රජුන් තනන නාකි මයිනලා

Share post:

ඉන්දියානු දේශපාලනයෙන් ගාන්ධිලා අයින් කළත් චන්ද්‍රබාබු නායිදු අයින් කරන්න බැහැ. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය නිමා වුණා. කලින් කියපු අනාවැකි සියල්ල බිමටම සමතලා වුණා .

දැන් ලෝකයම බලන් ඉන්නේ මෝදි දිහාවත් රාහුල් ගාන්ධි දිහාවත් නෙවෙයි. ප්‍රාන්ත දේශපාලනයට අරක් ගත් නාකි මයිනො දෙන්නෙක් දිහා.
ලෝකයේ ජනප්‍රියම දේශපාලනඥයා ලෙස වැජඹුණු ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජී හෙවත් මෝදි මහත්තයා ආයෙත් ඉන්දියාවෙ අගමැති වුණා. ඒත් කළින් දාපු සෙල්ලම් උන්නැහේට තමන්ගෙ තුන්වැනි ඉනිමෙ දාන්න බැහැ.

මෝදිට හදන්න වෙන්නෙ සභාග ආණ්ඩුවක්. ඉන්දීය ප්‍රාන්ත දේශපාලනයේ කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයන් දෙන්නෙක් මත යැපෙන්න දැන් මෝදිට සිද්ධවෙනවා.

එක්කෙනෙක් තෙලිඟු දේශම් පක්ෂයේ නායක චන්ද්‍ර බාබු නායිදු. අනෙකා ජනතා දාල් (United) නායක නිතීෂ් කුමාර්.

භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ. ඉතුරු ටික සඳහා චන්ද්‍රබාබුගේ ආසන 16 හා නිතීෂ් කුමාර්ගේ ආසන 12 මත යැපෙන්න වෙනවා.
ඒ දෙන්නා දැන් ඉන්දියාවෙ රජුන් තනන්නෝ (King Makers) විදියට සැළකෙනවා. මේ දවස්වල නවදිල්ලියේ කැමරා ඇටවිලා තියෙන්නෙ මේ දෙන්නා ඉන්න තැන්වලට.

එයිනුත් චන්ද්‍රබාබු ප්‍රධානයි. පැහිච්ච එළු රැවුලක් වවන් කහපාට බුෂ් කමිසයක් ඇඳන් කපටි බැලුමකින් යුවර් කන්ටරි ඉංග්‍රීසියෙන් කතා කරමින් බර අඩි තියන මේ උස හීන්දෑරි නාකි මයිනා දැන් ඉන්දීය දේශපාලනයේ තීරණාත්මකම චරිතය වෙලා ඉවරයි.
චන්ද්‍රබාබු නායිදු තුන්වරක් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති වුණා. නව තාක්ෂණය ප්‍රාන්තයට ගෙනත් හයිද්‍රාබාද් කලාපය ලෝකයට ගෙනියන්න ඔහු නිර්භීත තීරණ ගත්තා. තමන්ගෙ ප්‍රාන්තයට ආධාර ගන්න ලෝක බැංකුවත් එක්ක කෙලින්ම ගිවිසුම් ගැහුවා.

ඒත් පසුව ඔහු මෝදිලා සමඟ හිත් නරක් කර ගත්තා. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ආන්ද්‍රා සහ තෙලංගානා ලෙස දෙකට කැඩුනා. චන්ද්‍රබාබුගේ සිහින නගරය වූ හයිද්‍රාබාද් තෙලංගානාවට අයිති වුණා. ආන්ද්‍රා ප්‍රදේශ් ඉතිරි කොටසේ අමරාවතී නම් නගරයක් අගනුවර කරගෙන ඔහුට මුල ඉඳන්ම පටන් ගන්න සිද්ධ වුණා. තෙලංගානාවට වෙනම මහ ඇමතිවරයෙක් පත් වුණා. චන්ද්‍රබාබුටත් දූෂණ චෝදනා එල්ල වුණා.

