ඕස්ට්‍රේලියානු උරුමය

Share post:

කොල්කටා කණ්ඩායම IPL තරගාවලිය ජයග්‍රහණය කළා.
හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කොල්කටා කණ්ඩායම ජය ගන්නා බව තරගයේ මුල්ම පන්දු වාරයෙන්ම කිවහැකි වුණා.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් මුල්ම පන්දු වාරය යැවූවේ මිචෙල් ස්ටාර්ක්.
එම පන්දු වාරයේ පස්වන පන්දුව, අවසන් මහා තරගයක පීඩනය මැද යැවිය හැකි විශිෂ්ඨතම පන්දුවක්.
පිතිකරණයේ යෙදෙමින් සිටි යොවුන් ඉන්දීය පිතිකරු අභිශේක් ෂර්මා නොව ලොව ඕනෑම පිතිකරුවෙක් දැවී යා හැකි පන්දුවක්.
වමතින් පන්දු යවන ස්ටාර්ක් යැවූ ඒ පන්දුව අභිශේක් ෂර්මා ගේ මැද ඉන්නට ඉදිරියෙන් පතිත වී, අවසන් මොහොතේ එක් වූ දෝලනයක් ද සහිතව පිට ඉන්නේ ඉහළ කොටසේ ගැටුණා.
එය අවසන් මහා තරගයක පීඩනය හමුවේ ඕස්ට්‍රේලියානුවෙකුටම පමණක් යැවිය හැකි පන්දුවක්.
මෙවර IPL වෙන්දේසියේ මිචෙල් ස්ටාර්ක්, කොල්කටා කණ්ඩායමට අලෙවි වූයේ කෝටි 24.75 කට.
හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පැට් කමින්ස් කෝටි 20.75 කට මිලට ගත්තා.
එය ඉතිහාසගත මුදලක්.
මෙවර වෙන්දේසියේ මිල අධිකම ක්‍රීඩකයන් දෙදෙනා වූයේ ඔවුන්.
කෙසේවෙතත් කොල්කටා කණ්ඩායමේ සහ හයිද්‍රාබාද් කණ්ඩායමේ එම තීරණ උපහාසයටද ලක් වුණා.
වයසින් වැඩි, රතු පන්දුවේ විශේෂඥයන් යැයි කිවහැකි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් දෙදෙනෙකු, එතරම් ඉහළ මුදලකට මිල දී ගැනීම සමච්චලයට ලක් වීම පුදුමයක් ද නොවෙයි.
පැට් කමින්ස් සහ ස්ටාර්ක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ විශිෂ්ඨයන් වූවත්, IPL ඉතිහාසයේ ඔවුන් විජයග්‍රාහී ක්‍රීඩකයන් ද නොවෙයි.
එනමුත් ඔවුන් දෙදෙනාට හිමි වූ වටිනාකම සෑම සතයක් දක්වාම සාධාරණ බව තරගාවලිය අවසානයේ ඔප්පු වුණා.
හයිද්‍රාබාද් කණ්ඩායම පසුගිය තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි කණ්ඩායම.
පැට් කමින්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා ගෙන ආවා.
බොහෝ විට ඔහුට තරගාවලිය ජය ගැනීමට ද තිබුණා.
එම ජයග්‍රහණය වැලැක්විය හැකිව තිබුණේ එක් ක්‍රීඩකයෙකුට පමණයි.
ඒ කමින්ස් මෙන්ම, පීඩනය අධික අවසන් මහා තරග වල දී සිය උපරිම දක්ෂතාවය ප්‍රදර්ශනය කරනා තවත් ඕස්ට්‍රේලියානුවෙක් වන ස්ටාර්ක්ට පමණයි.
පෙර කියූ ලෙසම ස්ටාර්ක් අභිශේක් ශර්මාට යැවූ පන්දුවෙන්ම කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සලකුණු කළා.
එය කණ්ඩායමක විශ්වාසය සහ මානසිකත්වය උපරිමයෙන් ඔසවන, ප්‍රතිවාදීන් මානසිකව බිඳ දමා, පසුපාදයට ඇද දමනා පන්දුවක්.
ඕස්ට්‍රේලියාව මෙතරම් ICC කුසලාන සහ ශූරතාවයන් දිනා ගැනීම පසුපස ඇති හේතුවත්, කමින්ස්ගේ සහ ස්ටාර්ක්ගේ සාර්ථකත්වයට ඇති හේතුවමයි.
ඕස්ට්‍රේලියානුවන් තරම් දක්ෂ ලෙස පීඩනය හසුරවනා, ඕස්ට්‍රේලියානුවන් තරම් දක්ෂ ලෙස පීඩනයෙන් පන්නරය ලබනා තවත් ක්‍රිකට් ජාතියක් නැහැ.
සාමාන්‍යයෙන් විශාල තරග වල දී, පීඩනය උපරිම අවස්ථා වල දී උපරිම දක්ෂතාවයට පැමිණෙන ක්‍රීඩකයන්ට ‘ක්ලච් ප්ලේයර්ස්’ (Clutch Players) ලා යැයි කියනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ හොඳම ක්ලච් ක්‍රීඩකයා අරවින්ද ඩි සිල්වා.
මහේල ජයවර්ධන තුලත් එවැනි ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ තිබුණා.
එනමුත් ශ්‍රී ලංකාවෙන් ‘ක්ලච් ක්‍රීඩකයෙකු’ යැයි කිවහැකි පන්දු යවන්නෙක් බිහි වී නැහැ.
මුරලි පවා පීඩනය අධික තැන් වල දක්ෂතාවය හීන වූ ක්‍රීඩකයෙක්.
ලොව වෙනත් රටවල බහුතර ක්‍රීඩකයන් එසේමයි.
අසල්වැසි ඉන්දියාව දෙස බලද්දී ගෞතම් ගම්භීර් ‘ක්ලච්’ ක්‍රීඩකයෙක්.
මෑත යුගයේ ඔවුන් දිනූ ICC තරගාවලි සියල්ලේම අවසන් මහා තරග දිනවූයේ ඔහු.
එනමුත් ඕස්ට්‍රේලියාව සුවිශේෂියි.
ඕනෑම මොහොතක ඕස්ට්‍රේලියානු සංචිතයක් තුල ‘ක්ලච් ක්‍රීඩකයන්’ පහ හයක් නියෝජනය කරනවා.
තරගාවලිය පුරාවටම සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ ඕස්ට්‍රේලියානුවා, අවසන් තරග වල සුවිශේෂි දක්ෂතා ප්‍රදර්ශනය කරනවා.
පීඩනය උපරිම ස්ථානයේ ඔවුන් අපහසුම උඩ පන්දු රැක ගන්නවා.
පීඩනය උපරිම තැනේ දී ඔවුන් ඇදහිය නොහැකි පන්දු යවනවා.
එය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතියෙන් ඔවුන්ට හිමි වූ දයාදයක්.
ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වීමට හේතුවත් එයයි.
කමින්ස් සහ ස්ටාර්ක් හරහා හයිද්‍රාබාද් සහ කොල්කටා කණ්ඩායම් ද්විත්වයටම එම දයාදය හිමි වුණා.
ඔවුන් වෙනුවෙන් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම සිදු කළ ආයෝජනය සම්පූර්ණයෙන්ම වටිනා බව ඔවුන් තරගාවලිය අවසානයේ ඔප්පු කළා.
ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂි දයාදයයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ !

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී...