උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන ලදි. මෙම “කැළල” (SCAR) ප්‍රදර්ශනය නැරඹීම මාගේ පෞද්ගලික මතකයක් වෙත මාව රැගෙන යන ලදි. එනම් 1980 දශකයේ දෙවුන්දර තුඩුවේ ළමා කාලය ගෙවූ අවධියයි. අපේ නිවස තිබුනේ දෙවුන්දර සිංහාසන පාරේය. අප ගිය මොන්ටිසෝරිය තිබුනේද නිවසට මීටර 100ක දුරකිනි. උදේ මොන්ටිසෝරිය තිබෙන ස්ථානයේ හවසට එම බංකු උඩ අපට චිත්‍රපට බැලීමට අවස්ථාව ලැබිණ. එය ඩෙක් යන්ත්‍රයකින් සිදුකරන ලද චිත්‍රපට දර්ශනයකි. ඉතා සුළු මුදලකට පවත්වන ලද මෙම දර්ශන බැලීමට අප ප්‍රදේශයේ වැඩිමල් සහෝදරයන්ට මෙන්ම අපට ද අවස්ථාව ලැබිණ. මෙම දර්ශන පවත්වන ලද්දේ “වීඩියෝ සනී” අයියා විසිනි. අපට වෙනස් ලෝකයක් පෙන්වන කෙනෙක් ලෙස වීඩියෝ සනී අයියාට ගෞරවයක් තිබිණි. බෲස්ලී, රම්බෝ ඇතුළු වීරයන් අපේ මතකයට ඇතුල්කරන ලද්දේ වීඩියෝ සනී අයියා විසිනි. එම චිත්‍රපට බලා කුංෆු, කරාටේ සටන් පංති ගිය සහෝදරයන් සම්බන්ධව ද මතකයක් ඇත. මෙම කාලය 1988/1989 දකුණේ භීෂණය උත්සන්න වූ කාලයයි. මේ අතරතුර කාලෙයේ සනී අයියා ඇතුළු සහෝදරයන් කිහිපදෙනෙක් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී ඇති බවට ආරංචි විය. ටික දිනකින් සනී අයියා මරා දමන ලද ආරංචිය ලැබිණ. අනෙක් සහෝදරයන් ගැන ආරංචියක් ආවේ නැත. සනි අයියා මියයාමෙන් පසු ඇයගේ පෙම්වතිය මානසික විකෘති තත්ත්වයට පත් වූ බව ද ආරංචි විය.
උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය මූලිකවම 1970/1980 දශකවල තාරුණ්‍යයේ වීරයන් වූ බෲස්ලී, චේ ගුවේරා සහ බොබ් මාලි ඇතුලත් විය. මෙම ප්‍රදර්ශනයේ වැඩි වශයෙන් බෲස්ලී මත ගොඩනගන කලා ප්‍රකාශනයන් තිබූ අතර එය අපගේ පෞද්ගලික මතකයන් අවුස්සන ලදි. එමෙන්ම, කලාගාරය තුළ ඇසීමට සැලැස් වූ Boney M සංගීතය ද ඒ මොහොත ගොඩනැගීමට උත්පේරකයක් විය. අප ලයනල් වෙන්ඩ්ටි කලාගාරයේ මෙම ප්‍රදර්ශනය නරඹමින් සිටින මොහොතේ එකපාරටම 1980 සහ 90 දශකවල තාප්පවල දෙස බලමින් ඇවිදින ආකාරයට අවකාශය මාරුවිය. ඒ බෲස්ලීගේ ඡායාරූප, සටන් පංති, ටියුෂන් පංති පොස්ටර් ඇතුළු විවිධ දැන්වීම් ගැලවීයන සහ මැකීයන ආකාරයට ගොඩනගන ලද කලා ප්‍රකාශන නිසයි. එය එක්තරා ආකාරයකට ගාමිණි හත්තොටුවේගම වීදිනාට්‍ය කණ්ඩායමේ ගුරා සහ ගෝලයාගේ ගමන් මාර්ගයේ තාප්පවල දැන්වීම් කියවීමේදි, කොටස් මාරු කරමින් ගොඩනගන ලද දේශපාලනික ප්‍රකාශනයට සමාන්තර විය. එමෙන්ම, උපාලි ආනන්දගේ මෙම කලාත්මක ප්‍රකාශනයේ දන්වීම් සමඟ එහි අන්තර්ගත නොවූ, එවකට තාප්පවල තිබූ දේශපාලන සටන් පාඨ රැගත් පොස්ටර් සමග ද අප සම්මුඛ විය.
