නායකයෙක් ඉන්නෙ රඟන්න නෙවෙයි. නායකයො හදන්න බෑ, හැදෙන්න ඕන

Share post:

මුරලිගෙ Interview එකක් දැක්කා. ඔහු කෙළින්ම කියනවා අපිට දැන් World Cup දිනන්න බැරි බව. මීට අවුරුදු කිහිපයකට කලිනුත් උන්නැහේ එහෙම කිව්වා. මැච් දිනන කොට අපි මුරලිට බැන්නා කුහකයා කියල. ඒත් පරදින කොට කියනවා මුරලි හරි කියලා.

World Cup එකකට කිට්ටු වෙන්නනම් කණ්ඩායමක World Class ක්‍රීඩකයන් 4ක්වත් ඉන්න ඕන කියල මුරලි කියනවා. ඉස්සර හිටියා අර්ජුන, අරවින්ද,සනත්, මුරලි ඊට පස්සෙ මහේල, සංගා. මුරලිගෙ කටින් නොකිව්වට තවත් ඉන්නවා. මාවන්, වාස්, මාලිංග, කුලසේකර, ඩිල්ශාන්, රංගන වගේ ලිස්ට් එකක්. ඇන්ජලෝ වගේ නම් කියවුනාට ඔවුන් කවදාවත් Classy players ල වුණේ නෑ කියල මුරලි කියනවා.

දැන් අපි ක්‍රිකට් ගැන Update නෑ. දැන් ටීම් එකේ ඉන්නෙ මොක්කුද කියලවත් දන්නෙ නෑ. අන්තිමට යන්තම් හරි ගටක් තිබුණේ ශානක කැප්ටන් කරද්දි. ඒකත් ඉතින් උඩ බලන් කෙළ ගහන්න බැරි නිසා.

ලෝකය වෙනස් වෙලා තමයි. ඒත් ක්‍රිකට් ලෝකයේ කාලෙන් කාලෙට එන හැම සංකල්පයම අපට ගෙඩි පිටින් ගන්න බැහැ. ටෙස්ට්, ODI , T20 කියලා වෙන වෙනම Captain ලා දාපු එක වැරදුනා වෙන්න පුලුවන්. අපට හරියට එක්කෙනෙක් හිටියනම් ඇති. කැප්ටන්ල ගොඩක් හිටියම යහපාලන ආණ්ඩුව වගේ වෙනවා. ඉස්සර ලංකාවෙ ක්‍රිකට් කිව්වම ඒකෙ වගකීම ගත්තෙ ක්‍රිකට් බෝඩ් එකට වඩා අර්ජුන. ඔහුට රට වෙනුවෙන් වගකීමකුත් ලැබුණා. ක්‍රීඩකයො ගෙවල්වල නතර කරන් කන්න බොන්න දුන්නෙ ඒකයි.

අපිට වැරදුන තැනක් තමයි මාලිංග කැප්ටන් කරලා T20 World Cup එක ගත්තම ඕන එකෙකුට Captaincy කරන්න පුලුවන් කියලා තවත් ඒ මොඩලයෙන්ම නායකයො හොයන එක. මාලිංග වැඩ්ඩා තමයි. ඒත් ඒ තරඟාවලිය දක්වා කණ්ඩායම ඇදන් ආවෙ චන්දිමාල් බව හැමෝටම අමතක වුණා.
නායකයෙක් ඉන්නෙ රඟන්න නෙවෙයි. ඔහුට දැක්මක් තියෙන්න ඕන. සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම තුළ ජීවත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින්න ඕන. සියල්ලටම වඩා විනයක් තියෙන්න ඕන. රට ගැන කැක්කුමක් තියෙන්න ඕන. අදටත් අර්ජුන ගැන ලෝකයම කතා කරන්නෙ ඒකයි.

