පොත් කන්ටේනර් 200ක් ‘වෙන පාරකින්’ එළියට ඇවිත් : මිල ගැන සලකා බලන්නම් – කැබිනට් ප්‍රකාශක

Share post:

දරුවන්ට අවශ්‍ය පාසල් අභ්‍යාස පොත්වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු නොවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.
අභ්‍යාස පොත්වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ඊයේ (29) මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
‘මේ බද්ද නිසා ඔබ කියන ආකාරයට පොත්වල මිල ඉහළයෑමක් තියෙනවා නම්, අපි ඒ ගැන කතා කරන්න සූදානම්. අධ්‍යාපන ඇමැතිතුමාගෙ පැත්තෙන් එහෙම යෝජනාවක් අවොත් ඒක සලකා බලන්න ආණ්ඩුව සූදානම්.’
වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා එසේ ද පැවසීය.පොත් කන්ටේනර් 200ක් ‘වෙන පාරකින්’ එළියට ඇවිත් : මිල ගැන සලකා බලන්නම් – කැබිනට් ප්‍රකාශක

මේක දිරිගැන්වීමක් !

එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව විමසීමට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධ කර ගැනීමට අප ගත් thetime.lk ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දිගින්-දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සම්බන්ධ කරගනිමින් අප මේ පිළිබඳව විමසූ අතර, ඔහු සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි වුවද, මෙම බද්ද පනවා ඇත්තේ ආනයනය කරනු ලබන පොත් සඳහා වන නිසා එය දේශීය පොත් නිෂ්පාදකයන් දිරිගැන්වීමට හේතු වනු ඇති බවයි.

‘අපිට කතා කරන්න බෑ’

කෙසේ වෙතත් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන ඇට්ලස් ඇක්සීලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර සහ රිචඩ් අභ්‍යාස පොත් නිෂ්පාදන සමාගමේ සභාපති දිලානි ජයතිස්සගෙන් මේ පිළිබඳව විමසීමට thetime.lk උත්සාහ කළේය. එහෙත් එම සමාගම් පාර්ශ්වයෙන් අප වෙත ලබා දුන් පිළිතුර වූයේ රජයේ පාර්ශ්වයෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි. තම නිෂ්පාදන මිල ඉහළයෑමට ප්‍රධාන හේතුව අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම බවත්, එම අමුද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් එම සමාගම් පාර්ශ්වයෙන් අවධාරණය කෙරිණි.

ලිඛිත ඉල්ලීමක්

මේ පිළිබඳව thetime.lk වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පාසල් පොත් හෝ එම උපකරණ මිල ඉහළ යෑම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටෙන්නේ නම්, එය අතිශය බරපතළ ඛේදවාචකයක් වන බවයි. වැඩිහිටියන් ලෙස එහි සමස්ත වගකීම සියල්ලන් දැරිය යුතු බවත්, දරුවන්ගේ එම අවශ්‍යතා සපුරාලීමට අනිවාර්යෙන්ම මුල්තැන ලබාදිය යුතු බවත් සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා, මෙම භාණ්ඩවල මිල අඩු කරන ලෙස සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ලිඛිත ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද අප වෙත සඳහන් කළේය.

රනිල්ගේ යෝජනා

පසුගිය 14දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 අයවැය වාර්තාව මගින් අධ්‍යාපනය නවීකරණය කිරීම සම්බන්ධයෙන් වන යෝජනා රැසක් හඳුන්වා දී තිබිණි. පාසල්වල අන්තර්ජාල පහසුකම් වැඩි කිරීම, පාසල් 1,000කට නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කිරීම, පළාත් පාසල් 139ක් සඳහා ජල නල පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත් විය.

වෙන්නෙ මොකක්ද ?

මේ පිළිබඳව thetime.lk වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් මයුර සේනානායක පවසන්නේ අයවැයෙන් මෙවැනි යෝජනා පෙන්වූවද, පාසල්වල ජල බිල්පත් පවා රජයෙන් ගෙවීම මේ වන විට අත්හිටුවා ඇති බවයි. එම බිල්පත් ගෙවීම ද මව්පියන් පිට පටවා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ප්‍රයෝගිකව ජනතාව අත්විඳින තත්ත්වය මෙය වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ වටිනාකම් ඉහළ දැමීම ඇතුළු වරප්‍රසාද වැඩි කර ගැනීම දිගටම සිදුකරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

බහාලුම් 200ක්?

මේ අතර ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බහාලුම් 200කට අධික ප්‍රමාණයක් රේගුවේ ග්‍රීන් චැනල් (Green Channel) හරහා නිදහස් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. ග්‍රීන් චැනල් හරහා බහාලුම් නිදහස් කිරීමට අවශ්‍ය තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය (RMU – Risk Managemant Unit) මගිනි.
එහි ප්‍රධානී රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදත් සිල්වාගෙන් thetime.lk මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ බහාලුම් තොගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි. ඊට හේතුව තමන්ට ඒ පිළිබඳව නිවැරදි මතකයක් නොමැති වීම බව ද ඔහු සඳහන් කළේය.
තම ඒකකය මගින් බහාලුම් පරීක්ෂා කළ යුතු ප්‍රමාණය තීරණය කරනු ලබන බවත්, ග්‍රීන් චැනල් වෙත බහාලුම් යොමුකෙරෙන්නේ ද ඒ අනුව බවත් ඔහු පැවසීය. එහෙත් ඒවා ද අනෙක්වා තරම් නැතත්, පරීක්ෂාවට ලක්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

හොයන්නම් – අධ්‍යක්ෂ ජනරාල්

මෙම ග්‍රීන් චැනල් හරහා මුදාහැරෙන ඇතැම් බහාලුම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ බරපතළ සැක මතු විය. ආණ්ඩුව පවසන ආකාරයට ආනයනික ලිපි ද්‍රව්‍ය සඳහා නව බද්දක් අයකිරීමට තීරණය කර තිබියදී, මෙවැනි තොගයක් ගෙන්වූ යේ කවුද යන්නද ගැටළුවකි. අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තොග නිසි පරිදි වෙළෙඳපොළට මුදාහැරෙන්නේ නම්, අභ්‍යාස පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු අගයකින් පහත දැමිය හැකි වන බවයි.
මෙවැනි ලිපි ද්‍රව්‍ය තොගයක් පිළිබඳව දැනුවත් ද සහ එවැන්නක් මුදාහැරිම සඳහා වෙනත් පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් thetime.lk ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්ගෙන් සෘජු විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවත්, අප සඳහන් කළ කරුණ පිළිබඳ සොයාබලන බවත් ය.

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...