නිලන්ත ජයවර්ධන වෙනුවෙන් අපි නෑ : අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

පාස්කු ප්‍රහාර වලක්වානොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇතී රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පති සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අභියාචනාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටි බවට දැනුම් දුන්නේ මතකදී බැවින් නඩුවට සූදානම් වීමට කල් අවශ්‍ය බවත්, සීමිත විරෝධතා ගොනු කිරීමට කාලය අවශ්‍ය බවත් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර දැනුම් දුන්නේය. 

සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිත පියකු වන සුරාජ් නිලංග යන පිරිස ගොනු කළ මෙම රිට් පෙත්සම අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකාරුණා සහ ධම්මික ගණේපොල යන මහත්වරුන් ඉදිරියේය. 

නීතිපතිවරයා ද නඩුවට අදාලව සීමිත විරෝධතා ගොනු කර නොතිබුණු අතර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට ද කාලය අවශ්‍ය බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේය. නීතිපතිවරයා සීමිත විරෝධතා ගොනු කරන්නේ නම් ඒ සමග දැනට නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න නීතිපතිවරයා දැනුම් දෙන්නේ නම් එය මෙම නඩුවට පහසුවක් වනු ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය දැනුම් දුන්නාය.

කරුණු සලකා බැලූ අධිකරණය සීමිත විරෝධතා ඇත්නම් ගොනු කිරීම සඳහා වගඋත්තරකාර පොලිස්පතිට, නීතිපතිට සහ නිලන්ත ජයවර්ධන සති තුනක කාලයක් ලබා දුන් අතර ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් දෙසතියක් තුල ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දුන්යේ. 

නඩුව සලකා බැලිම සඳහා ජූලි 25 වැනිදා කැඳවීමට නියෝග කෙරෙිණි.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ වගකීමක් නිලන්ත ජයවර්ධන මහතාට ඇති බවට වන සාක්කිද සමග තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ලට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කර නැති බවත්, එසේ හෙයින් නිලන්ත ජයර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිට සහ නීතිපතිට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමේ පළමු ඉල්ලීම මගින් ඉල්ලා තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයට අදාල මූලික අයිතිවාසිකම් නඩුවලදී ලබා දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ලිනුරි මුණසිංහ, ටාහිරා ලෆාර්  සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටියාය. නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටි අතර පොලිස්පති සහ නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනී සිටියේය.

  • තරිඳු ජයවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...