ටෙස්ට් තත්ත්වය දිනාගෙන කෙටි කාලයකින් ලෝක කුසලානය දිනා ගෙන ලෝකයේ භයානකම කණ්ඩායම හදන්න ඔහුට පුලුවන් වුණා. බංගලියො කොච්චර උඩ පැන්නත් උන්ට අර්ජුනලා නැහැ. ඒ කාලෙ ලොව පුරා විචාරකයන් අපට ආදරය කළේ විනය ගරුක බව නිසා. පොඩි පොඩි රංඩු සරුවල්වල පැටළුනාට ලොකු සීන් දාන්න ගියේ නෑ කවුරුත්. මුලින්ම Captain Cool කිව්වෙ අර්ජුනට. මුරලිට කිව්වෙ සිනාසෙන ඝාතකයා කියල.
අර්ජුනලා තමන්ගෙ පසුපසින් පරම්පරාවක්ම හැදුවා. මාවන්, මහේල, සංගා හරහා ඇවිත් චන්දිමාල්ලා දක්වා ආවෙ ඒ ගැම්ම.

අර්ජුනත් උපාසකයෙක් නෙවෙයි. ඔහුත් ක්‍රිකට් නීතී කැඩුවා. ලොකු ටෝක් දැම්මා. ක්‍රිකට් ලෝකයේ හතුරන්ට රිදෙන්නම දුන්නා. උන්ට කොචොක් කළා.
ශේන් වෝන් කියන්නෙ උපායශීලී පන්දු යවන්නෙක්. තමන්ගෙ අතට උඩපන්දුවක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු අර්ජුනට කෙටි පන්දුවක් යැව්වා. අර්ජුන ඉදිරියට පැනලා බුලට් එකක් වගේ පන්දුව හතරේ සීමාවට යැව්වා. වෝන්ගේ සුදු මූණ කලු වෙලා ගියා. ඊළඟට අර්ජුනගෙ පපුවටත් උඩින් Full toss එකක් යැව්වා. අර්ජුන ඉදිරි පාදයට ඇවිත් ඒකට දැවැන්ත හයේ පහරක් එල්ලකළා.

වෝන් මේ ඕවරය යැව්වේ එසේ මෙසේ තරඟයක නෙවෙයි. ඒක 1996 ලෝක කුසලානයේ අවසාන තරඟය. අර්ජුන ඒ හයේ පහර ගහලා තමන්ට ඔලොක්කුවට දිවත් දික්කරපු බව වෝන් පසුව කියා තිබුණා.

වෝන්ගෙ ක්‍රිකට් ජීවිතේ ලොකුම හතුරා අර්ජුන. දෙන්න අතරෙ ඒ තරම් ඇයි හොඳැයියක් තිබුණෙ නෑ. ක්‍රිකට් විචාරකයෙකු වූ සුවාජි මුස්තාෆි එක්ක වෝන් පසු කාලයක කියනවා තමන්ට අර්ජුනව දිරවන්නෙ නැති බව.

“අර්ජුන ගැන මට තිබුණ ලොකුම ගැටළුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන එයාගෙ තිබුණු ආකල්පය. එයා ක්‍රිකට් නීති රීති කැඩුව කියල මං කියන්නෙ නෑ. හැබැයි එයා ඒව තමන්ට ඕනෑ ඕනෑ විදියට නවල ගන්නවා.”

“එක පාරක් එයා Umpire ගෙ තීරණයකට එකඟ නොවී Team එක අරන් එළියට යන්න හැදුවා. තව පාරක් වැරදි තැනක හිටන් ඉන්නවා කියල Umpire ට බාල්දියක් ඇද්දා. එතැනින් අයින් වෙන්න කියලා Umpireට ඕඩර්ස් දුන්නා. බොරු ලෙඩ පෙන්නලා එයා වෙනුවට දුවන්න Runners ලා ගෙන්නනවා. ඒ විතරක් නෙවෙයි මිනිහ බැටළුවෙක් ගිලලා වගේ ඉන්න ගමන් Team එකට කියනවා අපිට අතට අත දෙන්න එපැයි කියලා.” ශේන් වෝන් එහෙම කියනවා.
හැබැයි අර්ජුන මේ සෙල්ලම් ඔක්කොම දැම්මේ තමන් කවුද කියල ලෝකයටම පෙන්නලා. ලෝකයම හොල්ලලා. එතකොට ඒක අර්ජුනගෙ අභිමානය නෙවෙයි ශ්‍රී ලාංකික අභිමානය. වාද විවාද තිබුණත් අදටත් ක්‍රිකට් ඉතිහාසයේ අර්ජුනලාට සුන්දර පරිච්ඡේදයක් වෙන්වන්නෙ ඒකයි. දැන් ඉන්න උන්ට පරිච්ඡේද තියා රටකට යන්න වීස ගන්නත් වෙනම CV ලියන්න ඕන. කුල්ල කුජීත වෙලා ඉඳිද්දිත් අපි දැන් ලෝකය ඉස්සරහ ගාෆිල්ඩ් සෝබර්ස්ලා වෙන්න හදනවා.

නායකයා වෙලඳ දැන්වීම්වල ඉන්න එකයි, හිත ඉල්ලන තරුවලට ගිහින් සිංදු කියන එකයි නෙවෙයි වැදගත් වෙන්නෙ. නායකයො හදන්න බෑ. හැදෙන්න ඕන. රටේ විතරක් නෙවෙයි ලෝකයේ පිළිගැනීම තියෙන්න ඕන. අර්ජුන, මහේල, සංගා, කපිල් දේව්, ඉම්රාන් ඛාන්, ඇලන් බෝඩර්, රිකී පොන්ටින්, දෝනි, කෝලි. මේ කවුරු ගත්තත් එහෙමයි. නාලන්දාවෙන් මහේල නායකත්වයට පුහුණු කලේ බැට් එක අල්ලපු කාලෙමයි. ගාල්ලෙ හිටපු චන්දිමාල්ව ආනන්දෙට ගෙන්න ගත්තෙන් එහෙමයි. මොකද නායකයො හදන්න ඕන ඊට සුදුසු භූමියක.

අඩු ගාණෙ මාධ්‍ය සාකච්ඡාවකට ගිහින් ඉංග්‍රීසියෙන් කතා කරන්න අනිවාර්යයෙන් පුලුවන් කම තියෙන්න ඕන. මෙහෙම කිව්වම සමහරු බනියි. ඒත් ක්‍රිකට් කියන්නෙ සුද්දගෙ ක්‍රීඩාව. දිනන පරදින එක වෙනයි. විනයක් තියෙනවානම් භාෂාව හසුරුවනවානම් රටට ලැබෙන උපයා ගැනීම වැඩියි.
ක්‍රිකට් ලෝක කුසලානයක් දක්වා කණ්ඩායම මෙහෙයවන්න ශක්‍යතාවයක් තිබ්බ අන්තිම නායකයා චන්දිමාල්. ඔහුට නායකත්වය ලැබුණම IPL ගියේ නැහැ. එංගලන්ත සංචාරයට සූදානම් වුණා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න කාලය වෙන් කළා. ඔහුට ඇත්තටම තමන්ගෙ පූර්වගාමියො අනුගමනය කරන්න ඇම්මක් තිබුණා. ක්‍රිකට් නායකයෙක් කියන්නෙ රටකට තානාපතිවරයෙක්. මහත්මා ගාන්ධිව නොදන්න ඉන්දියානුවො පවා ලංකාවෙ ක්‍රිකට් නායකයා දන්නවා. ක්‍රිකට් කියන්නෙ සෙල්ලමක් වුණාට ක්‍රිකට් නායකත්වය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.

