සමස්ත රටම බලාපොරොත්තු වූයේ ඉතා ශෝකදායි කතාවක්

Share post:

මම හිතන්නේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට සුවිශේෂි විය යුතු දිනයක්.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හිමි සැබෑ තැන සහ අයිතිය ප්‍රකාශ වුණා.
ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන යළි දිවයිනට පැමිණියා.
එහිදී නායක වනිඳු හසරංග විසින් මාධ්‍යයට සිදු කළ කතාව බොහෝ විශේෂයි.
ලෝක කුසලානයේ පළමු වටයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට රසිකයන්ගෙන් සහ මාධ්‍යයෙන් දැවැන්ත විවේචන එල්ල වුණා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පුද්ගලිකවම නායකයාත්, කණ්ඩායමත් දැඩිව විවේචනය කළා.
එය මෑත ඉතිහාසයේ දුටු බරපතලම රසික විරෝධයක්.
ක්‍රිකට් කාරණා වලට එහා ගිය පුද්ගලික ජීවිතයේ හැසිරීම් පවා පරාජයත් සමග රසිකයන්ගේ විවේචනයට ලක් වුණා.
එය අතිශය සාමාන්‍යයි.
කණ්ඩායම තරග ජය ගනිද්දී සෑම දෙයක්ම වර්ණනාවට ලක්වෙනවා. පරාජය වෙද්දී සිදුවන්නේ එහි ප්‍රතිලෝමයයි.
රසිකයන්ගේ විවේචන අතර තිබූ බරපතලම විවේචනයක් වූයේ ‘වනිඳු අහංකාර, ආඩම්බරකාර චරිතයක්’ ය යන්න.
‘නිහතමානී නොවීම’ ක්‍රිකට් කරුණක් නොවුනත්, නිහතමානී නොවීම නිසා පවා වනිඳු විවේචනය වුණා.
ඔහු නායකත්වයට නොගැලපෙන බවත් රසිකයන් ප්‍රකාශ කළා.
ලෝක කුසලානයේ මුල්ම වටයෙන් ඉවත් වීම සමග ඒ විවේචන වැඩි වුණා.
අද ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමෙන් සහ නායකයාගෙන් පුද්ගලිකව සමස්ත රටම බලාපොරොත්තු වූයේ ඉතා ශෝකදායි කතාවක්.
එනම් රසිකයන්ගේ කෝපය මදකට හෝ නිවීමට සමත්, ලෝක කුසලාන පරාජයට සමාව ඉල්ලන කතාවක් නායකයාගෙන් සිදුවෙතැයි පුද්ගලිකවම මමත් පුරෝකථනය කළා.
මන්ද ඔවුන්‍ට එරෙහිව තිබූ විවේචන එතරම් බරපතලයි.
එමෙන්ම එය මහජන සම්බන්ධතා කළමනාකරණයේ (Public relations, AKA PR) මූලික සහ සරලම න්‍යායයක්.
රසික විරෝධය මදකට හෝ නිවාගැනීමට තිබූ එකම විකල්පය වූයේ කණ්ඩායම සහ නායකයා පසුතැවිල්ලකින් මාධ්‍ය ඇමතීමයි.
නමුත් නායක වනිදු හසරංග කිසිදු චකිතයකින් තොරව ඉතා සැහැල්ලුවෙන්, සිනහාමුසු මුහුණෙන් සහ තරමක නොසැලකිල්ලකින් මාධ්‍ය ඉදිරියට ආවා.
කිසිඳු පසුතැවීමක් ඔහුගේ මුහුණේ ලියැවී තිබුණේ නැහැ. කිසිඳු පසුතැවීමක් ඔහුගේ ස්වරයේ ගෑවි තිබුණේ නැහැ.
එමෙන්ම මෙය ක්‍රීඩකයන් විසින් සිදු කළ විනෝද චාරිකාවක් පමණක් යැයි තවත් දරුණු විවේචනයක් කණ්ඩායමට එල්ල වී තිබුණා.
එනමුත් කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයන් සිය පුද්ගලික ආම්පන්න වලට අමතරව තවත් ගමන්මලු බොහෝමයක් රැගෙන, උජාරුවෙන් මාධ්‍යය ඉදිරියටම ආවා.