මෙම ප්‍රදර්ශනය නරඹනවිට මට මතක්වූයේ Andy Warhol ගේ මැරිලින් මොන්රෝ, බියර් කෑන් චිත්‍රයි. එමෙන්ම Richard Hamilton කොලාජ් ප්‍රකාශන ද මතකයට නැගිණ. එම POP ART ගොඩනැගෙන සමාජ, ආර්ථික තලයත්, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික තලයක් අතර වෙනස සම්බන්ධවද පසුව සිතන්නට විය. Andy Warhol සහ Richard Hamilton ගොඩනගන POP ART ඒ මොහොතේ පාරිභෝජන භාණ්ඩ අධිනිශ්චය වූ ධනේෂ්වර සමාජය පිළිබඳ ප්‍රති කතිකාවන් සහිත ප්‍රකාශනයන් විය. ඔවුන්ගේ චිත්‍රවල පාරිභෝගික භාණ්ඩ, නළුනිළි මුහුණු, වෙළඳ දැන්වීම් වැනි දෑ ඇතුළත් විය. මූලික වශයෙන් ඔවුන්ගේ චිත්‍ර ඒ මොහොතේ සමකාලින සමාජය පිළිබඳ ප්‍රකාශනයන් විය. එහෙත්, ශ්‍රී ලංකාව වගේ සමාජයක මෙම ජනප්‍රිය සංස්කෘතික කතිකාවන් ගොඩනැගෙන තත්ත්වය වෙනස්විය. එය විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් වූ උත්තරාරෝපිත තත්ත්වයකි. මෙම ජනප්‍රිය සංස්කෘතික කතිකාවන් ගොඩනැගුනේ නොවිසුදුනු සමාජ, ආර්ථික හා දේශපාලනික දේහයක් තුළය. මෙම තත්ත්වයන් පිළිබඳ ප්‍රතිචාරයන් ජාතිවාදි ගැටුම් සහ තරුණ නැගිටීම් ලෙස ගොඩනැගිණ. එහි ප්‍රතිඵල වූයේ එය ඝාතන, අතුරුදහන්කිරීම්, පිටමංකිරීම් ඇතුළු මානව විරෝධි තත්ත්වයන්ය. ඒ අනුව, එම මොහොතේ තාරුණ්‍යයේ සංස්කෘතික වීරයන් සම්බන්ධ මතකයන් ද ගොඩනැගෙන්නේ මෙම සමාජ ඛේදවාචක තත්ත්වයන් තුළයි.
උපාලි ආනන්ද “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය මූලිකවම එවකට තාරුණ්‍යයේ සාමුහික හා පෞද්ගලික මතකයන්ට බලපෑම් කරයි. බොහෝවිට, මෙම ප්‍රදර්ශනයේ කලා කෘති ප්‍රේක්ෂකයාට තම සාමුහික සහ පෞද්ගලික මතක හරහා ක්ෂිතිමය, වේදනාත්මක අත්දැකීමක් ඉතිරිකරයි. එම පරම්පරාවට සාමුහික විනෝද අවකාශ පිළිබඳ මතකයන් ද ගොඩනගයි. තවද, මෙම ප්‍රදර්ශනය හරහා උපාලි 1980 දශකයේ තාරුණ්‍යයේ එලිපිට ගණුදෙණු කල වීරයන් සහ රහසිගත වීරයන් සම්මුඛ කිරීමක් ද කරයි. එනම්, එම පරම්පරාවට බෲස්ලී වීරයෙකු ලෙස භෞතික තලයේ ආවද චේ ගුවේරා ආවේ රහසිගත අවකාශයකය.
අවසානයේ, උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය අපගේ සාමුහික සහ පුද්ගල මතකයන් අවදිකරමින් අප මේ ගෙවන මොහොත නැවත නිර්වචනය කරගැනීමට බලපෑම් කරයි.
සුදත් අබේසිරිවර්ධන
2024/05/18