ගයාමන් දිසානායකගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “තෘප්ත”

Share post:

ගයාමන් දිසානායක අප හඳුනාගෙන සිටියේ , “මන්දාරම් අඳුර මැදින්”, “අව්වේ මුතු ඇට වපුරා” යනාදී වශයෙන් වූ අර්ථවත් මෙන්ම ජනප්‍රිය ගීතවල පද රචකයා වශයෙනි. ගයාමන් ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “තෘප්ත” මැයෙන් ප්‍රකාශයට පත් වී ඇත. ලංකාවේ අපට වැඩි වශයෙන් හමු වනුයේ කාලයක් කාව්‍ය රචනයේ යෙදෙමින් සිට ගේය පද රචකයින් ලෙස “උසස් වීම්!” ලබන කවියන් ය! ඊට හේතු වී ඇත්තේ ගීතය ජනප්‍රිය මාධ්‍යයක් වීමත්, ඇතැම් විට එය ආර්ථික වශයෙන් වාසිදායක වීමත් නිසා විය හැකිය. කෙසේ නමුත් ගේය පද රචකයෙකු වශයෙන් යම් ජනප්‍රියතාවක් දිනාගෙන සිටිය දී ම කාව්‍ය සංග්‍රහයක් එළිදැක්වීමට උත්සුක වීම අගය කළ යුත්තකි.

කවිසමය තුළ කාන්තා ශරීරයේ ආකර්ෂණීය අංගෝපාංග විස්තර කෙරෙනුයේ සිත් ඇදබැඳ ගන්නා අලංකාර චිත්තරූප මවනා බස් වහරකිනි. ගේය පද රචකයෙකු, කවියෙකු වීමට අමතරව, ගයාමන් වෘත්‍තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වේ. ඉදින් පෙර කවි ඇසින් දුටු ස්ත්‍රී ශරීරයේ සුන්දරත්වය, වෙද ඇසින් බැලූ කල්හී සිදුවන්නේ කුමක් ද යන්න කදිමට විස්තර කෙරෙන කවියකි, “කුරිරු දෙවියා…” ;

කුරිරු දෙවියා…

සිසිවන උවන
කෙස්,මස්,ඇට,දත්
බවට හැරවිය

ලලිත රන තිසරුන්
කිරි ශිරා, නහර,
මේද කැදැලි විය

රිය සකයුරු උකුල
ගැබ් දරන
සංවේදනාවකට පෙරැළිණ

සැළලිහිණි දඟ යුග පැලී
මස් පිඬු බන්ධනී
මතු විය

වෙදැස!
නුඹ කුරිරු දෙවියෙකු නොවෙද?

“දෙයාකාර” නමැති කවිය , දෙදෙනෙකු අතර ප්‍රේමය හටගත හැකි ආකාරය විමසන , හිතන්නට පොළඹවන අර්ථවත් කවියකි. ඇතැම් විටෙක ස්ත්‍රී – පුරුෂ යුවලක් අතර හටගන්නා කායික ආකර්ෂණය හා බන්ධනය, හදවත හඳුනාගැනීම හෙවත් ආදර බන්ධනයක් දක්වා දළු ලා වැඩෙන්නට පුළුවන. අනෙක් අතට මුලින් හදවත හඳුනා ගැනීම හෙවත් ආදර බන්ධනය හටගෙන , පසුව එය කායික බන්ධනයක් බවට පත්වීමට ද පුළුවන.

දෙයාකාර

සියොළඟ
දනිමි,හඳුනමි,
හදවත
තුළට එළැඹෙමි!
හදවත
දනිමි, හඳුනමි,
සියොළඟ
තුළට එළැඹෙමි!

හොඳ ගේය පද රචකයෙකු , නිසැකවම හොඳ කවියෙකු විය යුතු ය යන්න පිළිගත් සත්‍යයකි. ඉදින් ගයාමන් දිසානායක නම් වූ හොඳ ගේය පද රචකයා තුළ සැඟව සිටි ප්‍රතිභාසම්පන්න කවියා මෙම කෘතියේ නිර්මාණ තුළින් ඉස්මතු වන බව පෙනී යයි. ගැඹුරු අරුත් මතු කරන කෙටි කවි රචනයේ ද ගයාමන් සමත්කම් දක්වයි;

(නො)සතුට

අනන්ත පරතරය
රබර් සිවියක

භාර්යා

එකල මල් විල
පසුව කම් හල
මෙකල පන්සල

ලොව පොදු පිළිගැනීම වනුයේ ලොව පවතිනුයේ සත්‍යය මත ම බව ය. නමුත් අප ජීවත් වන ලොව සම්බන්ධයෙන් එය එසේම වන්නේ ද යන ප්‍රශ්නය කවියා නඟන්නේ ” බොරුව” නමැති කවිය තුළිනි. ලොව පැවැත්මට සත්‍යය මෙන්ම බොරුව ද අවශ්‍ය විය හැක! ඇතැම් විට ලොව පවතිනුයේ බොරුව මත ද විය හැකිය ?

බොරුව

අව් උපැසකි හැඩි දැඩි හිරු රැස් මඩින
දියමන්තියකි රලු මැණිකක් ඔප දමන
ෂැන්ඩි පොදකි ගල් වඩියක සැර නිවන
නිර්වින්දන ඔසුවකි කැක්කුම නසන

විලවුන් බිඳකි ගත දාඩිය ගඳ මකන
කපරාරුවකි ගල් බැම්මක කැත වහන
සංවාදයක මතුවෙන ඇද කුද අරින
සංවාසයක කඩතොලු පිරියම් කරන

ඝෝර විසැති නයි පොළොඟුන් එලෙව්වැකී
ගව් සීයක් අඟලට කෙටි කෙරෙව්වැකී
වැලි කැට නොවේ මහමේරුව හෙලෙව්වැකී
ඇලඩින් පහන දෙන මාලිග තැනෙව්වැකී

ලග්න පලාපල, මැති සබේ භාසන
ඇසිදිසි පුවත්,පොත් එළිදැකුම් දේසන
ඔබ නැති දිනෙක නියඟේ දිවිය නොරැකෙන
දියත්තක් නොමැති ලියැද්දක් ලෙසින් වියැළෙන

කොපමණ කන්කලු ද, මිහිරි ද, සුන්දරද
මටසිළිටි ද සුමට ද කරුණා බරද
අම්ලකර ද වැඩියෙන් වටිනා ඔබ ද
ඔබ නොමැතිව මනු ලොව පවතිනු ඇති ද

බොරුවෙහි වග එසේ ය!

පියන්කාරගේ බන්දුල ජයවීර

(2024/05/31)

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...