ඔවුන්ට අවශ්‍ය නම් ඒවා මාධ්‍යයෙන් සඟවා පසුව ලබා ගැනීමට තිබුණා.
නමුත් ඔවුන් කැමරාව ඉදිරියේ අව්‍යාජ වීමට තරම් සැහැල්ලු සහ නිර්භීත වුණා.
වනිඳුගේ කතාවෙන් සහ කණ්ඩායමේ හැසිරීමෙන් රසිකයන් තවතවත් කෝපයට පත් වූ අයුරක් ද දැකගත හැකි වුණා.
නමුත් වනිඳුගේ ඉහළ ස්වරය සහ ක්‍රීඩකයන්ගේ සැහැල්ලු සිනහව කියනා කතාවක් තිබෙනවා.
එනම් මේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ට කිසිදු පීඩනයක් එල්ල කර නොමැති බව.
රසිකයන්ගේ විවේචන නිෂ්ක්‍රීය කිරීමට ක්‍රීඩකයන්ට කිසිඳු අවශ්‍යතාවයක් හෝ උවමනාවක් නොමැති බව ඔවුන්ගේ හැසිරීම් පෙන්වා දෙනවා.
කණ්ඩායමට පීඩනයක් එල්ල කළ හැකි සහ කණ්ඩායම වග කියනා පාර්ශව ඇත්තේ එකයි.
ඒ රසිකයන්, මාධ්‍ය හෝ මෙරට ජනතාව නොවෙයි, ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය පමණයි.
වනිඳුගේ සැහැල්ලු ස්වරයෙන් සහ අවඥාසහගත සිනහවෙන් කියවෙන්නේ මේ පරාජයෙන් පසුව, එවැනි කිසිඳු පීඩනයක් හෝ විවේචනයක් ක්‍රිකට් පරිපාලනයෙන් කණ්ඩායමට එල්ල වී නොමැති බව.
ඊටත් එහා ගොස් කුමන කොන්දේසියක දී හෝ කණ්ඩායම ආරක්ෂා කිරීමට සර්ව බලධාරී ක්‍රිකට් පරිපාලනය ඉදිරිපත් වීමේ සහතිකය ක්‍රීඩකයන් සතු බව එම හැසිරීමෙන් පෙනෙනවා.
වනිඳු සහ කණ්ඩායම පෙන්වා දුන්නේ තවදුරටත් රසිකයන්ගේ විවේචන හෝ ගල්, මුල් තමන්ට අදාල නොමැති බවත්, ඒවායෙන් තමන්ට කිසිඳු බලපෑමක් නොවන බවත්.
කොටින්ම වනිඳුගේ අද කතාවේ සාරංශය නම් රසිකයන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩිව වැළඳ ගෙන, එයට තදින් ආදරය කළත් ඔවුන්ට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිඳු අයිතියක් නොමැති බවයි.
රසිකයන්ගේ හඬට ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිඳු බලපෑමක් හෝ වෙනස්කමක් කළ නොහැකි බව වනිඳු නොකියා කිව්වා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ එක් සර්වබලධාරියෙකු සිටිනවා.
ඒ ක්‍රිකට් සභාපතිවරයා.
ඔහු කණ්ඩායම ආරක්ෂා කරනා තුරු, රසිකයන්ගේ විවේචනයන්ගෙන් කිසිඳු ඵලක් නොමැති බව කණ්ඩායම දන්නවා.
එමෙන්ම සිය ව්‍යාපාර සාර්ථකව මෙහෙයවෙන තුරු මේ පරාජයන් ක්‍රිකට් පරිපාලනයට කිසිදු ගැටලුවක් නිර්මාණය නොකර තිබෙන බවත් මින් පෙනෙනවා.
රටක් ඉදිරියේ, ලෝක කුසලාන පරාජයකින් පසුව සිදු කළ ඒ ප්‍රකාශයේ සැඟවුණු අරුත එයයි.
සැබැවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයා යනු තමන්ට හිමි නොමැති දෙයකට අයිතිවාසිකම් කියමින්, පෙම් කරන්නන් පිරිසක් බව වනිඳුගේ කතාව සහ ක්‍රීඩකයන්ගේ හැසිරීම නොකියා කියනවා.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...