ගයාමන් දිසානායකගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “තෘප්ත”

Share post:

ගයාමන් දිසානායක අප හඳුනාගෙන සිටියේ , “මන්දාරම් අඳුර මැදින්”, “අව්වේ මුතු ඇට වපුරා” යනාදී වශයෙන් වූ අර්ථවත් මෙන්ම ජනප්‍රිය ගීතවල පද රචකයා වශයෙනි. ගයාමන් ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “තෘප්ත” මැයෙන් ප්‍රකාශයට පත් වී ඇත. ලංකාවේ අපට වැඩි වශයෙන් හමු වනුයේ කාලයක් කාව්‍ය රචනයේ යෙදෙමින් සිට ගේය පද රචකයින් ලෙස “උසස් වීම්!” ලබන කවියන් ය! ඊට හේතු වී ඇත්තේ ගීතය ජනප්‍රිය මාධ්‍යයක් වීමත්, ඇතැම් විට එය ආර්ථික වශයෙන් වාසිදායක වීමත් නිසා විය හැකිය. කෙසේ නමුත් ගේය පද රචකයෙකු වශයෙන් යම් ජනප්‍රියතාවක් දිනාගෙන සිටිය දී ම කාව්‍ය සංග්‍රහයක් එළිදැක්වීමට උත්සුක වීම අගය කළ යුත්තකි.

කවිසමය තුළ කාන්තා ශරීරයේ ආකර්ෂණීය අංගෝපාංග විස්තර කෙරෙනුයේ සිත් ඇදබැඳ ගන්නා අලංකාර චිත්තරූප මවනා බස් වහරකිනි. ගේය පද රචකයෙකු, කවියෙකු වීමට අමතරව, ගයාමන් වෘත්‍තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ද වේ. ඉදින් පෙර කවි ඇසින් දුටු ස්ත්‍රී ශරීරයේ සුන්දරත්වය, වෙද ඇසින් බැලූ කල්හී සිදුවන්නේ කුමක් ද යන්න කදිමට විස්තර කෙරෙන කවියකි, “කුරිරු දෙවියා…” ;

කුරිරු දෙවියා…

සිසිවන උවන
කෙස්,මස්,ඇට,දත්
බවට හැරවිය

ලලිත රන තිසරුන්
කිරි ශිරා, නහර,
මේද කැදැලි විය

රිය සකයුරු උකුල
ගැබ් දරන
සංවේදනාවකට පෙරැළිණ

සැළලිහිණි දඟ යුග පැලී
මස් පිඬු බන්ධනී
මතු විය

වෙදැස!
නුඹ කුරිරු දෙවියෙකු නොවෙද?

“දෙයාකාර” නමැති කවිය , දෙදෙනෙකු අතර ප්‍රේමය හටගත හැකි ආකාරය විමසන , හිතන්නට පොළඹවන අර්ථවත් කවියකි. ඇතැම් විටෙක ස්ත්‍රී – පුරුෂ යුවලක් අතර හටගන්නා කායික ආකර්ෂණය හා බන්ධනය, හදවත හඳුනාගැනීම හෙවත් ආදර බන්ධනයක් දක්වා දළු ලා වැඩෙන්නට පුළුවන. අනෙක් අතට මුලින් හදවත හඳුනා ගැනීම හෙවත් ආදර බන්ධනය හටගෙන , පසුව එය කායික බන්ධනයක් බවට පත්වීමට ද පුළුවන.

දෙයාකාර

සියොළඟ
දනිමි,හඳුනමි,
හදවත
තුළට එළැඹෙමි!
හදවත
දනිමි, හඳුනමි,
සියොළඟ
තුළට එළැඹෙමි!

හොඳ ගේය පද රචකයෙකු , නිසැකවම හොඳ කවියෙකු විය යුතු ය යන්න පිළිගත් සත්‍යයකි. ඉදින් ගයාමන් දිසානායක නම් වූ හොඳ ගේය පද රචකයා තුළ සැඟව සිටි ප්‍රතිභාසම්පන්න කවියා මෙම කෘතියේ නිර්මාණ තුළින් ඉස්මතු වන බව පෙනී යයි. ගැඹුරු අරුත් මතු කරන කෙටි කවි රචනයේ ද ගයාමන් සමත්කම් දක්වයි;

(නො)සතුට

අනන්ත පරතරය
රබර් සිවියක

භාර්යා

එකල මල් විල
පසුව කම් හල
මෙකල පන්සල

ලොව පොදු පිළිගැනීම වනුයේ ලොව පවතිනුයේ සත්‍යය මත ම බව ය. නමුත් අප ජීවත් වන ලොව සම්බන්ධයෙන් එය එසේම වන්නේ ද යන ප්‍රශ්නය කවියා නඟන්නේ ” බොරුව” නමැති කවිය තුළිනි. ලොව පැවැත්මට සත්‍යය මෙන්ම බොරුව ද අවශ්‍ය විය හැක! ඇතැම් විට ලොව පවතිනුයේ බොරුව මත ද විය හැකිය ?

බොරුව

අව් උපැසකි හැඩි දැඩි හිරු රැස් මඩින
දියමන්තියකි රලු මැණිකක් ඔප දමන
ෂැන්ඩි පොදකි ගල් වඩියක සැර නිවන
නිර්වින්දන ඔසුවකි කැක්කුම නසන

විලවුන් බිඳකි ගත දාඩිය ගඳ මකන
කපරාරුවකි ගල් බැම්මක කැත වහන
සංවාදයක මතුවෙන ඇද කුද අරින
සංවාසයක කඩතොලු පිරියම් කරන

ඝෝර විසැති නයි පොළොඟුන් එලෙව්වැකී
ගව් සීයක් අඟලට කෙටි කෙරෙව්වැකී
වැලි කැට නොවේ මහමේරුව හෙලෙව්වැකී
ඇලඩින් පහන දෙන මාලිග තැනෙව්වැකී

ලග්න පලාපල, මැති සබේ භාසන
ඇසිදිසි පුවත්,පොත් එළිදැකුම් දේසන
ඔබ නැති දිනෙක නියඟේ දිවිය නොරැකෙන
දියත්තක් නොමැති ලියැද්දක් ලෙසින් වියැළෙන

කොපමණ කන්කලු ද, මිහිරි ද, සුන්දරද
මටසිළිටි ද සුමට ද කරුණා බරද
අම්ලකර ද වැඩියෙන් වටිනා ඔබ ද
ඔබ නොමැතිව මනු ලොව පවතිනු ඇති ද

බොරුවෙහි වග එසේ ය!

පියන්කාරගේ බන්දුල ජයවීර

(2024/05/31)

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...