වෙනස් මත තියෙන්න පුලුවන්. මේ මම හිතන හැටි. ඉස්සර මාවන් අතපත්තු එක දිගට බිංදු. ඒත් අර්ජුනගෙ කැරිස්මාවෙන් ඔහු ආරක්ෂා වුණා. පස්සෙ බෝලර්ස්ලට දාර ඇණයක් වුණා. සංගලා, මහේලලා එන්න කළින් Double Centuries වැඩියෙන්ම ගැහුවෙ මාවන්. චන්දිමාල්ටත් පස්සෙ බිංදුමාල් කියන්න ගත්තා. ඉතින් උන්දැව කැපුවා. ඔහුව හැදුවෙ නායකත්වයට කියන එක හැමෝටම අමතක වුණා.

චන්දිට විනය හා ඉවසීම තිබුණා. නිහතමානීකම තිබුණා. කැපවීම තිබුණා. Batting fail වුණා කියල මිනිස්සු බැන්නට කොටුපැනලා, නාඩගම් නටලා, අඩි පුඩි ගහලා චාටර් වුණේ නෑ.

ඉවසීම නොතිබුණේ ප්‍රේක්ෂකයන්ට, ක්‍රිකට් පාලකයන්ට. චන්දිමාල් ගැන අර්ජුනටත් විශාල බලාපොරොත්තුවක් තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩකයො දැන් බිස්නස් කරනවා. බෝඩ් එකේ අය ලස්සනට ක්‍රීඩා කරනවා. ක්‍රීඩකයන්ගෙ සෙල්ලම් ගැන ලිව්වට බෝඩ් එකේ ක්‍රීඩකයන්ගෙ සෙල්ලම් ඒකෙන් වැහෙන්නෙ නැහැ. ඒ වගේම හසරංගලා ගැන උදහසින් නෙවෙයි ලියන්නේ. ඔවුන් තව තෙම්පරාදු වෙන්න ඕන. හැදෙන්න ඕන. ක්‍රිකට් කියන්නෙ විලාසිතාවක් නෙවෙයි. ක්‍රීඩාවක්. දකුණු ආසියාවෙ රටවලට ආගමක්.

ප්‍රේක්ෂකයොනම් කියයි පැතුම් නිශ්ශංකටත් Captaincy එක දෙන්න කියලා. ඒත් හරි නායකයෙක් තෝරාගෙන ඔහුට කාලය, අවස්ථාව හා අවකාශය දෙන්න ඕන. හැබැයි සුදුස්සෙක්. ගහෙන් ගෙඩි එන්න වගේ Hit වෙලා එන ඇත්තොන්ට Captaincy එක දෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන. ආපු ගමන් ළඟ නමයි. ඒත් පැවැත්මක් නෑ. හෝදගෙනම යන්නේ. ක්‍රීඩාවට නෙවෙයි කොයි ක්ෂේත්‍රයටත් ඒක අදාලයි.

ශානක ලියනගම (fb)

Related articles

“දිනක මේ දත් නැති මිනිසා ධෛර්යයේ ස්මාරකයක් වනු ඇත”

1980 එක්තරා දිනක රුපවාහිනිය ඔස්සේ විකාශනය වුනු රුමේනියාවේ ටෙනිස් තරගයක ජයග්‍රාහිකාවට ලබා දුන් ඩොලර් 40,000ක ත්‍යාගයක් තම වසර...

2029 බක් මාසෙ 13 වැනිදා අමුත්තෙක් පෘථිවියට ප්‍රාතීර්භූත වෙන්න නියමිතයි

තව අවුරුදු 5කින් සිංහල අලුත් අවුරුද්දට කදිම නැකතක් එළඹෙනවා. හරියටම 2029 බක් මාසෙ 13 වැනිදා සිකුරාදා දවසක්. එදාට...

පැබ්ලෝ පිකාසෝ සහ ජෝර්ජස් බ්‍රාක්ගේ හෘදයංගම මිත්‍රත්වය

20 වැනි ශතවර්ෂයේ චිත්‍ර ශිල්පීන් අතර ඉතා හොඳින් ලේඛනගත වී ඇති ගැඹුරු හෘදයංගම මිත්‍රත්වයක් පැවතුනේ පැබ්ලෝ පිකාසෝ සහ...

Victoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී එළිදකී !

2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf...