදු ආකෘතිය වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් ස්ථානයක් තිබුණා.
එමෙන්ම දවසක් පුරා ක්‍රීඩා කෙරෙන එක්දින තරග නැරඹීමට රසිකයන් ආශාවෙන් එක් වුණා.
මේ සමයේ ක්‍රිකට් ක්‍රීඩාව මුදලට වඩා, රට වෙනුවෙන් සිදු කරන ජාතික වගකීමක් වුණා.
සැබැවින්ම T20 ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා නොදුන් හෝ ලීග නොපැවති ඒ කාලයේ ක්‍රීඩකයෙකුගේ ප්‍රධාන කණ්ඩායම වූයේත් ජාතික කණ්ඩායම.
ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අමුතු කණ්ඩායම් හැඟීමක් සහ එකමුතුකමක් තිබුණා.
ඒ කියන්නේ ඒ කාලයේ කණ්ඩායම් තුල හෝ ක්‍රීඩකයන් අතර ප්‍රශ්න නොතිබුණා කියලා නෙවෙයි.
නමුත් ක්‍රීඩකයෙකුගේ ප්‍රධාන කණ්ඩායම ජාතික කණ්ඩායම, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර අමුතු මිත්‍රත්වයක් සහ සම්බන්ධයක් තිබුණා.
ක්‍රීඩකයන් අතර පැවැති ගැටලු පවා බොහෝ සුන්දරව විසඳුණා.
ඒවා කිසිදිනෙක මාධ්‍යයට පැමිණියේ නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික වටිනාකම් සහ ආකර්ෂණය අතර උපරිම සමබරතාවය තිබුණේ 1990 – 2010 කාලයේ.
ඉන්පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් තිබුණා. එනමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය සීමා වුණා.
ඉන්පසු කාලයේ ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයි. එනමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික වටිනාකම් ගිලිහෙමින් තිබෙනවා.
ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්ෂනික මිලියනපතියන් බිහි වූයේ නැහැ.
යොවුන් ක්‍රීඩකයන්ට නවාතැන් ලබා දෙමින්, ඔවුන් රැකබලා ගත් අර්ජුන රණතුංග වැනි නායකයන් හිටියේ ඒ කාලයේ.
ශේන් වෝර්න් සහ මුරලි අතර සීත යුද්ධයක් තිබුණේ ඒ කාලයේ.
ඝනකම් නොමැති පිති වලින්, පිතිකරුවන්ට වාසිදායක නීති නොමැති කාලයක සනත්, සචින්, ලාරා, පොංටින් පන්දුවට රිදෙන්නම ගැහුවා.
ලීග සිය ගණනක් තිබෙන, ක්‍රීඩකයෙකු ජර්සි බොහෝ ප්‍රමාණයකින් දකින අද වගේ නොවෙයි.
ඒ කාලයේ ජාතික කණ්ඩායමේ ජර්සියෙන් ඇඳෙන ක්‍රීඩකයන්ගේ රූප චිත්‍ර වගේ මතකයේ ඇඳුණා.
ඒ කාලයේ ජාතික කණ්ඩායමක නිල ඇඳුමක රටේ නම, අනුග්‍රාහකයාගේ නමට වඩා ලොකුවට ලියලා තිබුණා.
වසර හතරකට වරක් පමණක් පැමිණෙන ලෝක කුසලානයකට අදට වඩා විශාල වටිනාකමක් තිබුණා.
මේ අතීතකාමය නිසා පක්ෂපාතී කතාවක් යැයි කෙනෙකුට කිවහැකියි.
ඇතැම් විටෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන පසුබෑම නිසා ඇති වූ සිතිවිල්ලක් යැයිද කිවහැකියි.
ඒ කුමක් වුනත්, පුද්ගලිකවම මට 90 සහ 2000 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා බොහෝ සුන්දරව පෙනෙනවා.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

   2024. 06. 20

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...