ඉන්දියානු දේශපාලන පිටිය හොල්ලන් හිටපු චන්ද්‍රබාබුගේ ලෝකය 2019 දි කඩා වැටුණා. ආන්ද්‍රා ප්‍රදේශ් මැතිවරණයෙනුත් ඔහු පැරදුනා. 2019 ලෝක් සභා මැතිවරණයෙනුත් ඇප නැති වෙන්නම පැරදුනා. ආන්ද්‍රා ප්‍රදේශ් නව මහ ඇමති වුණේ ජගන් මෝහන් රෙඩ්ඩි කියන ආකර්ෂණීය තරුණ නායකයා.
කුල්ල කුජීතම වෙන්න පැරදිලා ගෙදර ගිය චන්ද්‍රබාබු මහත්තයා බණක් භාවනාවක් කරන් පාඩුවේ ඉදියි කියලා ගොඩක් දෙනා හිතුවේ. ඔහුගේ කාලය ඉවරයි. පස්සෙ කාලෙක ගාන්ධිලා එක්ක පයිරු පාසානම් ඇති කර ගෙන ඒ පැත්තෙන් ආයෙත් ගොඩ එන්නත් බැලුවා.

ඒත් 2024 ලෝක් සභා මැතිවරණයට සති කිහිපයට කළින් චන්ද්‍රබාබු හදිසි තීරණයක් ගත්තා. ඔහු මෝදිලාගේ NDA සන්ධානයට එකතුවුණා. චන්ද්‍රබාබුලා වගේ තෙම්පරාදු දේශපාලනඥයන්ට කරදිය සුළගෙන් නැව යන පාර කිව්වහැකි.

දකුණු ඉන්දියාවෙ කොහොමත් මෝදිලාගේ හින්දූත්ව සංකල්පයට ඒ තරම් ඉඩක් නැහැ. ඒක පැරණි චෝල අධිරාජ්‍යයය. කේරල, තමිල්නාඩු ප්‍රාන්ත දෙකත් ගාන්ධිලාට බරයි.

මෝදිත් එක්ක එකතුවෙලා බලය අල්ලන්න පුලුවන්ද, කුජිත වෙලා පැරදිලා ආයෙත් ඡන්දෙට එන්න පුලුවන්ද කියලා මාධ්‍යවේදීන් අමරාවතියෙ ගෙදරට ගිහින් ඇහුවම චන්ද්‍රබාබු ඇඟට පතට නොදැනී කිව්වෙ “ආවම බලන්නකෝ” කියල.

ජූනි 4 ඉන්දීය මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වුණා. චන්ද්‍රබාබුගේ පක්ෂයට ආසන 16යි. ඒ විතරක් නෙවෙයි. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයත් උඩින්ම දිනුම්. හෙට අනිද්දා හතරවැනි වතාවටත් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති.

චන්ද්‍රබාබුට වඩා ආසන දිනපු ප්‍රාන්ත පක්ෂ නායකයො ඉන්නවා. අකිලේෂ් යාදෙව්ගෙ සමාජවාදි පක්ෂය උත්තර් ප්‍රද්‍රේශ් ආසන 37ක් දිනුවා. තමිල්නාඩුවේ ස්ටාලින්ගෙ DMK ආසන 22යි. බටහිර බෙංගාලයෙ මමතා බෙනර්ජිගෙ ට්‍රිනමූල් කොංග්‍රසය ආසන 29 යි. හැබැයි ඒ ඔක්කොම ඉන්නෙ ගාන්ධිලා එක්ක. මෝදිලාගේ වත්තෙ ගේට්ටු දා ගන්න පුළුවන් බව චන්ද්‍රබාබුලාට කලින්ම ඉව වැටුනා.

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. බයියො ටොයියො කියල ඡන්දදායකයන්ට මඩ ගහල වැඩක් නැහැ. මිනිස්සු කොහොමත් දේශපාලනය enjoy කරනවා. දේශපාලනඥයා ගෙදර යනවා.ආයෙත් එනවා. අද දියසේන හෙට මහසෝනා වෙනවා. සියල්ල තීරණය කරන්නෙ ජනතාව. ඉන්දීය මහ මැතිවරණයට ලෝකයේම ඇස් යොමුවන්නෙ ඒ නිසයි. ඒක විචිත්‍රවත්.

දැන් චන්ද්‍රබාබු නායිදු තමයි ඉන්දීය දේශපාලනයේ තීරණාත්මකම චරිතය. මෝදි මහත්තයා දැන් ඔහුව නවදිල්ලියට ගෙන්නන්නේ පාවඩ දාලා.
චන්ද්‍රබාබු මෝදිගෙන් කැබිනට් ඇමතිකම් 8ක් ඉල්ලලා තියෙනවා. ලෝක් සභාවේ කතානායක ධූරය ඉල්ලලා තියෙනවා. ඒත් ආසන 240ක් තියාගෙන BJP එක ඒවට එච්චර කැමති වෙන එකක් නැහැ. කොහොමත් මෝදිට දැන් ලේසි නැහැ. චන්ද්‍රබාබු කියන්නෙ අවුරුදු අවුරුදු 55ක් විතර දේශපාලනයේ තෙම්පරාදු වෙච්චි දේශපාලන නරියෙක්. ඔහු දැනටම ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට Special State තත්ත්වයත් ඉල්ල්ලා තියෙනවා.

චන්ද්‍රබාබුට බැරිද ඉන්දියාවෙ අගමැති වෙන්න? එහෙම ඇහුවම උන්නැහේ කිව්වෙ. “කවදාවත් නැහැ. My ambition is only to develop Andra Pradesh” යනුවෙන්.

චන්ද්‍රබාබු මහත්තයා අද නවදිල්ලියට ඇවිත් මෝදිව වර්ණනා කරලා වැඩ පටන් ගත්තා. ඔහුට දැන් ලැබෙන්නේ මෝදිට අල්ල්පු පුටුව.
චන්ද්‍රබාබු මේ ලැබුණ චාන්ස් එක අත හරින්න කැමතිවෙන එකක් නෑ. ඒ වගේම ආවට ගියාට තීරණ ගන්න එකකුත් නැහැ. රාහුල් ගාන්ධිත් තමන්ගෙ පැරණි හිතවතා ආපහු අල්ල ගන්න කුරුමානම් අල්ලනවා. කොහොම නමුත් චන්ද්‍රබාබුට මේ සෙල්ලම් දාන්න වෙන්න ඉන්දියාව ලෝක බලවතා කිරීමේ පුරෝගාමියා එක්ක.

බැරිවෙලාවත් චන්ද්‍රබාබු ආන්ඩුවත් එක්ක ගේම ඇද ගත්තොත් මෝදි බැල්ම හෙලන්නේ වෙනින් කවුරුවත් ගැන නෙවෙයි. අපේ අල්ලපු වත්තේ ඉන්න ස්ටාලින් ගැන. ස්ටාලින්ගෙ DMK පක්ෂය තමිල්නාඩුවේ ලෝක් සභා ආසන 22ක් දිනා ගත්තා. ඒත් උන්නැහේ දැන් ඉන්නෙ ගාන්ධිලාගේ සන්ධානයේ. තමිල්නාඩුවෙ උන්දැලා රජුන් තනන්න ගත්තොත් ඉතින් ලංකාව පාලනය වෙන්නෙ යාල්පානම් ඉඳන්.
කොහොම හරි මේ යන විදිය අපට හොඳයි. චන්ද්‍රබාබු නායිදු තමයි ඉන්දියාවෙ රජුන් තනන්නා

ශානක ලියනගම (fb)

          2024. 06. 07

Related articles

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍යය අභියෝගය⁣ට ලක්කිරීමක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරය දැරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ තීරණය දැනුම්දීමට...

අතරමඟ නැවතුණු Campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිමකිරීමට Westbury Residencies ඉදිරිපත් වෙයි !

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි...

“මට ඉතාම ප්‍රබල ලෙස බලපෑව නවකතාවක් තමයි වාසිලි ග්‍රොස්මන්ගේ Life and Fate”

මට ඔබේ කියැවීමේ පුරුදු ගැන ටිකක් කියන්න පුළුවන්ද? Arundhati Roy : මම කේරළයේ උස් මහත් වෙද්දි, මගේ මොළේ ඉංග්‍රීසි කොටස...

මියගියත් ජීවත්වෙන මිනිහෙක්

අපට 'බාහු" වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා මේ දේශපාලන සමාජය සදාකාලිකව අතහැර ගොසිනි. මම සමසමාජ දේශපාලනයේ උපසම්පදා වූයේ...